‘ජංගි හොරා’ ව්‍යාධියක් ද? අතේ රෝලක් ද? | සිළුමිණ

‘ජංගි හොරා’ ව්‍යාධියක් ද? අතේ රෝලක් ද?

හෙළ සිනමාවේ මෙතුවක් සාකච්ඡා, නොකළ ප්‍රස්තුථයක් සිංහල චිත්‍රපටයක් ලෙස දැන් තිරගතවේ. ඒ ‘ජංගි හොරා‘ චිත්‍රපටයයි. ප්‍රකට සිනමා අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මෙහි අධ්‍යක්ෂවරයා ය. එය ඔහුගේ එකොළොස් වැනි චිත්‍රපටයයි. ‘ජංගි හොරා‘ චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමේ මානසික ආබාධයක් සහිත සෑම් නම් තරුණයෙකුගේ දිවියයි. එම භූමිකාව චිත්‍රපටයේ නිරූපණය කරන්නේ පුබුදු චතුරංගයි. 

ඉතා ප්‍රවේශමෙන් මෙම චිත්‍රපටයේ දර්ශන පෙළ ගස්වා ඇති අන්දම විමසීමේදී උක්ත මාතෘකාවෙන් ඔබ්බට ගිය ‘අතේ රෝලක්‘ මෙම චිත්‍රපටයේ පවතින්නේ දැයි යම් කුකුසක් මතුවේ. මෙය මානසික ව්‍යාධියක් පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නොවේ. ප්‍රේක්ෂක රස නහර පිනවීමේ කතා කලාව ආචාර්ය සෝමරත්නයන්ගේ නිසර්ග නිර්මාණ පුරුද්දක් නිසා ඇතැම් විට ඔහු දන්නා අයගේ ඇවැතුම් පැවතුම් මෙයට එකතු කළා වන්නට ද බැරි නැති බව රෝග නිධානය විමසා බැලීමේදී පැහැදිලි වේ.

කාන්තා යට ඇඳුම් හොරකම් කරන්නෙකුගේ මානසික ව්‍යාධිය කෙබඳුද? පොලිස් වාර්තාවන්ට අනුව නම් මෙවැන්නක් කරන්නේ කාන්තාවක විසින් ඇඳගෙන ගොස් පැමිණි පසු උනා දමන ලද යට ඇඳුම් හොරකම් කිරීමේ කාර්යයයි. ඔහුට ඇති උන්මාදය වන්නේ එම යට ඇඳුම්වලින් වහනය වන දහඩිය සුවඳ සහ මුත්‍රා සුවඳ ආඝ්‍රාණයෙන් ලබන වින්දනයයි. මෙවැනි ඇත්තන්ට එම යට ඇඳුම් තම දෝතින් ගෙන සිඹින ආශ්වාදය අතිමනරම් බව කියවේ.

චිත්‍රපටයේ කිසිදු තැනක මේ යට ඇඳුම් සිඹින දර්ශනය නැත. ඉන් ද්වනිත වන්නේ අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකට තොරතුරු සම්පාදනය කළ විද්වතුන් සත්‍ය තත්ත්වය වසන් කොට ඇති බවයි.

රෝගීන්ගේ නිවැරැදි චර්යා විශ්ලේෂක වාර්තාවක් චිත්‍රපටයේ තිර රචනය ලිවීමට පෙර තිරනාටක රචක සෝමරත්නයන් ලද්දේ නම් චිත්‍රපටයේ බොහෝ දර්ශන වෙනස් වනු නො අනුමානය. ඒ අනුව බලන කල මේ රෝගී තත්ත්වයෙන් ඉන්නා කෙනෙකු චිත්‍රපටයේ ඇති පරිදි සෝදා වැලේ වනන ලද යට ඇඳුම් හෝ සාප්පුවල ප්‍රදර්ශනයට තබා ඇති යට ඇඳුම් හොරකම වෙනුවෙන් තම ශ්‍රමය වැය කරන්නේ නැත.

