කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ආද­රෙයි

වැඩි­යෙන් ලැබු­ණොත්
සතුට වැඩියි
අඩු­වෙන් ලැබු­ණොත්
සතුට අඩුයි
නොලැ­බීම ගිය­හොත්
දුකට වැටෙයි
සැමට ම සැම­විට
සමව වටයි

කාගෙන් හෝ මෙය ලැබු­ණෝ­තින්
පෙරළා තම­නුත් දෙයි සතො­සින්
දෙනු ගනු සුහ­දව කෙරු­ණෝ­තින්
දිගු­කල් පව­තියි නොකැඩී යහ­තින්

සසරේ ගාටන
පණ ඇති සැමට ම
ලැබු­ණොත් නිති ලෙස
ජීවත් වන්නට
එයින් ලැබෙන්නේ
මාහැඟි බල­යකි

කුමක්ද මේ දෙය
තේරුම් ගත්තොත්
තැවු­ලෙන් ගෙවෙනා
සැමගේ ජීවිත
දිදු­ලනු නිය­තයි
සංසාරේ

රාජා හේමන්ත පින්න­වල


නව වසර

දිගුම දිගු නිහැ­ඬි­යාව බිඳ
ඈත මිටි­යා­ව­තෙන් එබෙයි ඔබ
උස්ම උස් තුරු මුඳුන රැඳුණු පත් මත
මුල්ම ළා හිරු කිරණ තව­ර­මින

එහෙත් ඒ පත් එයින් නොසැ­ලීම
ඔබව නොහ­ඳු­නන සේ හිඳියි තව
ඉනි­ක්බිති ඉතා ඈතින් ඇසේ
පරෙවි ගුමු­වක් සිහින් සරෙ­කින්
නිසං­සල උදෑ­සන පුබු­ද­මින

ඉතින් මේ ලෙසින් ඔබ නඟන හඬ
අසන හෝ ඇසෙන කිසි­වෙකු නැතත්
කාල­යත් සමඟ බෝ දුර පැමිණ
ලද වෙහෙස නිවන ලෙස ඔබ ඇවිත්

ඉටු නොවූ පැතුම් වේ බොහෝ සේ
නොම ලැබූ දැනුම් ලබ­නුද කෙසේ
පෙනී නොපෙනී තිබෙනු සේ හැඟේ
ලද යුතුම එද නොලද යමක් නෙත් ඉදි­රියේ

අතින් අල්ලා නැතත් කිසි ලෙසක
එහෙත් අල්ලා ගන්න හැකි විලස

විලි­යම් ස්ටැන්ලි මර්වින් (1927-2019)
ඔහු නිව්යෝර්ක් හි විසූ ඇමෙ­රි­කානු ජාතික කවි­යෙක් හා ගත් කතු වර­යෙකි.
ගැදි පැදි ග්‍රන්ථ පන­හ­කට අධික ගණ­නක් රචනා කොට ඇති ඔහු විවිධ සාහිත්‍ය සම්මාන රැස­කින් පිදුම් ලැබීය.
ඔහුගේ To the New year කවියේ අනු­වා­ද­යකි.

කුමු­දිනී වේලා­රත්න


තරු රටා


තාරකා මල් විසුල නීල ගග­නත පුරා
තරු රටා හොය­නවා නමයෙ පන්තියෙ පුතා

නංගි අර ‘ඔරා­යන්‘
යෝධ­යෙක් වගෙ නේද?
පේන­වද ‘බඳ පටිය‘
තරු තුනක් පැහැ­දි­ලියි
අනෙක්වා පේන් නෑ

බොරු කියන්නෙ මොකද?
යෝධ­යෙක් අහසෙ නැහැ
තාරකා ගොන්න­කින් යෝධ­යෙක් උප­දීද?
අප්පච්චි මෙන්න මට - අයිය බොරු කිය­නවා

අතු පතර සිරව සිටි කන­මැ­දිරි ජෝඩු­වක්
අඳුර මැද රඟ­නවා
වැල - තරු පොකුරු පිපෙ­නවා
මල් සුවඳ පෙරා එන - සුළඟ ගෙට ඇදෙ­නවා

දූගෙ සුර­තල් හඬට - රැහැ­යි­යන් පැර­දිලා
මෙන්න හඳ දුව­නවා - අප්පච්චි මෙහෙ එන්න!
දුවන කොට මා පස්සෙ - හඳත් එනවා ඔන්න
අනේ මට නම් බයයි - ගෙනි­යන්න වඩා­ගෙන
මාව නිදි කර­වන්න!

