තාත්තා ලියූ ‘ගම්පෙරළිය’ ඉංග්‍රීසියට නැඟූ දොස්තර පුතා රංග වික්‍රමසිංහ | සිළුමිණ

තාත්තා ලියූ ‘ගම්පෙරළිය’ ඉංග්‍රීසියට නැඟූ දොස්තර පුතා රංග වික්‍රමසිංහ

මීට වසර 47කට පෙර එනම් 1975 මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හමු වූ අවස්ථාවක මෙසේ අපට කීය. “මගේ බාලපුතා රංග “සත දහය” නමින් ලියූ කෙටිකතාවක් “සිළුමිණ” පුවත්පතේ පළ වුණා. මේ කතාව ලිවීමට රංගට වස්තු බීජය ලැබුණේ මාත්, රංගත් ඔහු ගේ මාමාත් රෑ කෑමෙන් පසු ගල්කිස්සේ මුහුදු වෙරළේ ඇවිදින්නට ගිය දිනක දක්නට ලැබුණු සිද්ධියක් ඇසුරෙන්. රංග ලියූ කෙටිකතාවේ සාරාංශය මෙයයි. දිළිඳු කොලුවෙක් මැද පන්තියේ එකෙකුගෙන් පිනට සත පහක් ඉල්ලුවා. ඔහු සත දහයේ කාසියක් කොලුවා වෙත වීසි කළා. එය රේල් පීලි දෙකක් අතර විවරයෙහි වැටුණා. කොලුවා සත දහය සොයන්නට ගියා. කොළඹින් ආ දුම්රියකට හසුව මිය ගියා. රංග ලියූ කෙටිකතාවේ තේමාව එයයි.”

පසුව මාර්ටින් වික්‍රමසිංහයන් විසින් 1951 වසරේ ලියූ “වහල්ලු” කෙටිකතා සංග්‍රහයේ එන “විනෝදාස්වාදය” කතාව ලියන්නට තමා උනන්දු කරන ලද්දේ රංග ලියූ “සත දහය” කතාව බව ඔහු පැවසුවේය.

මේ සිද්ධිය ගැන වෛද්‍ය රංග වික්‍රමසිංහ ගෙන් අප විමසුවේය.

“සත දහය ටිකිරි කතාවක් හැටියට “සිළුමිණ” පුවත්පතේ පළ වුණේ. මම ඒ වන විට ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. වයස අවුරුදු 15ක් විතර ඇති. මම “සිළුමිණ” ට ලිව්ව “කුකුළු හොරා”, “අපූරු සෙල්ලම”, “සත දහය” හා “එක දෙක කිරීම” දැන් තනි කතා හැටියට ප්‍රකාශයට පත්වී තිබෙනවා.”

වෛද්‍ය රංගට තම පියා ගැන ඇත්තේ සුන්දර මතකයකි. තම පියා හැම දිනකම පාන්දර පහමාරට අවදි වී, අනිවාර්යෙන්ම මේ ගීතය ගයනවා.

“ඕ මා ආදරී, ඕ මං ආදරී 
ඕ මා ආදරී චන්දිරා 
බෝ පෙමාදරයෙන් විසූ මට 
වෙන්වුණා මගේ චන්දරා”

ගෙදර මැද සාලයේ මැද බිම අතුරන පැදුරුවල නිදා සිටින මටත්, අක්කා රූපාටත් ඇහෙන්න තම පියා අත් කොස්සක් ගෙන පුස්තකාල කාමරයට යන බවත්, ආපසු ආලින්දයට පැමිණ සක්මන් කරමින් ජෝන් ද සිල්වාගේ “සිරිසඟබෝ” නාට්‍යයේ එන “දන්නෝ බුදුන්ගේ”, මුනිදාස කුමාරතුංගයන්ගේ “හා හා හරි හාවා” ගීත ගයන බවත් පවසයි.