එනමුදු මෙය නැරඹීමේදී කතා කීමේ කලාවට ඉතා ඇලුම් කරන අදියුරු, යට ඇඳුම් සොරකම් කිරීමේ සත්‍ය රෝග නිධානයෙන් බැහැරට ගොස් ප්‍රේක්ෂකයාට යම් රසයක් ජනිත කොට සිනමා ශාලාවට රැගෙන ඒමේ කතා රීතියක් නිර්මාණය කොට ඇති බව පැහැදිලිවේ. නිවසේ ගෘහ සේවිකාවගේ (බුද්ධිනී රන්දෙණිය) නිරාවරනිත පියයුරු මත සෑම් (පුබුදු චතුරංග) තම ඇගිලි තුඩු භාවිතයෙන් ගිටාරයේ තත් හඬවන ආකාරයෙන් ස්පර්ශ කිරීම, මානසික ව්‍යාධියට සෝමරත්නයන් තම පරිකල්පනයෙන්, යම් එකතු කිරීමක් කොට ඇති බව හැඟේ.

එමෙන් ම නිවසට පැමිණෙන වෙසඟනගෙන්, උක්ත රෝගය ඇති සෑම් කළයුතු වන්නේ, ඇය ඇඳගෙන පැමිණි යට ඇඳුම් ඔහු ලබා ගෙන ඇයට අලුත් යට ඇඳුම් ප්‍රදානය කොට ඇය නිවසින් පිටත්කර හැරීමයි. එනමුදු චිත්‍රපටයේ එම ඉදිරිපත් කිරීමේ වරදක් තිබේ. චිත්‍රපටය නැරඹීමේදී ප්‍රේක්ෂකයා මේ සා ප්‍රශ්න වැලක් සිතේ දරාගෙන චිත්‍රපටය නරඹනවාට වඩා හුදු ආශ්වාදය පතා චිත්‍රපටය නරඹන්නේමැයි යන මනසින් 'ජංගි හොරා' නැරඹූ කල්හී කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇත.

පුබුදු චතුරංග දෙනෙත් විවර කොට ගෙන විශ්වා බාලසූරියගේ කැමරාව ඉදිරියේ කරනු ලබන රංගනය සත්‍ය රෝගී තත්ත්වයන්ට අනුව අභව්‍යය. කෙනෙකු හොරෙකු වන්නේ යම් දෙයක් කිසිවෙකුට නොදැනෙන ලෙස ඩැහැගැනීමේ සූක්ෂ්ම ශ්‍රවණ නිසා ය. යුවතියන්ගේ හා දිල්හානිගේ නිතඹ පිටුපස ඇස් ලොකු කරගෙන දඟලන පුබුදු දකිද්දී මඳ සිනහ පහළවේ.

ඇඳගෙන සිටින ඇඳුමට යටින් මතුවන කාන්තා යට ඇඳුමේ තම මැණියන් පසුබිමේ ඉන්නා නිෂ්පාදනයක මෙවැනි විවාදාත්මක රූගත කිරිමකදී මානසික පසුබෑමකට ලක්වීමක් විශ්වා බාලසූරියට සිදුවී ඇති බවක් චිත්‍රපටය වෙත අවධානය යොමු කරද්දි පැහැදිලිව දිස්වේ.

සංස්කරණයේ සරල සිද්ධාන්ත ගත් විට, යුවතියකගේ ඇඟට තදවී ඇති යට ඇඳුම් එක රූපයකටත්, අනතුරුව ඇය ඒවා උනා දැමීමත්, පසුව ඒවා තම ඇඳුම් රාක්කයේ එල්ලීමත්, සෑම් යම් තැනක සිට එය නැරඹීමත්, යුවතිය මොහොතකින් හැරී බලද්දී තමා එල්ලන ලද යට ඇඳුම් අතුරුදහන් වී ඇති බව දැකීමත් මිනිත්තුවක් ඇතුළත ඡේදනය වන දර්ශන පෙළක් ලෙස පෙන්විය හැක. මෙවැනි සංස්කරණ රීතියක් චිත්‍රපටයේ නැත්තේ චිත්‍රපටය සංස්කරණය කළ අජිත් රාමනායකගේ වරදින් නොවන බව පැහැදිලි වන්නේ, අදියුරු සෝමරත්නයන් මනෝ ව්‍යාධි චිත්‍රපට නිර්මාණය අත් පොතක් බඳු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ‘සයිකෝ‘ චිත්‍රපටය හෝ බටහිර නිර්මාණය කරන ලද මනෝ ව්‍යාධි චිත්‍රපට කලාව සම්පූර්ණයෙන් ම තම අධ්‍යාපනයෙන් අත්හැර දමා ඇති නිසා ම බව ‘ජංගි හොරා‘ නරඹද්දී පැහැදිලිවේ.