රවින්ද්‍ර අදි­කාරි


ඉර මල


ගිරි කුළක් වී මලක මුදු හිත
කඳු­ළ­කින් මැව් මගේ පිළි­රුව
නිල් උපුල් හැඩ මිලින මා නෙත
අඳුර සිඳ දැල්වේවි අර­ණක

ඔප දමා මෙත් සිසිල් දිය පෙත
මගේ කැට­පත් පවුරු හද බිත
නුඹ ලියූ නෙක කුරුටු ගී මත
රැඳුනු ලෝ දම පමණි මීවිත

පාට දේදුනු හෙළා පාමුල
ඉරි තැළුණු මිහි­ල­යට යා කළ
විදු ඇසින් කඩ­තිර මුදා හළ
නුඹයි ඉර මල ලොව ම පොබ කළ

රුව­න්මලී දීපිකා කොඩි­කාර


උණු­හුම?


රුදුරු සීතල සමඟ
ගෙවී යයි
රාත්‍රිය...
මදුරු දැල
විනි­වි­දව
නොපෙ­නේද
වත් ඉවත් වී තියෙන
පුන් පියො­වුරු?
උඩු­බැ­ලිව....
නොඉ­ව­සි­ල්ලෙන්
හිඳිමි
කෝ නුඹේ
මුදු සුමුදු
උණු­හුම...
තව ඇහැ­රිලා නැතිද
නිදන මගෙ
පොඩි පුතුගෙ
තොල් සඟල

දඹේ­ගොඩ ජින­දාස


ඉසු­රු­මුණි කවිය

ගිම්හාන සර­තැස නිවා­ලන ඉසු­රු­මුණි
පොද­න­වුලු දෙවි­ඳුනි, අසු මුද­ව­මින් බලා හිඳි­මුය,
තිසා­වාපී නීල දිය­වර රැල්ල
ඉහෙනා කෙත්බිම් මන­රම්
සොඳුරු සිරි­සර

පෙම් ලොවක වැද අඩැසි බැල්මෙන් සෙල්ග­තව
හිඳින ඉසු­රු­මුණි පෙම්ව­තුන් බල­මැන අව­දිවී
රන් මසු උපන් වැඳ රන් පොකුණු ඉඟිල් දියනා
රජස් මල දොහොවා
වරම් ලැබ
කුසී­තව පෙම් මල් නෙළනු වෙනු­වට
වෙර දරව! පත් විපත් පිරි­සත් මුද­න්නට
රෝ අනල දැල් නිවා­ල­න්නට

පුබුදු කළ මැන යළිත් තුන් රට
දෑහිත අබි­මන් මල් මිණි­මු­තු­වෙන්
යළිත් මැල­වුණු සසිරි සුපිරි සිරි
අරු­ණලු කිර­ණින් එකලු කර­නට
උදා­නය, තාවල්ලේ රැව්දී
රත්න­මාලි සෑ රන්කොත පීරා
සෙත් මෙත් පිරි­තක් වෙමින් ඇසෙ­න්නට!

ජය­ම්පති අල්ගම


ළඟින් ඉන්න‍

කන්ද පාමුල සොහොන් කොත යට
අර­ලිය මල් පිපෙන සුව­ඳට
මතක් වෙන­වද හිමි සඳුනි අපි
එක්ව ගත කළ සොඳුරු කාලය

බැඳෙන කොට දෑඟිලි එකට එක
යන්න හිතු­නද මඟදි තනි­කර
නොමැති නම් සංසාරෙ කොහෙ හරි
මහ පවක් මං කරල තිබුණ ද

එන්න හිතු­ණත් දුවන් හනි­කට
දැනෙ­න­කොට තනි නුඹේ තුරු­ලට
ඒත් එන්නට බෑනෙ රංකඳ
උඹ දුන්න මත­ක­යත් මගෙ ළඟ

යන්න තිබූ දුර කොච්ච­රද තව
වෙහෙස මුත් යන්නෙ­මිය තනි­වම
ලබන හැම භව­ය­කම හිමි­යනි
අත් නොහැර ළඟ ඉන්න එන­වද?

