මෙරට සිදු වු දරුණුතම දුම්රිය අනතුරට වසර 20ක් සපිරේ | සිළුමිණ

මෙරට සිදු වු දරුණුතම දුම්රිය අනතුරට වසර 20ක් සපිරේ

2002 වර්ෂයේ ජනවාරි මස 13 වන දින පෙරවරු 7.30 ට පමණ කිරිවල්ලාපිටියේ 53 වැනි සැතපුම් කණුව අසල දි දුම්රිය පීලි පැන ගොඩගන්දෙණිය වෙල් යායට පෙරළීමෙන් අපේ රටේ සිදු වු දරුණුතම දුම්රිය අනතුර බවට මෙය ඉතිහාසගත විය.
 
අනතුරට පත් වු මහනුවර කොළඹ සීඝ්‍රගාමී දුම්රිය මහනුවරින් පෙරවරු 6.30 ට ගමන් ආරම්භකර ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය පසු කරද්දි දුම්රියේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති අතර, පසුව වේගය පාලනය කරගත නොහැකිව රඹුක්කනින් ආරම්භ වන උඩරට දුම්රිය මාර්ගයේ 53 සැතපුම් කණුව අසල දී වෙල්යායට පෙරළීමෙන් මෙම අනතුර සිදු වූ බවට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිව තිබිණි .
 
මෙම අනතුරෙන් දුම්රියේ ගමන්ගත් පුද්ගලයන් 14 එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. රෝහල්ගත කරන ලද තුවාලකරුවන්ගෙන් අසාද්‍ය තත්වයේ සිටි රෝගීන් 4 කු පසුව මිය යාමත් සමඟම අනතුරෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 18 දෙනෙකු දක්වා ඉහළ ගිය අතර, තුවාල වු පිරිස 175 කට ආසන්නය.
 
අනතුරෙන් දුම්රිය මැදිරි මෙන්ම දුම්රිය මාර්ගයට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබුණි .එදා සිදු කළ මූලික පරීක්ෂණ වලින් අනතුරුව අනතුරෙන් රුපියල් කෝටි හතරහමාරක පමණ පාඩුවක් සිදුව ඇති බවට වාර්තා විය .
 
දුම්රිය මැදිරි පෙරළී තිබුණු ගොඩගන්දෙණිය කුඹුරු යාය වසර කීපයක් වගා නොකර අත්හැර දමා තිබූ අතර ,වර්තමානයේ එම කුඹුරු ද වගා කර තිබෙන අයුරු දක්නට ලැබිණි .
 
එදා අනතුර සිදු වූ අවස්ථාවේදී ගොඩගන්දෙනිය,කිරිවල්ලාපිටිය ,බෙලිගොඩපිටිය ඇතුළු අවට ගම්වාසීන් එක්ව අනතුරට පත් වූ දුම්රිය මැදිරි වල සිරවී සිටි මගී ජනතාවතගේ ජීවිත බේරා ගැනීමටත් ,ඔවුන්ගේ බඩුබාහිරාදිය ආරක්ෂා කර ඔවුන්ගේ ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කිරිමත්, ලබාදුන් සහයෝගය එදා පුවත් පත් කතුවැකි වල පවා ප්‍රසංසාවට ලක් කර තිබුණි.
 

Comments