ඊට පසුබිමේ නිර්මාණය කොට ඇති ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය සහිත ගීත දෙක චිත්‍රපටයේ පැවතිය යුතු හදවතට ගැස්මක් ඇතිවන ලයකින් බැහැරව ලයාන්විතව නිර්මාණය වීම කොතෙක් දුරට නිවැරැදි දැයි තම තමන්ම තම නැණ පමණින් විමසා බැලිය යුතු ය. රෝහණ වීරසිංහයන් පසුගිය වසර දහයේදී චිත්‍රපට පසුබිම් සංගීතය භාවිතා කළ සුපුරුදු ඒකාකාරී හඬම ‘ජංගි හොරා‘ චිත්‍රපටයේ පසුබිමින් ද ඇසේ. එක පටිගත කිරීමකින් ලබාගන්නා සංගීත ඛණ්ඩ තාක්ෂණයේ පිහිටෙන් සංගත තැටියක හෝ දෘඩ තැටියක ගබඩා කරගත් විට මෙවැනි තත්ත්වයක් ඇති වී කලාකරුවා අලසයකු වීම නොවැළැක්විය හැකි තත්ත්වයකි. පසුගිය වසර දහයේ ඔහු චිත්‍රපට සඳහා මතක හිටින ගීතයක් හෝ නිර්මාණයට අසමත් වීම තුළම ඔහුගේ කඩා වැටීම පැහැදිලිව දිස්වේ.

ජංගි හොරා චිත්‍රපටයේ විශිෂ්ටතම රංගනය මවන්නේ නයනිගේ චරිතයට පණ පොවන දිල්හානි අශෝක මාලා ය. මෙවැනි චිත්‍රපටයකින් තම රංගන දිවියට යම් අවැඩක් සිදු නොවන ලෙස ඇය කරනු ලබන රංගනය ඉතා ප්‍රශස්ත ය. මෙම සියුම් රංගන ගෙත්තම උදෙසා ඇය වසරේ හොඳම නිළි සම්මානය අවස්ථා ගණනාවකදී ලබන බව නිසැකමය.

ඇය හා කරට කර විශිෂ්ට රංගනයක යෙදෙන අනෙක් තැනැත්තිය වන්නේ ‘කරුණා‘ ගේ චරිතය මවන බුද්ධිනී රන්දෙණියයි. එම චරිතයට සෝමරත්න දිසානායකයන්ගේ තෝරා ගැනීම පමණක් නොව ඇයව මෙහෙයවීම ද බුද්ධිනී විසින් එම චරිතයට තමාගේ ඉහළ කැපවීමක් ලබාදීම ද අගය කළ යුතුම ය. 2021 වසරේ හොඳම සහාය නිළි සම්මානයට ඇය සියලු සුදුසුකම් සපුරා ඇත.

කෙසේ නමුදු මෙම ‘ජංගි හොරා‘ චිත්‍රපටය බොහෝ දෙනා තමන් නොදන්නා පළාත්වල සිනමා හල්වලට ගොස් නරඹන බව නිසැක ය. ඊට හේතුව වන්නේ තමන් ගෙවනා මුදලට බලන්නට රසවත් රූප ද අහන්නට උත්තේජනය ලබන සංවාදද මෙහි ඇති බැවිනි. මෙහි ඇති සිදුවීම් නරඹා ඇතිවන තත්ත්වයන් මත මෙතෙක් පැවති සමාජ ප්‍රස්තුථ අභිභවා ‘ජංගි හොරා‘ කරළියට එන බව පැහැදිලි ය.

ඡායාරූප - උපුල් නිශාන්ත

Comments