කේ. ඒ. කාන්ති කණ්ඩම්බි


ගරු සඳ


නෙක තරු පැරද පෑ සඳ
කත­රට වැටුණු වැහි පොද
අකු­රක එතුනු ජව ලකුණ
සිප්බිම නැඟුණු ධජ කුලුන

නොවැඩි අනා­වක දුටු නෙත
අව්වැසි නොතැකු එඩි ගත
සාහි­ත­රස පෑ මුව කමල
විදු­බි­මට නැණ දුනි පතළ

ගම්බිම් තෙද ගති පෑ
සිසු අබි­යස සෙනෙ­හස පෑ
වියත් සබා මැද කිරණ පෑ
පර­පුර හද­මින හෙළ විරු පෑ

ජේ. එච්. සමන්
අතුල කුමාර


පැටි­වියේ කවි­යක්


පොතුත් තුරුලු කර­ගෙන අකු­රට වැඩිය
අලුත් හෙටක් ගැන හීනෙන් මඟ බැලුව
ඉරත් හඳත් විත­රක් තනි­යට හිටිය
දවස් මටත් තියෙ­නව මත­කෙට නැ‍ෙඟන

සුදු කමි­සෙන් බේරෙන මුත් නිල් වතුර
හිත ගිනි නිවයි අම්මගෙ රස තේ උගුර
පොල් රොටි­යට පින්සිදු වන්නට නිතර
බඩ­ගි­න්දර නොදැ­නෙයි කිසි­විට මිතුර

දුක තළ තළා රස කර කර එය හැපුව
පරණ මතක හැම පිහි­යක් ගෙන කැපුව
අම්මත් ඉවත දැමුවා ඇගෙ රූ සපුව
සප­ත්තුව නෙමෙයි හිල්වුණෙ මගෙ පපුව

වහින වැහිත් දිය වී පොළො­වෙම රැඳුණි
කව­දත් පිපුණෙ මඟ සර­දම් මල් පමණී
ගෙදර බුදුන් දුක උහු­ලන හැටි සිහිවී
ලියන අකුරු බොඳ­වෙ­නවා ගුරු­තු­මනී

කර­දර ගලා එයි හැදිලා එක පේළී
සුදු වෙන්නෙම හිත රිදි­ලයි කළු ලෑලී
සිස්ස­ත්වෙට මදි ලකු­ණක කැඩි කෑලී
ලොකු ඉස්කෝ­ලෙට දව­සක ඉගි­ළේවී

යනූෂා ලක්මාලි


ගැල සහ ජීවි­තය‍


පහන් කළු­ව­රත් සමඟ
ජීවිතේ තුළ ඉදි­රි­යට
සීත­ලම සීත දුරුත්තේ

හද­වතේ තැවරූ සුව­ඳක්
ගම ඉස්මත්තෙ තනි­කොට
පාරමි පුරමි දුරු­ක­තර බලා

රන් කහ­වුණු ඉඟි­මරා සිනා­සෙන
පුර දොර රකුසු නෙත් අසල
වැල­පෙමි සිතින් පම­ණක්

එකම හද එදා නුඹ දුටුව
තරු එළි­යෙන් මං සොයාන
වඩි­න­තුරු ඉඳින් මඟ බලාන

නයන්ත ජගත් පුංචි­හේවා


කෘතිය - සසැ­ලෙන කඳු
කර්තෘ - රේණූකා සුද­ර්ශනී ඉලං­ග­කෝන්
මිල - රුපි­යල් 450/-
පිටු - 71
කේෂි book ප්‍රකා­ශ­න­යකි.
076 7373798

