ආවට ගියාට විදේ­ශි­ක­යන් සමඟ විවාහ බැහැ | සිළුමිණ

ආවට ගියාට විදේ­ශි­ක­යන් සමඟ විවාහ බැහැ

විදේශීකයකු සමඟ විවාහ වීමට ඇතැම් ස්ත්‍රීන් හා පුරුෂයන් කැමැත්තක් දක්වති. ඊට බොහෝවිට හේතු වී ඇත්තේ වත් පොහොසත් කම් මෙන්ම ඔවුන්ගේ ජීවන ක්‍රමය තුළ පවතින නිදහස් බව හා එකිනෙකාට ගෞරව කිරීමේ දී ඔවුන් තුළ වන ආකල්පයයි. එසේ වුවත් විදේශිකයන් සමඟ විවාහ වූවන් සැවොම යහපත් දිවියක් ගතකරන බව පැවසීම උගහටය. පසුගිය කාලයේ එලෙස විවාහ කරගෙන මෙරටින් රැගෙන ගිය රූමත් තරුණියන් අවසානයේ නතරව තිබුණේ ගණිකා මඩම්වලය. එසේ නොමැති නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ ත්‍රස්තවාදීන්ගේ අතකොලුවක් බවට පත් වීය. මේ පිළිබඳව අවධානය යොමු කරමින් මින් ඉදිරියට විදේශිකයකු සමඟ විවාහ වීමට කැමති ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විවාහය ලියාපදිංචි කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් (Security Clearance Report)ලබාගත යුතු බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ පිළිබඳව විවේචනාත්මක කතිකාවක් මේවනවිට සමාජ මාධ්‍ය තුළ ආරම්භ වී තිබේ. ඉන් කියැවෙන්නේ විවාහය වැනි අති පෞද්ගලික දේ සඳහා සීමා පැනවීම සදාචාරාත්මක නොවනවා සේම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. නමුත් මේ පිළිබඳව ධනාත්මකව බලන සමාජ මාධ්‍යවේදීහු පවසන්නේ මෙම නව නීති ගෙනැවිත් ඇත්තේ එසේ මිනිසුන්ගේ හැඟීම් කෙරෙහි අනිසි අත පෙවීමක් සඳහා නොව ඔවුන්ගේම යහපත සඳහා බවයි. මෙහිදී ශ්‍රී ලාංකිකයින් විදේශිකයන් විවාහ කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා සිටියේ මන්දැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රජය පැවසුවේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා කලත්‍ර (Spouse) වීසා මත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් පිළිබඳ වාර්තා වැඩි වීම ඊට හේතු වූ බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ සම්බන්ධීකරණ ලේකම් ගීතනාත් කාසිලිංගම් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ විදේශිකයන් විසින් සිදු කරන ලද මෙම නීති විරෝධී ක්‍රියා අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන වංචාවන් ද ඇතුළත් බව ආරක්ෂක නිලධාරීන් තමාට දන්වා ඇති බවයි.

"බොහෝ විට මෙවැනි විවාහවල ඉලක්කය වන්නේ දුප්පත් කාන්තාවන් බවත්, පාස්කු ඉරිදා කොමිසමේ වාර්තාවේ පවා අන්තවාදීන් ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා විදේශිකයන්ට දේශීය අය විවාහ කර ගැනීමට අවසර ලබා දෙන ලෙස නිර්දේශ කර තිබූ බවත්, ඒ අනුව ස්වදේශිකයෙකු විදේශිකයකු සමඟ විවාහ වීමට අදහස් කරන්නේ නම්, මින් ඉදිරියට ආරක්ෂක ලේඛනයක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට බාර දිය යුතු බව කාසිලිංගම් සඳහන් කර තිබුණි.