“මේ සින්දු දෙක තුන ම මට අදත් කට පාඩම්. මෑතදී අප අතරින් වියෝ වූ රූපා අක්කටත් මතක තිබුණා. එක දවසක් තාත්තා හියුබත් රාජපක්ෂ විසින් ගායනා කොට තැටිගත කර තිබූ “දන්නෝ බුදුන්ගේ සින්දුවත් හොඳට අහගෙන ඉඳලා “මම කියන්නෙත් ඔය තාලෙටමයි” කිව්වා. එතකොට මමත් අක්කත් කියනවා - “තාත්තේ එයා කියලා තියෙන්නේ ඉංග්‍රීසි උච්චාරණයට. ඒකෙන් මුල් ගීතයට වෙන්නේ ලොකු හානියක්” කියලා. තමා කළ කී දෙයකට පටහැනි මතයක් පිළිගන්න මැළි වුණත් හිර හැටි කරුණු පැහැදිලි කළාම තාත්තා ඒක පිළිගන්නේ සිනාසෙමින්.

වෛද්‍ය රංග, තම පියාගේ ගති ගුණ විස්තර කරන්නේ පිය සෙනෙහස තුරුලු කර ගෙන ය. තාත්තාට පොත් දහස් ගණනක පුස්තකාලයක් තිබුණ ද, ඕනෑම පොතක් තිබෙන තැන මතක තිබෙනවා. ඕනෑම ගමනක් යන විට හැඩ වැඩ වී තරුණයෙක් පෙම්වතියක් බලන්න යනවා වගේ යන බව පවසයි.

1932 ජූලි 16 වෙනිදා උපන් හිමාංශු රංග වික්‍රමසිංහට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකු ද, වැඩිමහල් සොහොයුරියක් ද, බාල සොහොයුරියන් දෙදෙනෙක් ද වූහ. වැඩිමහල් අයියා සුසන්ත මනුවර්ණ කුඩා අවදියේ ම මිය ගොස් ය. ඊළඟ අයියා සරත් කුසුම් වික්‍රමසිංහ ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකි. ලංකා දුම්කොළ සමාගමේ හා කොමර්ෂල් බැංකුවේ සභාපති ලෙස ද මහා බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ මහා කොමසාරිස් ලෙස කටයුතු කළේය. පසුගිය වසරේ ඔහු මිය ගියේ ය. ඊළඟට වසන්ත කුමාර වික්‍රමසිංහ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරියකු වූ ඔහු ජාතික සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයාව සිටියේ ය. වැඩිමහල් සොහොයුරිය රූපා මාලිතී වික්‍රමසිංහ ගෞරව උපාධිධාරිනියෙකි. හිටපු විදුහල්පතිනියකි. ලේඛිකාවකි. ඇගේ සැමියා ඇස්. ඩී. සපරමාදු කීර්තිමත් සිවිල් සේවකයෙකි. මොනරාගල, අම්පාර මහා දිසාපති, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. මේ දෙදෙනාම අද ජීවතුන් අතර නැත. බාල සොහොයුරියන් වූ ඌෂා හා යුනි උපාධිධාරිනියන්ය.

වෛද්‍ය වෘත්තියෙන් විශ්‍රාම ගිය පසු තම පියා විසින් 1944 දී ලියන ලද “ගම්පෙරළිය” (ගැමි ජීවිතය පසුබිම් කොට ලියන ලද ඉතා අගනා සිංහල නවකථාව ලෙස සැලකෙන) නවකතාව මහාචාර්ය ලක්ෂ්මී ද සිල්වා සමඟ uprooted නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට 2009 ද පළ කළේය. පසුව වෛද්‍ය රංග තම පියාගේ තෝරා ගත් කෙටිකතා ඉංග්‍රීසි බසට නැඟීය. 2008 වසරේ මේ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාට පහර ගැසීමට සිතූ සමහරු “සත්ව සත්තතිය” ග්‍රන්ථය විද්‍යාව දන්නා පුත් රංග වික්‍රමසිංහ ලියූවක් බව කීහ. වික්‍රමසිංහ මහතා “සත්ව සත්තතිය” පළ කරන විට රංගට අවුරුදු 6කි.

ඔහු සිය පියාගේ දින චරියාව ගැන අතීත මතක ආවර්ජනය කළේ මෙසේය.

“තාත්තා ලේක්හවුසියේ ‘සිළුමිණ’ පත්‍රයේ කර්තෘ කාලයේ සිට ම උදේ පාන්දරින් ම අවදිව හීන් කෙඳිවලින් යුත් දූවිලි පිසින අත්කොස්ස අතින් අරං පුස්තකාල කාමරයට ගොස් පොත් රාක්කවල හා බිත්තිවල දූවිලි පිස දමනවා. වරින්වර පොත් රාක්කයක් ඉදිරියේ නැවතී පොතක් අතට ගෙන කණ්ණාඩි ගෙන කණ්ණාඩි කුට්ටම නළලට ඔසවා, පොත දෑසට ළං කර පිටු කිහිපයක් කියවනවා. ඇතැම් පිටුවල ඔහුම පෙර පැන්සලයකින් කළ සටහනක් කියවනවා.

