ජීවිතයට මඟ පෙන්වන රතන සුත්‍රයේ බලය | සිළුමිණ

ජීවිතයට මඟ පෙන්වන රතන සුත්‍රයේ බලය

අප වටා ඇති සියලුම දේ නාමමාත්‍රික වනඅතර අවසාන ඵලය ශුන්‍ය දුහුවිල්ලකට සමාන මූල ද්‍රව්‍යක් බවට විද්‍යාවෙන් සනාථ කිරීමට වසර දෙදහසකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මහා සහශ්‍රී ලෝක ධාතු මෙන් ඉන් පිටතදී ද තථාගත ශ්‍රී සද්ධර්මය පැතිර පවතින්නේ පරම සත්‍යම හේතු සහිත දහමක් ලොව්තුරා බුදුන් වහන්සේ දේශනා කළ බැවිනි. දුහුවිල්ලකින් ලක්ෂයකින් කොටසක් තරම් වන අසත්‍යත්, වරදක්, අනර්ථයක් නැති බුද්ධ වචනය ලෝකයේ (විශ්වයේ) ප්‍රසිද්ධව, ප්‍රකටව පවතී.

මිනිසෙකු ලෙස ඉපදී හැදී වැඩී නිසි කලට ලැබිය යුතු සැප සම්පත් නොඅඩුව ලැබී ගිහිගෙදරින් නික්ම ගොස් පැවිද්ද ලබා ලෝකයේ මිනිසකු විඳින දුෂ්කරම පීඩාවට තමන් විසින්ම භාජනවී ජීවිතය දුකින් තොර, සැපෙන් තොර මැදි පිළිවෙතකින් සත්‍යම අවබෝධ කර ගැනීමට අවශ්‍ය මාර්ගය මනා ලෙස පරිපූර්ණ වශයෙන් අවබෝධතා ඤාණයෙන් අවබෝධ කොටගෙන ලෝකයේ හා මුළු මහත් විශ්වයේම බලගතුම ඤාණශක්තියට උරුමකම් කියන්නට භාග්‍ය ලද්දාහ.

මිනිසෙකු තුළ ඇති චින්තනයේ, ඤාණ ශක්තියේ උපරිමයට, උපරිම තලයට පත් එකම (මිනිසත් බව අබිබවා) උත්තම සත්‍ය අවබෝධ කළ දස විධ ඤාණ බලධාරී තෙමේ ලෝකස්වාමි වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේය හැර වෙන කිසිවෙකු නැත. මෙලොව පහළ වූ කිසිත් නැත. තවදුරටත් එසේ සත්‍ය අවබෝධ කළ බුදු කෙනෙකු හැර කිසිම මනුෂ්‍යයෙකු ඒ උතුම් පදවියට පත්වන්නේ ද නැත. මේ හා අසමසම බලයකින් ගුණයකින් යුතු සම්බුදු මුවින් දෙසා වදාළ සත්‍යම සද්ධර්මය හා ඉන් ලබා ගත හැකි විපුල ඵල ඇස් පනා පිට තිබියදී වෙනත් මාර්ගවල ගමන් කිරීම, ඒ අනුව කටයුතු කිරීම, මළවුන් ඇදහීම, පිහිට පැතීම, මිත්‍යාදෘෂ්ටිය මිස වෙන කවරක්ද?

දෙවියන් විශ්වාස කළාට කමක් නැත. පින් දුන්නාට, පුදපූජා දුන්නාට කමක් නැත. ඒවායින් ඔවුන්ට තවත් දිව්‍යතල වලට ගමන් කිරීමට ශක්තිය ලැබීම සිදුවෙයි. දැඩි මතධාරීව, අන්ධ විශ්වාසයෙන් ඇලී බැඳී කටයුතු කිරීම බලවත් විපතකට මඟ පාදා ගැනීමකි.

දීර්ඝ ලිපි පෙළකින් පාඨක ඔබට මා පැහැදීමට උත්සාහ කළේ ද තවදුරටත් කරන්නේ ද පැහැදිලිවම නිවැරදි, සත්‍ය මාර්ගයේ ගමන් කරවීමයි. මඟ කියාදීමයි.

ලොව්තුරා බුදුන් වහන්සේ විශ්වාස කරන්න. ලොව්තුරා බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හා එහි ඇතුළත් බලවත් පිරිත් සුරතුරු - කෙරෙහිම විශ්වාසය පවත්වන්න.