ඒ අනුව මින් ඉදිරියට මෙරට කාන්තාවක හෝ පුරුෂකු සමඟ විවාහ වන විදේශීය කාලත්‍රයන්ගේ වෛද්‍ය ඉතිහාසය, නිදන්ගත රෝග සහ ඔවුන් කොවිඩ් 19 වැලඳී තිබේද ඊට ප්‍රථම හෝ පසුව එන්නත ලබා ගත්තේද යන්න විස්තර කරන ස්වයං ප්‍රකාශිත සෞඛ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. අදාළ ස්ත්‍රිය හෝ පුරුෂයාගේ සෞඛ්‍ය තත්ත්වය අසතුටුදායක බව පෙනී ගියහොත් වෛද්‍ය කළමනාකරණයට අදාළ සියලු වියදම් දැරීමට අවශ්‍ය බව ඔවුන් දන්නා බවත් ප්‍රකාශ කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ දැක්වේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ශ්‍රී ලාංකික පුරවැසියකු විදේශිකයකු සමඟ විවාහ වීමේ දී ඇති විය හැකි ජාතික ආරක්ෂාව සහ සමාජයීය ගැටලු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟද සාකච්ඡා කර ඇත. එහිදී එළඹි තීරණයන්ට අනුව ශ්‍රී ලාංකිකයෙකු මින් ඉදිරියට විදේශිකයෙකු සමඟ විවාහය ලියාපදිංචි කරන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් “නිෂ්කාශන වාර්තාවක්” ලබා ගත යුතු බව රෙජිෂ්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය..

මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමේදී රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී වීරසේකර කියා සිටියේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව නව රෙගුලාසිය හඳුන්වා දීමට තමන් කටයුතු කළ බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි සැඟවූ අරමුණු ඇතිව ඇතැම් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට කැමැත්තක් දක්වන බව පෙනී ගොස් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී දැනට පවතින පොදු විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ඇති හිඩැස්වලින් ඇතැම් පාර්ශ්ව ප්‍රයෝජන ගෙන ඇති ආකාරය අනාවරණය වන බවත් එනිසා අවශ්‍යව වන්නේ මෙරට පුරවැසියන් විවාහ කර ගැනීමට කැමති විදේශිකයන් එවැනි කටයුතුවලට සම්බන්ධ නොවීමට වග බලා ගැනීම බවත් හෙතෙම පවසයි.

අනෙක් රටවලට සාපේක්ෂව විවාහයකදී මෙරට වීසා ලබා ගැනීම ඉතාම පහසු කටයුත්තක් වී ඇති බවත් එනිසා ඇතැම් පිරිස් මේ පිළිබඳව විරෝධය එල්ල කළ ද මෙය මේ මොහොතේ ජාතික අවශ්‍යතාවයක් බව හෙතෙම පවසයි. මෙවැනි විවාහ ඇති කරගැනීමෙන් පසුව විවිධ අපචාර සඳහා යොදාගන්නා අවස්ථා ඕනෑ තරම් මෙරට මාධ්‍ය වාර්තා කර තිබේ. එසේම අප රටේ කාන්තාවන් විවාහ කරගෙන වෙනත් රටවලට රැගෙන ගොස් ගණිකා සේවයේ යෙද වූ බවට ද වාර්තා වී ඇත.

විදේශිකයන් විවාහ කරගෙන ඉතා හොඳින් ජීවිත ගතකරන පිරිස් සිටින නමුත් ඉන් සියයට අසූවක් පමණ විවිධ ගැටලුවලට මුහුණ පා ඇති බව සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයන් ඉදිරියෙදී ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම නීති ගෙනා බව ද ඔහු පවසයි.

මේ නව නීතිය අනුව විවාහය පිළිබඳව දැනුම් දී මාස තුනක් ඇතුළත විවාහය ලියාපදිංචි කිරීමට පෙර තමන්ගේ රටින් ගෙනා ආ පොලිස් වාර්තාවත් තමන් නිරෝගී පුද්ගලයෙකු බවට තමන් විසින්ම සහතික කරන ලද ලිපියත් ඉදිරිපත් කළ යුතු අතර මේ සියලූ දේ සිදු කරන්නේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය උදෙසාය‍.

