මගේ දගෙස්තානය | සිළුමිණ

මගේ දගෙස්තානය

‘මගේ දගෙස්තානය’ යනු ප්‍රමුඛ සෝවියට් කවියකු වු රසුල් ගම්සොටොව් (1923 - 2003) විසින් රචිත එකම ගද්‍ය නිබන්ධනය වේ. නවකතාවක් නොවන එය කිසියම් ආකාරයක විත්ති කතාවක් ලෙස හැඳින්විය හැකි ය. පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් වැ තිබු දගෙස්තානයේ උපත ලද ගම්සොටොව් කවියාගේ මවුබස එරට භාවිත බස වූ අවාර් ය. ඔහු මේ කෘතියේ සිය දේශය ගැනත් බස ගැනත් අභිමානයෙන් යුතු ව කියන කතා, යොදන යෙදුම් තමන්ගේ භාෂාව සම්බන්ධයෙන් අපට වුව ආදේශ කැර ගත හැකි ය.

අවාර් බසින් නිර්මාණකරණයේ යෙදුණු කවීන් අතර ගම්සුටොව් ප්‍රමුඛ ය. ඔහු 1963 දී ලෙනින් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර තවත් ප්‍රමුඛ සෝවියට් ත්‍යාග කිහිපයකින් ම පිදුම් ලබා ඇත. එසේම ඔහුට විශ්ව සාහිත්‍යධරයන් සඳහා බල්ගේරියානු සමූහාණ්ඩුවෙන් පිරිනැමෙන අන්තර්ජාතික බොතෙව් ත්‍යාගය ද 1981 වසරේ පිරිනමනු ලැබී ය. සෝවියට් දගෙස්තාන් ජනතාවගේ නව ජීවිතය ඔහුගේ කවිවල තේමාවයි. ‘දගෙස්තානය ඔබ මගේ ආදරය සහ ප්‍රතිඥාවයි. මගේ ආයාචනය සහ යාඥාවයි. මගේ දිවියේ ද සියලු පොත්වල ද තේමාව ඔබ මැ පමණයි.’

දගෙස්තාන් සමූහාණ්ඩාවේ ප්‍රමුඛ සාහිත්‍යධරයකු වැ සිටි ගම්සාට් සාදාසා ඔහුගේ පියා ය. අතීත විශිෂ්ට කවින් හැඳින්වීමට යොදන bard යන අභිධානය ඔහු හැඳින්වීමේ දී යෙදේ.

මේ කෘතිය ඕනැම ලේඛකයකුට මඟ පෙන්වන්නකි’යි විචාරකයෝ කියති. අතීතය කියා පෑමක් වන මෙහි ජීවිතය හා කලාව පිළිබඳ ලේඛකයාගේ සිතිවිලි පැහැදිලි කරයි. අතීත උල්පතකින් පැන නැඟුණත් එය සංක්ෂිප්ත ආඛ්‍යාන කාව්‍යයක් බඳු ය. මේ ගැදිය පුරා පැදි මෙන් ම කෙටි කතා ද අතරින් පතර විසිර තිබේ. උපදේශාත්මක උපමා කතා සහ පිරුළු මෙන් ම ගැමි ජන ප්‍රඥාව යටින් දිවෙන කියමන් ද ඒ අතර වෙයි.

පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ සිය හැඳින්වීමේ දි මේ කෘතිය ගැන මෙසේ කියයි. ‘මේ පොත තුළ ඔබ ඔබේ ම වූ කිසිවක් සොයන්නේ නම් තමා සතුටු වන බව රසුල් කියයි. එසේ ය. පොතෙන් වැඩිමනතක දී මට මගේ අදහස් සොයා ගත හැකි විය. එහෙයින් මම එය පරිවර්තනය කළෙමි. ඒ තුළ සිංහල පාඨකයනට බොහෝ දේ සොයා ගත හැකි බව මට නිසැක ය. මෙය අපේ පටු මනස් මායිම් බිඳ හෙළා හොඳ ය’යි සිතා සිටින අය සිටින පැත්තේ දුබලතාත්, නරක යයි සිතා සිටින අය සිටින පැත්තේ ප්‍රබලතාත් ගැන සිතන්නට අප පොළඹවයි. එහෙයින් මම මෙය පරිවර්තනය කළෙමි. “ආදරණීය පරිවර්තකය, මා සිටින සැටියෙන් ම සිටින්නට මට ඉඩ දෙන්න. මා වඩා හොඳට හෝ නරකට හෝ නොව ඒ සිටින සැටියෙන් ම පෙන්වන්න” රසුල් මගෙන් ඉල්ලා තිබේ. එහෙත් ඔහු අවාර් බසින් කළ නිමැවුම එලෙසින් ම ඔබ අතට පත් කරන්නට හැකි වූයේ ය කියා නොසිතමි. එය අවාර් බසින් රුසියානු බසට ද ඉන් ඉංගිරිසියට ද පෙරැළීමෙන් අනතුරුව ය මෙසේ ඔබ අතට එන්නේ. රසුල් එය දැන සිටි බව මෙය අවසානය දක්වා කියැවූ විට ඔබට වැටහෙනු ඇත. කෙසේවෙතත් කර්තෘට කියන්නට වුවමනා වු දේ ඔබ ලබා ගත් බව නිසැක ව කිව හැකි ය.’