නිවන හැර වෙනත් පිහිටක් පිළිසරණක් මාර්ගයක් නො මැති බව තරයේ සිහි තබාගෙන කටයුතු කරන්න.

“එකායන මග්ගෝ නිබ්බාන”

කිසිඳු මන්ත්‍රයකට කිසිඳු දේව බලයකට හෝ ශක්තියකට කළ නොහැකි හාස්කම් බුද්ධ භාෂිත පිරිත් සූත්‍ර තුළ ගැබ් වී ඇති බව සිතට ගන්න. රතන සූත්‍රය මඟින් ඔබගේ ජීවිතයේ පවතින ගැටලු, කරදර පීඩා වලට සාර්ථක පිළිතුරු ලබා ගැනීමේ මාර්ගය තවදුරටත් මෙම ලිපියෙන් සටහන්කොට තබමි. මේ ඒ පිළිබඳව ඔබට ගෙන එන අවසන් ලිපිය බව සැලකිය යුතුයි. රතන සූත්‍රයෙන් කළ හැකි හාස්කම් බොහෝය.

‘‘ඛයං විරාගං අමතං පණීතං....“. යන්න සජ්ඣායනා කොට

රන්තැඹිලි තෙල්වලට දහස්වර මතුරා සතර කොන පහන් දල්වන්න. සුරවල අසුරා කර බඳින්න. සියලු වේදනා කැක්කුම් වලට තෙල්, පැන්, දෙහි ඇඹුල් මතුරා දෙන්න. අංගම්, පිල්ලි, සූනියම් වලට එයින් ඉහළ ප්‍රතිඵල ලැබේ.

‘යම් බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයි සුචිං....‘‘ සීලාදි ගුණ දම් සපුරා දාගැබක් සමීපයෙහි 108 වරක් සමන් මල් මතුරා පුදන්න. සියලු බලාපොරොත්තු සඵල වෙයි. එසේ සමන් මල් මතුරා නඩුවට රැගෙන යන්න. තමන් නිවැරැදි නම් ජය ඒකාන්තයි.

‘‘හරක් ගාලේ දමනු‘ නිරෝගී ගවයන් බෝවේ.

සපුමල් වලට මතුරා ගෙයි තබන්න. මුදල් ඇතිතැන මුදල් හිඟ නොවේ, අටුකොටුවල තබන්න. භෝග හිඟ නොවේ. නිදන කොට්ටයට දමන්න. සැපසේ නින්ද ඇතිවෙයි.

‘‘යේ පුග්ගලා අට්ඨසතං ප සත්ථා‘‘ තුන්දොස් කෝප වුණ අයට 108 වර මතුරා දෙහිගැට කපන්න. රජුන් දැකීමට රන්තැඹිලි තෙල් දහස්වර මතුරා තිලක තබා යන්න. ප්‍රසාදය ඇතිවෙයි. තැඹිලි, කස පැන් මතුරා දෙන්න. රෝග සුව වේ.

‘‘යේ සුප්ප යුත්තා මනසා දල්හේන....‘‘ සහල් ගැරූ තැනින් ගල්කැට 7ක් ගෙන දහස්වර පුද ඇතිව මතුරා ගෙයි සතර කොන, ගේ මැද හා ගෙදර ඉදිරිපස හා පිටුපස දොර යන ස්ථානවලට ඇඟිලි පුරුක් දෙකක් යටට වළලනු. බලගතු රහස් රැකේ. ආරක්ෂාව සහිතයි. වසංගත රෝගවලට 108 වර මතුරා කොහොඹ තෙලින් පහන් දල්වන්න. කුරුමිණියන් කෑ තල පත්‍රයක මෙය ලියා 108 වර පිරිත්කර ළඟ තබා ගන්න. රෝග බෝ නොවේ.

‘‘යඨින්ද ඛීලෝ පඨවිංසිතෝ සියා...‘‘

සමන් පිච්ච මල් වලට 108 මතුරා බෝධියට, දාගැබට පුදා යහපත් පරමාර්ථය කියන්න. සියලු සතුරු කරදරවලට සඳුන්තෙල්, සමන්පිච්ච තෙල්, රන්තැඹිලි තෙල් මතුරා සුරැකිව තබා ගන්න.

‘‘යේ අරිය සච්චානි විභාව යන්තී...