වෘත්ති­යෙන් ගුරු­ව­රි­යක වන රේණුකා සුද­ර්ශනී ඉලං­ග­කෝන්ගේ පළමු කාව්‍ය සංග්‍ර­හය සසැ­ලෙන කඳු නම් වේ. කලක් තිස්සේ ලියන ලද කාව්‍ය නිර්මාණ අතු­රෙන් තෝරා ගන්නා ලද නිර්මාණ මෙම පොතට ඇතු­ළත්ව තිබේ.
බොහෝ මතක ඇත්තේ අතී­තයේ සැඟවී ය. නමුදු විටින් විට ඒ මත­කය තුළින් මතු­වන අතී­තය හා බැදුණ රස­බර මෙන්ම දුක්බර අත්දැ­කිම් ද ඔබට මට නැතිවා නොවේ. හිතින් කොයි­ත­රම් අම­තක කර දම­න්නට වැයම් කළ ද ඇතැම් මත­ක­යන් හිත රිදවා දමන්නේ සිදු වුයේ කුම­ක්දැයි සිතා ගැනු­ම­ටත් අප­හසු අයු­රුනි. නමුදු කොත­රම් අම­තක කර දම­න්නට වැයම් කළද එසේ අම­තක නොකළ හැකි මත­කය ගැන ඇය ලියන්නේ මෙලෙ­සිනි. ‘පර මලක සුසු­වඳ‘ එවන් අත්දැ­කී­මක් යැයි හැඟේ. . අදත් හිරි­පොද වැටෙද්දී

හිතත් හිරි වැටෙ­නවා නොදැ­නිම 
සෙනෙහෙ සම­ඟම මිය­ගිය
ඒ සතුට සිහිවී
පෙර යට ගියා­වක..
පර­ම­ල්ව­ලත් ඇති සුසු­වඳ
විදි­න්නට හිතු­ණොත් ආයෙ දව­සක
රිදුම් කන හද­ව­තට හුස්මක් පිඹ
දෙන­වද
එකම එක හිනා­වක් මට...

ගැහැනු ජීවිත බැඳි ඇත්තේම ආද­රය සම­ඟය. ඇයට ජීවි­තයේ හැම­දා­මත් ආද­රය අවැ­සිය. බාල­විය යොවුන් විය තුරුණු විය මැදි වියේදී පම­ණත් නොව ජීවි­තයේ සැදෑ කාල­යේ­දීත් ඇයට ජීවත් වීමට ආද­රය සෙනෙ­හස අවැ­සි­මය. තුරුණු සිත් ඉල්ලන, පතන ආද­රය ලැබුණු සිත් සැන­සෙවා සේම ඒ නොලැ­බීම නිසාම වැලපෙන පසු­තැ­වෙන ජීවිත ද අපට මේ සමා­ජය තුළ දී කොතෙ­කුත් හමුවේ. ඒ කොහොම වුණත් හිමි වුණත් අහිමි වුණත් බැදිම් කොතෙක් තිබු­ණත් දෙසක හිඳ ආද­ර­යෙන් බැඳි සැන­සෙන නැළ­වෙන මෙන්ම විඳ­වන සිත් ද අපට මේ සමා­ජය තුළ අන­න්ත­වත් හමුවේ. ‘හිමි අහිමි‘ එවන් බැඳි­මක් දෝ සිතේ.

මුදා­ගෙන බැඳි බැමි
එන්නට නොහැක ඔබ වෙත
ගතින් දෙතැ­නක රැදෙමු
සිතින් එක හැඟු­මක ...
ඉතින් හිනැ­හෙන්න
හඳ­ව­තින් වැල­ඳ­ගමු
අයි­ති­වා­සි­කම් අවැ­සි­නැත‍
මේ මහරු සෙනෙ­හ­සට..
සරත් කාලයේ සඳ ....