විදේශිකයන් සමඟ මෙරට ස්ත්‍රීන් හෝ පුරුෂයන් විවාහ වීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. රාවණ - විජයගෙන් පටන්ගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා ඒ අතීත තතු විත්ති දිවයයි. එසේම මෙරට පුරාවෘත්තවල සඳහන් නොවන ඉන්දියානු පුරාවෘත්තවල සඳහන් කතා ප්‍රවෘත්තියක් පාදක කර ගනිමින් ප්‍රකට ඉන්දියානු කවියකු වූ මලික් මුහම්මද් ජයසි නම් කවියා ‘පද්මාවත්’ නම් කාව්‍යයක් වර්ෂ 1540 දී රචනා කර තිබේ. එහි දැක්වෙන්නේ ලංකාවේ රජ කළ ගාන්ධර්ව සේන රජුගේ සහ චම්පාවතී දේවියගේ ඉතා රූමත් දියණිය වූ පද්මාවතී චිතගෝර්හී රජු වූ රතන්සෙන් රජු සමඟ විවාහ වූ පුවතකි. පද්මාවතියගේ ආලය පතා මෙහි පැමිණි චිතගොර් රජු ගේ සහයකයින් දහසය දාහටම සිංහල පද්මිනී ස්ත්‍රීන් දහසය දාහක් විවාහ කර දුන් බව එම කාව්‍යයේ දැක්වේ. මෙනිසා විදෙශිකයන් සමඟ සිදුවන ආවාහ විවාහ අරුමයක් නොවේ. එසේම මෙලෙස සිදු වූ විවාහ මඟින් මෙරටට සිදු වූ මහා විනාශයන්ද සුළුපටු නොවේ.

රාවණා රජු විසින් සීතා දේවිය මෙරටට රැගෙන ඒමෙන් විශාල ජන සංහාරයක් සිදු වූ බව එම කතා ප්‍රවෘත්තියේ දැක්වේ. විජය සහ පිරිවර අතින් සිරසවස්තු පුරයේ පාලකයා වූ මහාකාලසේන ඇතුළු යක්ෂගෝත්‍රිකයන් සංහාරය වන්නේ මෙරට ප්‍රාදේශීය රැජිනක වූ කුවේණියගේ සැලැස්මට අනුව බව මහාවංශය කියයි. එසේම මෙරට උඩරට රාජ්‍ය දියකර හැරීමට කූට උපක්‍රම යෙදූ ජෝන්ඩොයිලි නම් රහස් ඔත්තුකරුවා පිළිබඳව ලියන බ්‍රෙන්ඩන් ගුණරත්න හා යස්වින් ගුණරත්න පවසන්නේ ඩොයිලි ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා සමඟ සමීප ඇසුරක් පැවත් වූ බවය.

විවාහයක් වැනි අවස්ථාවක් මඟින් ඕනෑම අයකුට ලෙහෙසියෙන් රටකට ඇතුළු විය හැකිය. ඇතුම් විට කිසියම් යටි අරමුණක් සහිතව පැමිණෙන කෙනකුට වුවත් ඉතාම උපක්‍රම ශීලීව යහමින් මුදල් වියදම් කර කෙනෙකු රැවටීමෙන් අනර්ථකාරී දෑ සඳහා ලෙහෙසියෙන් නම්වාගත හැකිය. සමාජ මාධ්‍ය බෙහෙවින් ප්‍රචලිත මෙවැනි කාලයක ඕනෑම අයකු පහසුවෙන් පොළඹවා ගැනීමට අවස්ථාව විවෘතව ඇති බැවින් මෙවැනි නෛතික ක්‍රියාමාර්ග ගැනීම කාලෝචිතය.

නව චක්‍රලේඛනය අනුව අදාළ විදේශිකයාට තමන් ජීවත්ව සිටින රටින් ඔහු පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීම අනිවාර්ය කර තිබෙන්නේ එනිසාය. මෙය ජාතික ආරක්ෂව පැත්තෙන් බැලූ කල ඉතා දූරදර්ශී තීරණයකි.

ලොව බොහෝ රටවල විසා ලබාගැනීමට යාමේදී තොරතුරු රාශියක් සොයා බලයි. ඉන් අනතුරුව අදාළ පහසුකම් සලසා දීම තීරණය කරයි. මෙය විදේශිකයන් සමඟ විවාහ වීමට සීමා පැනවීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස කිසියම් පාර්ශ්වයක් විසින් අර්ථ දක්වන්නේ නම් එය වැරදි අවබෝධයකින් සිදු කරන ක්‍රියාවකි. මේ නියාමනය සිදු කරන්නේ රටේ මුළුමහත් ජනතාවගේම ආරක්ෂාව තහවුරු කිරීම සඳහාය. රටක් නිශ්චිත භූමියක ස්වාධින සීමාමායිම් සහිත ජාතික රාජ්‍යයක් ලෙස පවතින විට රටේ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙවැනි ධනාත්ම තීරණ ගතයුතු බවත්, ඒ සඳහා ශක්තිමත් නීති අනපත් රට තුළ පැවතිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගේ අදහසය.