ශරීරයේ ශ්‍රියාව ඇතිවීමට තලතෙල් මීතෙල් සමව ගෙන 108 වර මතුරා ඇඟට ගාන්න. වසංගත, බෝවන රෝගවලට කොටිතෙලට 108 වර බෝමැඬදී මතුරා ළඟ තබා ගන්න. ආරක්ෂාව සැලසේ. කෙනෙකුට ඕනෑම බයක් ඇති වූ විට සඳුන් මතුරා ගෑම ද රන්තැඹිලි තෙල්, නෑඹුල් පොල්තෙල් පිරිසිදුව සිඳ පිරිසිදුව වත්පිළිවෙත් අනුව දහස්වර මතුරා සුරැකිව තබා ගැනීම හොඳයි. පහන් තැබීම හොඳයි. සුරවල අසුරා පැලඳී හොඳයි.

‘‘සභාවස්සදස්සන සම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්තී...‘‘

විට වේදනාව නොදැනේ. (කපුරු තෙල්, නාරායන තෙල් සමව ගනු.)

සියලුම කසාය, බෙහෙත් ඔසු 108 වර මතුරා දෙන්න. සියලු ආරක්ෂාවට ද යහපති. ‘‘කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං...‘‘ යන ගාථාව සිහි කරමින් සී සාන්න. වගාවට බීජ ඉසින්න. වන සතුන්ගෙන් වන හානි සොර සතුරු උපද්‍රව්‍ය වැළකී යයි.

‘‘වනප්ප ගුම්බේ යථා ථූස්සිතග්ගේ.....‘‘

ගැබිනි මාතාවන්ගේ සියලු ලෙඩට තෙල්, පැන්, කෂාය මතුරා දෙනු. බලවත් ආරක්ෂාවකි. 108 වර සිල්වත්ව මතුරා දිය යුතුයි. ප්‍රසූතිය අමාරු කල පැන් මතුරා පොවන්න. වී වලට පැන් මතුරා ඉස වපුරන්න. අස්වනු වැඩිවෙයි.

‘‘වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ....‘‘

සිරුරේ ඇතිවන ගඩුවලට පිණ්ඩ තෙලට මතුරා ගාන්න. දද කුෂ්ඨවලට ද නිල්‍යාදි පිණ්ඩ තෙල් සමවගෙන මතුරා ගාන්න‘‘.

අලුත උපන් බිලිඳුන්ට හා කුඩා දරුවන්ගේ දෝෂ අපල විපත් සමනය වීම සඳහා මැටි කළයකට පැන් පෙරා ගෙන පුදසුනක තබා 108 වර මතුරා නාවන්න. රෝග විපත් දුරුවී යයි.

‘‘ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං...‘‘

පළමු වරට ඉඳුල් කැවීමේදී තල තෙලට මතුරා බින්දු 3ක් ආහාරයට මිශ්‍ර කර කවනු. දොස් දුරුවේ. රෝග පීඩා සමනය වේ.

විෂ සතුන් කෑවිට, බල්ලන් පූසන් සපා කෑ විටදී සර්පවිෂාදී හෝ නිල්‍යාදී තෙලට 108 මතුරා ගන්න. පැන් මතුරා ගෙට ඉසින්න.

යානීධ භූතානි සමාගතානි - භුම්මානිවා යානිවා අන්තලික්‍ඛෙ 

තථාගතං දේව මනුස්ස පූජිතං...

බුද්ධං නමස්සාමි සුවත්ථි හෝතු...

පෙර සේම -

‘‘යානීධ භූතානි...

ධම්මං නමස්සාමි සුවත්ථි හෝතු...

යානීධ භූතානි...

සංඝ නමස්සාමි සුවත්ථි හෝතු....“

සියලුම ආරක්ෂා සඳහා අබ, වැලි, තෙල්, වටිනා දේ, බෙහෙත් ඔසු, බෙහෙත් තෙල්, ආරක්ෂා යන්ත්‍ර මෙයින් මතුරා බලගන්වා සුරැකිව තබා ගන්න. අවශ්‍ය විටකදී නැවත 21 වර මතුරා දෙන්න.

මී මැස්මොරය, වලිප්පුව ආදී ලෙඩට හිමිදිරියේ තැඹිලි වතුර 108 වර මතුරා දින 07ක් බොන්න දෙන්න. සියලු ආරක්ෂාව සඳහා නිතර සිහි කරන්න. අනන්තවූ බුදු ගුණ බලයෙන් සැමට යහපතක් ම වේවා. දෙලොව දියුණුව - සැප ලැබේවා.

ආචාර්ය වල්පොළ සද්ධානන්ද හිමි

Comments