“ප්‍රේමා, ඔය කෝපි කෝප්පය ලෑස්ති නැද්ද” තාත්තා අම්මාට කියනවා.

අපේ ගෙදර සිටි මටත්, රූපා අක්කාට සිරිතක් වශයෙන් කෝපි ලැබුණේ නෑ. අම්මා හදන ලොකු කෝප්පය තාත්තාට පිළිගන්වන්නේ අපි. තාත්තා කෝපිවලින් කොටසක් ඉතුරු කරලා අපි දෙන්නට දෙනවා. අහම්බෙන් දවසක තාත්තා පොතක් බලන අවස්ථාවක සම්පූර්ණ කෝප්පය බීලා තිබුණොත් ඇයි මට මතක් කළේ නැත්තේ කියල තාත්තා හිස් කෝප්පය මා අත තියනවා. ඒකාලේ ලේක්හවුස් එකෙන් ලැබෙන වැටුප ළමයි හය දෙනකු නඩත්තු කරන්න බැරි නිසා අපේ අම්මා අරපරිස්සමින් වැඩ කළේ. මේ නිසා දරුවන් වූ අපට උදේ තේ හෝ කෝපි බොන්න ලැබුණේ නැහැ.”

දරුවෝ හය දෙනාම දඟකාර නිසා වික්‍රමසිංහ මාතාවට මේ අය මෙල්ල කිරීමට නොහැකි වී ඇති අතර තම සැමියා ගෙදර ආ පසු පැමිණි පසු හීන් කෝට්ටකින් තැළුෑ බව කියන වෛද්‍ය රංග හා සොහොයුරු සොහොයුරියන් මර හඬ තලා අඬා ඇත්තේ වේදනාව වැඩි නිසා යැයි රංග අද පවසන්නෙ හිනැහෙමිනි.

“තාත්තා අපේ ඉගෙනීම ගැන සොයා නොබැලුවත් හැමෝටම ඉගෙන ගන්න අනුබල දුන්නා. අපි වාර අවසානයේ හොඳ ප්‍රතිඵල ලබා තිබුණොත් ගජ වාසියි. අපි එකිනෙකා පරයා උසස් ප්‍රතිඵල පෙන්නුවා. තාත්තා මේ රපෝර්තු බලා සතුටට පත්වෙනවා. අපව ගුණසේන සාප්පුවට එක්ක ගිහින් තමන් කැමති පොත් දෙක තුනක් තෝරලා දෙනවා. ඊට පස්සේ කොටුවේ පැගෝඩා හෝටලයකට එක්ක ගිහින් කේක්, පැටිස්, කටලට් ආදියෙන් තාත්තා සංග්‍රහ කරනවා. තාත්තා නිවාඩුවකට ගෙදර ඉන්න කොට අපිවත් අල්ලගෙන ආලින්දයේ රතු සිමෙන්ති සහිත බිම කණ්ණාඩියක් සේ මුහුණ පෙනෙන තුරු ඔප දමනවා. තාත්තා නිවාඩු කාලයේ ඇවිදින්න යන්න කැමතියි. අපි පුංචි කාලේ මහාචාර්ය සෙනරත් පරණවිතාන, කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය සිරි ගුණසිංහ සමඟ පොළොන්නරුව, කොස්ලන්දේ දියලුම ඇල්ල බැලීමට අපිව එක්ක ගියා. තවත් වරෙක ඒ. මීවනපලාන මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ තාත්තා අපත් රැගෙන කතරගම ගිය හැටි මට මතකයි.”