මෙරටට පැමිණෙන විදේශිකයන් අතර යහපත් අරමුණින් පැමිණෙන පුද්ගලයින් සියයක් අතුරින් අනූ පහක් හොඳ පුද්ගලයන් සිටිය හැකි වුව ඉන් පහක් වැරදි පුද්ගලයින් සිටියහොත් ඒ ඉතා කුඩා පිරිසට මුළු රටට විශාල හානියක් පැමිණවිය හැකි බවත් එනිසා මේ ක්‍රියාමාර්ගය දෙස සුබවාදීව බැලිය යුතු බවත් හෙතෙම පවසයි. එමෙන්ම මේ ආකාරයට අවධානය යොමු කළ යුතු තවත් ක්ෂේත්‍ර බොහෝමයක් ඇති බවත් ඒවා කෙරෙහිද මේ ලෙස අවධානය යොමුකිරීම කාලෝචිත බව පෙන්වා දෙමින් හෙතෙම සඳහන් කළේය.

නව ක්‍රියාවලිය යටතේ අදාළ රටේ ආරක්ෂක බලධාරීන්ගෙන් ලබාගත් සහතිකයේ මුල් පිටපත ශ්‍රී ලංකා පාර්ශ්වය හරහා හෝ ඒජන්සිකරුවෙකු හරහා එම දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත එවිය යුතු අතර, එම කාලය තුළ ඔහු හෝ ඇය කිසිදු වරදකට වරදකරුවන් නොවන බව පෙන්නුම් කළ යුතු වේ. ඒ අනුව අදාළ නිෂ්කාශන වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මඟින් පමණක් එවැනි විවාහ ලියාපදිංචි කිරීම සිදු කළ හැකි වේ. එසේම එලෙස විදේශගත පුද්ගලයෙක් මෙරට විවාහය ලියාපදිංචි කරන්නේ නම් ඔහු හෝ ඇය මාස හයක් ඇතුළත තම රටේ වරදකරුවෙකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශීය පාර්ශ්වකරු හෝ දේශීය පාර්ශ්වකරුගේ නියෝජිතයකු මඟින් දෙපාර්තමේන්තුව වෙත අදාළ ලියකියවිලි සමඟ යොමු කළ යුතුය.

මීට අමතරව එම විදේශීය පාර්ශ්වය විසින් විදේශීය කාලත්‍රයන්ගේ වෛද්‍ය ඉතිහාසය, නිධන්ගත රෝග, ඔවුන්ට කොවිඩ් වැලඳී ඇද්ද සහ ඊට එරෙහිව එන්නත් ලබාගෙන තිබේද යන තොරතුරු ඇතුළත් ස්වයං ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතු වේ.

මින් ඉදිරියට විදේශීය පුරවැසියකු සමඟ මෙරට ස්ත්‍රියක හෝ පුරුෂයකු විවාහ වීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි මෙසේය. විවාහ දැන්වීම, ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවශ්‍ය වීසා වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්, තම රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද සිවිල් තත්ත්වය සනාථ කිරීමේ මුල් පිටපත හා දික්කසාද/ වැන්දඹු අය සම්බන්ධයෙන් ඒ බව සනාථ කෙරෙන නෛතික ලියවිලි, රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන අවසර පත්‍රය, මේ සඳහා අදාළ විදේශිය පාර්ශ්වය විසින් මාස 6 ක් ඇතුළත තම රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබා ගන්නා ලද වරදකට වරදකරුවකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත, තම දේශිය පාර්ශ්වකරු හෝ දේශිය පාර්ශ්වකරුගේ නියෝජිතයෙකු මඟින් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශයට ලැබෙන සේ අතින් හෝ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. එකී සහතිකය මත පදනම්ව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.

මීට අමතරව විදේශිය ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් (Helath Declaration), උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කරගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්) හා එහි ඡායා පිටපතක්, ඉහත ලේඛන විවාහ දැන්වීම භාරදීමේ දී අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය. මේ අනුව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක අංක 18/2021 හා 2021/10/18 දිනැති චක්‍රලේඛයට අනුව රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමෙන් විවාහයන් සිදු කළ හැකිවේ.

 

Comments