මධ්‍යම පළාතේ කෝටි ගණ­නක ගැහි­ල්ලක් | Page 2 | සිළුමිණ

මධ්‍යම පළාතේ කෝටි ගණ­නක ගැහි­ල්ලක්

ධ්‍යම පළාත් සභාවේ දැක්ම වන්නේ මධ්‍යම පළාතේ අභිමානවත් ජනතාවට සෞභාග්‍යවත් ජීවිතයක් ලබාදීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පළාත් සභාව බවට පත් කිරීමය. එය යථාර්ථයත් බවට පත් කිරීමේ අරමුණු ඇතිව පළාත් සභාවේ සියලු ආයතනවල නිලධාරීන් හා සේවකයන් නව වසර ආරම්භ කළේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේය. වංචාවෙන්,දූෂණයෙන්,අල්ලසෙන් තොරව ආයතන සංග්‍රහයට අනුගතව මහජන සේවය සඳහා උපරිමයෙන් කැපවන බවට සපථ කරමින් සෑම වසරක් ආරම්භයේදීම පළාත් රාජ්‍ය සේවකයන් වැඩ ආරම්භ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

 

එසේ සපථ කරමින් මෙවර වැඩ ආරම්භ කරන අවස්ථාව වනවිට මධ්‍යම පළාත් සභාවේ රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තිදෙනකු වැඩ තහනමට ලක්ව සිටියහ. පසුගිය වසර ආරම්භයේදී ඔවුන් ද මෙලෙසම වංචාව, දුෂණය, අල්ලස, සොරකම පිටු දකින බවට දිවුරා පොරොන්දු වී වැඩ ආරම්භ කරන්නට ඇත. එසේ සපථව ඔවුන් කළ වංචාවේ තරම තාමත් ගණනය කිරීමට නොහැකි වී තිබෙන්නේ එය මේවන විට රුපියල් ලක්ෂ 1000 ද ඉක්ම ගොස් ඇති බැවිනි.

හඟු­ර­න්කෙත කළාප අධ්‍යා­පන කාර්යා­ලයේ වංචාව 
සිදු­කළ පුද්ග­ලයා මුදල් ගෙවී­මට කැමැත්ත පළ­කර තිබෙන බව දන්ව­මින් පළාත් අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා පළාත් ප්‍රධාන ලේක­ම්ව­ර­යාට යොමු­කර තිබූ ලිපිය

මේ වන විට අනාවරණය වී තිබෙන කරුණු අනුව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වංචාව රුපියල් ලක්ෂ 900 ද ඉක්මවා ගොස් තිබේ. එය සිදුකර තිබුණේ එහි ගිණුම් අංශයේ සංවර්ධන නිලධාරිනියන් දෙදෙනකු විසිනි.

ඔවුන් 2017 වසරේ සිට මෙම වංචාව සිදුකර තිබුණේ පළාතේ සෞඛ්‍ය සේවයේ නිරත වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩල වල අතිකාල දීමනා ගෙවීමේදීය. වෙනත් පුද්ගලයන්ගේ නම් වලට බැංකු ගිණුම් සකස් කර ඒවාට මුදල් බැර කරමින් මොවුන් අදාළ මුදල් වංචාව සිදුකර තිබිණි.

වැඩ තහනමට ලක්වන අවස්ථාවේ රුපියල් ලක්ෂ 500 ක් වූ මෙම වංචාව පසුව කළ ගණනය කිරීමේ වලදී ලක්ෂ 900 ක් දක්වා ඉහළ යත්දී හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේ රුපියල් ලක්ෂ 100 කට ආසන්න වංචාවක් අනාවරණය වූවේ පුටු රත්කරන පළාත් බලධාරීන්ගේ ඇස් උඩ කරකවමිනි.

සංවර්ධන නිලධාරියකු ලෙස හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කර තිබෙන අදාළ පුද්ගලයා 2012 සිට මේ දක්වාම මෙම වංචාව සිදුකර තිබෙන බව විගණන පරීක්ෂණ මඟින් හෙළිව තිබේ. වසර 2016 දී මෙම පුද්ගලයා වලපනේ ප්‍රාදේශීය සභාවට මාරුකර ඇත. මොහුගේ මාරුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා වෙනත් අයකු පත් නොකිරීම හේතුවෙන් පළාත් රාජ්‍ය සේවා කොමිසම මගින් හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් අංශයේ වැඩ ආවරණය කිරීම සඳහා සතියකට දින දෙකක් මොහුට ලබාදී තිබේ.