තාත්තා දරුවන්ට අර පරෙස්සමින් වියදම් කරන හැටි ඉගැන්වූ බව වෛද්‍ය රංග කියයි. තම පියාට අයත් මුද්‍රණාලයක් ගල්කිස්සේ තිබුණි. “මවුන්ට් ප්‍රෙස්” එහි නම ය. දරුවන් අමතර වියදම් වලට සල්ලි ඉල්ලූ විට “ප්‍රෙස් එකට ගිහිං පොත් මහල හම්බ කරනවා.” යයි පියා දරුවන්ට කියා ඇත. අපි හැමෝම ප්‍රෙස් එකට ගිහින් තාත්තා ලියපු මුද්‍රණය කර තිබෙන පොත් විදල මහලා පොතකට සතය බැගින් ද, අමුනා මහන පොතට පෝරම අනුව සත පහක් බැගින් සල්ලි ගන්න තාත්තා ළඟට ගිහින් බොරු ගණනක් කියන විට වික්‍රමසිංහයන් මෙසේ කියා ඇත.

“මුං පල් හොරු, පොලිත් එක්ක අය කරනවා.” කියූවද තම තමන් කියන මුදල දරුවන්ට ගෙවා ඇති බව වෛද්‍ය රංගට තවමත් මතක ය.

සෑම ඉරිදාම රංග ඇතුළු දරු පිරිස පියා විසින් ගල්කිස්සේ මුහුදේ නාන්න එක්ක ගොස් ඇත. රංගව කරේ තියාගෙන තාත්තා ගැඹුරට ගෙන ගොස් ඇත. තාත්තා වැල්ලේ දිග ඇදී ඔහුගේ ඇඟ වැසෙන තුරු දරුවන් ලවා වැලිවලින් පුරවා ගන්නා බව ද, ශත 10ක් ලබා ගැනීමට තමන් සහ අනෙකුත් සහෝදර සහෝදරියන් පියාගේ කකුල් හා අත් මිරිකා දරුවන් පොර කෑ හැටි රංගට අද ඊයේ මෙන් මතක තිබේ.

වික්‍රමසිංහ පවුලෙන් ලේඛනයට දක්ෂ දරුවන් වී ඇත්තේ රංග හා රූපා ය. රෝග නිධාන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ ඔහු ඕස්ට්‍රේලියාවේ හා ඩුබායි හි රෝහල්වල සේවය කොට කොළඹ ජාතික රෝහලේ ස්නායු වෛද්‍ය ඒකකයේ ද සේවය කොට ඇත. වෛද්‍ය විද්‍යාව ගැන ලිපි රැසක් ලියූ හෙතෙම තම පියා විසින් ලියූ කලියුගය, යුගාන්තය, විරාගය චිත්‍රපට මෙන්ම ගම්පෙරළිය, මඩොල්දූව, කළුවර ගෙදර හා වික්‍රමසිංහගේ කෙටිකතා ඇසුරෙන් ටෙලිනාට්‍ය සඳහා උපදෙස් දුන් වෛද්‍ය රංග, ‘විරාගය’ චිත්‍රපටයේ අරවින්ද ගේ චරිතය රඟ පෑ සනත් ගුණතිලක චිත්‍රපටයේ අවසන් කොටසේ බලවත් ලෙස කෘශ වී රෝගාතුරව සිටින දර්ශන සඳහා ශරීරයේ බර අඩුකර ගැනීමට උපදෙස් දුන්නේ ය. ජයසේන අරවින්ද මිය යන්නේ අවුරුදු තිස් පහේදී ලේ පිළිකා රෝගයට ගොදුරු වීමෙනි. ඒ කාල සීමාව තුළ දී ඔහුගේ බාහිර පෙනුම අවුරුදු හැටක පමණ මහල්ලෙකුගේ පෙනුමට සමාන විය යුතුය. එම පෙනුම ලබා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කෙසේ දැයි යන ප්‍රශ්නයට චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකර පිළිතුරක් සනත් ගුණතිලකට දී තිබුණි.

“මේකට වඩාත් සුදුසු පුද්ගලයා ඩොක්ට රංග. විරාගයේ පසුබිමත් දන්නවා. මම රංගට කියන්නම්. එතකොට ශරීරය කෘශ කර ගත යුතු ආකාරය ගැන උපදෙස් දේවි.” තිස්ස කීය.

වෛද්‍ය රංග විසින් මූලික උපදෙස් දී සනත් වෛද්‍ය නානායක්කාර වෙත යොමු කොට ඉතාම උචිත හා යෝග්‍ය උපදෙස් ලබා දුන්නේය. මෙහිදි වෛද්‍ය රංගට තම හිතවත් මිත්‍ර මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද තමාගේ සහායට සිටි බව ඔහු පැවසුවේය.