කොහේ පැයු­වත් හඳ හඳ­මය. පුර­හ­ඳක් දෙස බලා සැන­සෙන සිත් මෙන්ම පුර­හද දෙස බලා වැල­පෙන සිත් ද මේ ලෝකයේ අනන්ත ඇත. බැලු බැල්මට මෙය සඳට කියන කතා­වක් යැයි අපට සිතේ. සඳක හැඩ දැකිය හැක්කේ රාත්‍රි අහ­සේ­දීය. සඳ වඩාත් ලස්සන පෝ දාට පසු­දාය. කවියෝ විවිධ අයු­රින් සඳ ගැන වර්ණනා කරති. සරත් සම­යක පැයු රෑ අහසේ සදේ එළිය දැක කිවිඳ හදෙන් ප්‍රශ්න අසයි. ඒ සඳ අහසේ පායා රුව රුවේ දිලෙ­මින් ගංගා නිම්මන ළඳු කැලැ ආදි වු මේ විශ්වයේ සැරි සර­මින්, රාත්‍රියේ පිපෙන මල් අතර දැව­ටෙ­මින් මේ සොයන්නේ ප්‍රේම­යද? ආද­රය ද?. පරි­සර සොබා­සි­රිය විදින රැ අහසේ පැයූ සඳ ලෙසින් කිවි­ඳිය සංඛේ­ත­වත් කරන්නේ පිරි­මි­යෙක් නම්.. ඔහු වෙනු­වෙන් වැල­පෙන, සැන­සෙන, කොයි මොහොතේ හෝ හමු­වේවා යැයි පතන, පෙම්ව­තකු ගැන කියන දෙයක් යැයි අප අනු­මාන කළොත් ඒ පිරි­මියා වෙනු­වෙන් ගැහැනු සිතේ ඇති ආද­රය, ප්‍රේමය මෙන්ම ළතැ­විල්ල කොප­ම­ණ­දැයි කියා හැඟේ. එසේ හැඟෙන්නේ කිවි­ඳිය භාවිතා කරන වදන් හර­හාය.

මාතෘ­කාව “සරා සඳ නුඹ“
සරා සඳ නුඹ
මෙවෙලේ කොතැන කොහො­මද
නොන­ව­තින ගමන් මඟ
ඇසි­ල්ලක් ඉස­ඹු­ල­න­වද?....
රැයේ පම­ණක් හිනැ­හෙන
කඩු­පුල් කොඳ කැකුළු මත
වැතිරි වැතිරි උම­තු­වෙන්
හාදු වැසි වස්ස­න­වද?
නාඳු­නන ගිම්න­යක නැවතී
කඩු­පුල් කොඳ කැකුළු මත
වැතිරි වැතිරී උම­තු­වෙන්
හාදු වැසි වස්ස­න­වද?

ආද­රය දැනේනේ හිත­ටය. ආද­ර­යක් හිත දැනෙ­න්නට නම් අාද­ර­යක් ලැබිය යුතු­මය. ඒය මොන­වගේ දැයි කිය­න්නට හැකි වන්නේ එවි­ටය. ආද­රය මොන­වගේ දැයි කියා සොය­න්නෙකු එය සැබැ­වින්ම සොයා ගන්නට නම් ආද­රය විදිය යුතුය. එවි­ටය ආද­රයේ පාට හඳුනා ගත­හැකි වන්නේ. නමුදු එය එක්කෙ­නා­ගෙන් එක්කෙ­නාට වෙනස්ය. ආද­රය මොන­වගේ දැයි දන්නේ ආද­රය කළ­වුන්ම පමණි.
ලස්ස­නම ආදරේ පාට.. මිනිස් සිතු­විලි හැඟිම් දැනිම් අනුව වෙන­ස්වන මේ සමා­ජය තුළ ආද­රය හඳු­නන්නේ ආද­ර­ණිය හිත් ඇත්තන්ම පමණි. නමුදු අද මේ සමා­ජ­යම සොයන්නේ ආද­ර­ණිය හිත්ය.“ලස්ස­නම ආදරේ පාට!“ ඇය එය පෙළ­ග­ස්වන්නේ මෙලෙ­සිනි.

නිමක් නැති දුරු කතර ගෙව­මින් 
හති වැටී
ගාට ගාටා...
පිච්චි පිච්චි ඇවි­ළුනත් ගිනි
පපු­තුරේ
දවල්ට ...රෑට..
හති වැටී නැගි­ටි­මින්
ප්‍රාර්ථනා පොදි දෙසම
නෙත් යොමන්
නොකී­වත් කාට..
අපි තාමත් හොය­න්නෙම
පින්තාරු කර­න්නට
ආදරේ....
අපි ආසම
ලස්ස­නම පාට!

රේණු­කාගේ පළමු කාව්‍ය එක­තුව නොසැ­ලෙස කඳු ඇයට තව බොහෝ දුර යන්නට මඟ කිය­න්නකි. කවිය ගැන තව තවත් අධ්‍ය­ය­නය කිරි­මෙන් ඇගේ කවි මඟ මීටත් වඩා හැඩ­වැඩ කර­ගැ­න්මට හැකි වනු ඇත.

Comments