අදාළ වංචාව හෙළිවීමෙන් පසු වරද පිළිගෙන තමන් වංචනික ලෙස ලබාගත් මුදල යළි ගෙවීමට මේ පුද්ගලයා කැමැත්ත පළ කරනු ලැබීය. එ් අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස දැනට ගණන් බලා තිබෙන අලාභය එම පුද්ගලයාගෙන් අයකර ගැනීමට අවසර අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න වෙත ලිපියක් යොමු කරනු ලැබීය.එම ලිපිය ප්‍රකාරව මේවන විට අදාළ සංවර්ධන නිලධාරිවරයා රුපියල් ලක්ෂ 70 ක මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට ලබාදී ඇත.

රාජ්‍ය නිලධාරියකු විසින් යම් වංචාවක් සිදු කර තිබෙන බව මූලික පරීක්ෂණ මගින් අනාවරණය වූ අවස්ථාවක සිදුව තිබෙන අලාභය ඔහුගෙන් අයකර ගැනීමට කටයුතු කළ හැකි බව මුදල් රෙගුලාසිවල පැහැදිලිව දක්වා තිබෙනවා. මේ අනුව පරීක්ෂණය යන අතරතුර එම පුද්ගලයා සිදුකර තිබෙන වංචාව මගින් මේවන විට රජයට සිදුව තිබෙන පාඩුව ලෙස ගණන් බලා ඇති මුදල අයකර ගැනීමට කටයුතු කළා. වරද පිළිගෙන මේ ආකාරයට අලාභය ගෙවීමට එකඟ වුවත් අදාළ පුද්ගලයාට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ඒ් අයුරින්ම සිදු වෙනවා. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මේ සම්බන්ධව කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් සභාව සතුව විගණන ඒකකයක් තිබේ. එහි තිහක පමණ කාර්ය මණ්ඩලයක්ද සිටී.

එසේ තිබියදීත් මේ ආකාරයෙන් මහජන මුදල් වංචා කිරීම මගින් පැහැදිලි වන්නේ විගණන අංශ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු බවයි. රුපියල් කෝටි 09 ක පමණ මූල්‍ය වංචාවක් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුව තිබෙන්නේ 2017 වසරේ සිටය. හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ වංචාව වසර 09 ක පටන් සිදු වන්නකි. වාර්ෂිකව මෙම ආයතන නිසි ලෙස විගණනයට ලක්වූයේ නම් මෙතරම් කාලයක් වංචාව සිදුකර ගෙන යෑමට ඔවුන්ට අවකාශ නොලැබෙණු ඇත.

නිය පොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කොටන්නට සිදුවන තෙක් විගණන නිලධාරීන් බලා සිටියේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මෙසේ ප්‍රකාශ කළේය. පළාත් සභාව ගත්තොත් ආයතන හය හත්සීයක් තිබෙනවා.

අභ්‍යන්තර විගණන ඒකකය කියන්නේ එක ඒකකයක් පමණයි. ඒ ගොල්ලෝ අපි දෙන පැමිණිලිවලට වගේම එයාලට එන තොරතුරු පදනම් කරගෙනත් විමර්ශන කරනවා. සියලු ආයතන විගණනයට ලක් කරන්න ඕන කියන කාරණය මතු වුණේ මේ විශාල වංචාව හෙළිදරව් වීමත් එක්කයි. අපි මේවන විට විගණනයට දැනුම් දීලා තිබෙනවා සම්පූර්ණයෙන්ම පළාත් සභාවේ සෞඛ්‍ය ආයතන විගණනයට ලක් කරන්න කියලා.

එතනදී දැනට මුදල් වංචා සම්බන්ධ කරුණු අනාවරණය වී තිබෙන ආයතන වලට මූලිකත්වය ලබා දෙනවා. ඊට පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු ආයතන විගණනයට ලක් කරනවා. රජයේ විගණන අංශයත් මේ වන විට විගණන කටයුතු කරනවා.

පළාත් සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් විසින් අදාළ වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කළ පැමිණිලි වලින් පසු පොලීසිය මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේත්, හඟුරන්කෙත කළාප අධ්‍යාපන කාර්යාලයේත් වලපනේ ප්‍රාදේශීය සභාවේත් පරිගණක කිහිපයක් ඔවුන්ට භාරයට ගෙන තිබේ.

එසේ වුවත් මේ වන තෙක් අදාළ වංචාවන් සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැමට ඇත්තේ ප්‍රශ්නයකි.