මෙය සාහිත්‍යය නමැති කලාව කෙරේ නැඹුරුවක් ඇති සැම අයෙකුටම අත් පොතක් වනු ඇති බව පරිවර්තක කියයි. එසේම රට ගැන, මිනිසා ගැන කැප වීමෙන් යුතු ව වැඩ කළ යුතු සෑම විෂය ක්‍ෂෙත්‍රයකම මිනිසුන්ගේ බුද්ධි ප්‍රබෝධනයට හේතු වනු ඇත.

පරිච්ෙඡද වෙන් නොකළ මෙහි අංකනය නොකළ කොටස් 14ක් අන්තර්ගත ය. ඒවා පිළිවෙළින් මෙසේ ය: ( සැලකිය: මෙතැන අංක යොදා ඇත්තේ මේ පුවත්පත් ලිපිය කියවන අයගේ පහසුව පිණිස මා ය.)

1.පෙරවදනක් වෙනුවට පොදුවේ පෙරවදන් ගැන 2. මේ පොත උපත ලද්දේ කෙසේ ද? 3. මෙය ලියනු ලැබුයේ කොහි දී ද? 4. මේ පොතේ අදහස හා එහි නම ගැන. 5. පොතේ ආකාතිය සහ එය ලිවිය යුත්තේ කෙසේ ද යන්න ගැන 6. භාෂාව 7. තේමා පිළිබඳව 8. ශෛලිය 9. රටාව 10. මේ පොත් ප්‍රාසාදය හා වස්තු විෂයය 11. ප්‍රතිභාව 12. වැඩ 13. සත්‍යය හා ධෛර්යය 14. සැක

මේ අනුව පොත කවරාකාර ද’යි තීරණය කළ හැකි වනු ඇත. විශේෂය වනුයේ මේ සැමෙකක්ම වෙන් වෙන් කතාංග ලෙස ගැනීමට හැකි වීමයි. 

‘මගේ දගෙස්තානය’ නම් සිංහල කෘතියෙන් උපුටා ගත් ඡෙද දෙකකි පහත පළවන්නේ.

*‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා සේ ය. එසේ නමුදු ගස එසේ ම පවතින්නේ ය. අවුරුද්දෙන් අවුරුද්ද එය සාරයෙන් පිරී ඔදවත් වෙයි. ශක්තිමත් වෙයි. විපුලිත වෙයි. එසේ ම පලදාව උපද්දවයි’

*‘මගේ සිහින තුළ වගා කෙරෙන බිම ඇත්තට ම වගා කෙරෙන බිිමට වඩා විශාල ය. ප්‍රතිභාව සේවය කළ යුත්තේ කාට ද? මට ද නැත්නම් මට වඩා බොහෝ ඈත පියා සලා ඇති මාගේ සිහිනවලට ද? ඔබ කිසිවකට මැඬලිය නොහැකි ගින්නකි. ඔබ කිසිවකුට අවසානය දක්වා ගන්නට නොහැකි ගීිතයයි. ඔබ කිසිවකුට කිසිදා අවසන් කළ නොහැකි පියාසැරියයි. ඔබේ යුග ගණනක් පැරණි ගීයට එකම තනුවක්, මගේ ම වූ තනුවක් අවාර් තනුවක් මුසු කරන්නට මට හැකි වේ ද? එවිට මුළු ගීතය ම වඩාත් පොහොසත් වන්නට ද බැරි නැත. ඔබේ නොනිවෙන ගින්නෙන් සුඟක් ගෙන දගෙස්තාන් කඳු මුඳුන් මත මට අරැඹිය නොහැකි වනු ඇති ද? ට්සාදා යනු මගේ උපන්ගමයි. අවාර් බසින් එහි නම ගින්න වේ.’

Comments