තාත්තාගේ සාහිත්‍ය ජීවිතයේ කුඩා කළ සිටම ළඟින් ම සිටි දරුවා වූයේ රංග ය. රංග පියා සමඟ සාහිත්‍යවාදවලට ද එක් විය. රංග ගේ වීරයා පියා ය. ඔහු පියාගේ සාහිත්‍ය කටයුතු ගැන විමසිලිමත් විය. පියා නවකතාවක් ලියන විට පුතා අවදියෙන් සිටියේ ය.

“තාත්තා නවකතාවක් ලියන විට අඩුම තරමින් පස් වතාවක්වත් කපා කොටා නැවත ලියනවා. එසේ ලිවීමෙන් සෑහීමකට පත්වන තාත්තා ප්‍රතිමාකාරයෙක් පිළිරුවක් ඇඹීමෙන් ලබන සතුටක් ලබනවා.”

1953 වසරේ දී ඇම්. බී. ඊ. නම්බුනාමය වික්‍රමසිංහයන් ලැබීම ප්‍රතික්ෂේප කරන්නැයි රංග ප්‍රමුඛ දරුවන් තරයේම කියා සිටියහ. සමාජවාදි, වාමවාදි අදහස් දැඩි ලෙස ගරු කළ රංග වික්‍රමසිංහයෝ අධිරාජ්‍යවාදය පිටු දුටු හ. ලංකා සමසමාජ පක්ෂයේ නායක ඇන්. ඇම්. පෙරේරා ගේ පුද්ගලික වෛද්‍යවරයාව සිටි වෛද්‍ය රංග කලා රසිකයෙකි. ආනන්ද සමරකෝන්ගේ ගීත හා ජෝන් ද සිල්වාගේ නාට්‍ය රසවිඳි ඔහු වෛද්‍ය විද්‍යාලයේ සාදවලදි ද, නෑයන් එකතු වන අවස්ථාවල ඒ ගී ගයා ඇත. තම පියා විසින් ලියූ නවකතා අතරින් ඔහු වඩාත් ප්‍රිය කර ඇත්තේ “කලියුගය” හා “විරාගය” නවකතාවලට ය. පොතපත් කියවීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වී ඇත. වෛද්‍ය රංග වික්‍රමසිංහ විවාහ වූයේ අම්බලන්ගොඩ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ වෛද්‍ය එම්.එච්. සද්ධාසේන ගේ දියණියක් වූ කුමුදිනි සමඟය. රංග හා කුමුදිනිට පුතුන් දෙදෙනෙකු ද දියණියක් ද සිටිති. වැඩිමහල් පුතා හිමංශු වික්‍රමසිංහ ලොස් ඇන්ජලිස් රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකි. දියණිය දිනේෂා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. බාල පුත් මාලින් වික්‍රමසිංහ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙන මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කොට දැන් මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි.

“ළමා වියෙහි නිතර දැකීමෙන් මතකයේ කැටයම් වූ සිතියමක් මට මනැසින් පෙනෙයි. ලියන මේසය මත සෙම්බුවක හැඩහුරු කමින් යුත් පිත්තල ලාම්පුවෙන් නික්මෙන එළිය, දැල්වෙන තිරය වට කරන වීදුරු චිමිනිය තුළින් කහවන් ආලෝකයක් නිකුත් කරයි. ලාම්පුවේ එළියෙන් තාත්තාගේ හිස කෙස් සහ ඔහුගේ අකුරු ලියැවෙන සුදු කඩදාසි එක සේ බබළයි. ලියන දෙසට යොමු වූ මුහුණ, පුළුල් නළල් තලයෙන් වැටෙන වක්‍ර සෙවණැල්ලට මුවා වී යන්තම් පෙනේ. ලාම්පුවේ එළියෙන් නළල් තලය දිලිසෙයි. බිත්තිවල වැටෙන මෘදු එළියෙන් යන්තමට පෙනෙන පොත් රාක්ක නිසොල්මන්ව බලා සිටින පිරිසක ගේ සෙවණැලි මෙන් දිස්වෙයි.” ජීවිතයේ සන්ධ්‍යා කාලය ගෙවන වෛද්‍ය රංග වික්‍රමසිංහයෝ සිය පියා මතකයට නඟමින් කීහ.

Comments