මේ පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මෙසේ පැවසුවේය. මහනුවර සෞඛ්‍ය කාර්යාලයේ මිලියන ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වූවේ මෙය තාක්ෂණය උපරිම ලෙස යොදාගෙන පරිගණක මගින් කළ වංචාවක් ලෙසයි. මෙතනදී වෙනත් පුද්ගලයන්ගේ නම් වලට අතිකාල දීමනා මුදල් කාලයක් තිස්සේ මේ අය බැර කරලා තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ට මාසෙකට අති විශාල මුදලක් අතිකාල ලෙස ගෙවනවා. ඒ නිසා මෙම වංචා කළ මුදල කොපමණද කියන එක අනාවරණය කර ගැනීමත් ගැටලුවක් බවට පත්ව තිබෙනවා.ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නා මේ අයගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ නියෝගයක් මගින් අත් හිටුවීමට පියවර ගන්න කියලා. අපි අපේ යුතුකම් හා වගකීම් ඉටු කළා. වංචා සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක විය යුතුයි. අපිත් බලාගෙන ඉන්නවා පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ප්‍රමාද කරන්නේ කියන එක ප්‍රශ්නයක්. මාතලේ සමූපාකාරයක කෝටි ගණනක වංචාවක් වුණා. නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු වාර්තා ලැබෙන විට වංචාව කළ අය විදේශ ගත වෙලා තිබුණා. මේවා මහජන මුදල්. විගණන අංශවලත් යම් දුර්වලතාවක් තිබෙනවා. වාර්ෂිකව විගණන කටයුතු කරනවා නම් මේ වගේ වංචා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

මධ්‍යම පළාතේ රාජ්‍ය සේවකයන් සඳහා මාරු කිරීමේ ප්‍රතිපත්තියක් තිබෙන නමුත් එය ක්‍රියාත්මක නොවීම මෙම වංචා වලට හේතුවක් වී තිබේ. ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා මෙසේ පැවසුවේය. මම ආපු දවසෙම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පළාත් සභාවේ සේවකයින් මාරු කිරීමේ බලය දුන්නා. ආයතන සංග්‍රහයේ තිබෙනවා වසර පහකට වඩා එකම තැනක රාජ්‍ය නිලධාරියකු තබන්න එපා කියලා. මධ්‍යම පළාතේ මාරු කිරීම් නිසි ලෙස වෙලා නැහැ.

දේශපාලන සහ හිතමිතුරු පාර්ශව වෙතින් එල්ල වන යම් යම් බලපෑම් නිසා මේ මාරු කිරීම් කරන්න ගියාම ගැටලු ඇති වෙලා.නිලධාරීන් මාරු කරන්න ගියාම සමහර පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඒකට විරුද්ධ වෙනවා. අත්දැකීම් තිබෙන නිලධාරියෙක් මාරු කළොත් ආයතනය කඩා වැටෙයි කියනවා. මේ වසරේ සිට නිසි ලෙස අදාළ මාරු කිරීම් කරන්න කියලා මම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුම් දුන්නා.

මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින කාන්තාවක් එහි සේවයේ නියුතු තවත් කාන්තාවකගේ පුත්‍රයකුගේ විවාහ උත්සවයකට තෑග්ගක් ලෙස රුපියල් ලක්ෂ 17 ක් ලබා දුන් බවට හෙළිවූ තොරතුරක් ඔස්සේ නිලධාරියකු හඹා යෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වංචා අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. මධ්‍යම රජය විසින් පළාත් සභා වලට ලබා දෙන්නේ මහජනතාවගෙන් බදු ලෙස අයකර ගන්නා මුදල්ය.

රජයේ වැටුප් ලබන අතර මහජන මුදල් සොරකම් කිරීම බරපතළ වරදකි. මෙම වංචාවන් පිටුපස නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බවට මේවන විට කසුකුසුවක් පවතී. ඔවුන් පරීක්ෂණ සඳහා නිසි සහයක් ලබා නොදෙන බවට ද චෝදනා නැගෙමින් තිබේ.

මේ වන විට පළාතේ දෙපාර්තුමේන්තු රැසක ගිණුම් අංශවල නිලධාරීන් දිවා රෑ නොබලා වැඩ කරමින් සිටින බවක්ද පෙනෙන්නට ඇත. විගණන අංශ ඉබි ගමනින් පරීක්ෂණ කළහොත් අවසානයේ සිදුවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමුවා වැනි තත්ත්වයකි.

 

Comments