ගෑස් | සිළුමිණ

ගෑස්

දේ දහය වනවිට ලතා ඉහුම් පිහිම් කටයුතු කරල ඉවරයි. මුළුතැන්ගේ අස්පස් කරල ඇය දැන් සාලයට එනව. රූපවාහිනියෙ පෙන්වන සූප ශාස්ත්‍ර වැඩසටහනක් නරඹන්නයි දැන් ඇගේ සූදානම. රූපවාහිනිය ඉදිරිපිට පුටුවෙ තැම්පත්වෙලා ඇය එය ක්‍රියාත්මක කළා විතරයි. කැබිනෙට්ටුව උඩ තියෙන ජංගම දුරකතනය චිංචිං ගාන්න පටන් ගත්ත. අතට අරගන බැලින්නම් කතා කරන්නෙ තිහගොඩ මහ ගෙදර නෑනා.

“ගුඩ් මෝනිං නංගි... ඊයෙත් කතා කරපු නිසා මම කෝල් කරන්න හිතුවෙ නෑ..”

“අක්ක වැඩකද හිටියෙ.. තාම දවල්ට උයනවද?”

“නෑ නංගි මං මේ උයල ඉවරවෙලා සාලෙට ආව විතරයි”

“දැං නං මම කතා කෙරුවෙ අලුත් පණිවිඩයක් දෙන්නයි”

“ඔව් නංගි.. කියන්නකො බලන්න..”

“අපි අනිද්ද.. සෙනසුරාදා ඔහෙ ඇවිත් යන්න බලාපොරොත්තු වෙනව..”

“අපූරුයිනෙ නංගි.. දැං ඔයාල හය මාසෙකිං විතර ආවෙ නෑනෙ.. අම්ම තාත්තත් එනවනෙ?”

“නැතුව.. අපිට වැඩිය දුව බලන්න ආසාවෙ ඉන්නෙ ඒ දෙන්නනේ”

“හරිම සන්තෝසයි නංගි..”

ලතාගෙ එකම සොහොයුරා වන විමලසිරි ජීවත් වන්නේ තිහගොඩ පාරම්පරික මහා ගෙදරය. වෑන් රිය හිමිකරුවකු වන විමලසිරි පාසැල් ළමුන් සඳහා ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යයි.

“ඉස්කෝල නිවාඩු දුන්නම රේල්වෙ වොරන්ට්ටෙක ලියාගෙන ගමේ ගිහිං එමු කියල ධර්මෙයි මමයි ඊයෙ පෙරේදත් කතා වුණා.. දුවයි පුතයි දෙන්නම ට්‍රේන් එකේ යන්න හරි ආසයි.”

“හැබැයි අක්කෙ සුමානයක්වත් ඉඳල යන්න බලාගන එන්නෝනැ”යි පියුමලී නෑනා කියනව.

“හරි හරි.. සුම­ානෙට දෙකක් ඉඳල යන්න බැරියැ”යි කියන ගමන් ලතා උස් හඬින් හිනාවෙනව. ඒ හිනාව යට යන තරම් හිනාවකිනුයි පියුමලී දෙබස අවසන් කරන්නෙ.

අම්ම තාත්ත ඇතුළුව මහ ගෙදර හය දෙනා එන එක සතුටට හේතුවක් වෙතත් දැන් ලතාගෙ ඔළුව මහ වගකීමකින් බරවෙලා. මහ ගෙදර හය දෙනා එන හැම අවස්ථාවකම ලතා සූදානම් කරන බොජුන් මේසය පුංචි මඟුල් ගෙදරක කෑම මේසයකට පරදින්නෙ නැහැ. අම්ම තාත්ත වැඩියෙන්ම කැමති මාළු පිණි ව්‍යංජන, මල්ලිගෙ දරුවන් දෙදෙන වඩාත් ප්‍රිය කරන කෑම වර්ග වාගේම මල්ලිත් පියුමලී නෑනත් ආස කරන මාළු පිණි හැකි තරමක් කෑම මේසයට තැබීමෙන් පමණයි ලතා සතුටට සෑහීමට පත් වෙන්නෙ.

රූපවාහිනියෙ වැඩසටහන නරඹන ගමන් දැන් ලතා සෙනසුරාදා දහවල් කෑම මේසයට තැබිය යුතු ආහාර වර්ග ගැනයි කල්පනා කරන්නෙ. මල්ලිගෙ දස හැවිරිදි පුතත් හත් හැවිරිදි දුවත් කන්න කැමැති රස කැවිල්ලකුත් හදන්නම ඕනැ. ගිය වතාවෙ තල ගුළි හදාපු නිසා මෙවර කිරි ටොෆි හදන්නයි ලතාගෙ කල්පනවා.

පිළියෙල කරන්න බලාපොරොත්තු වන එළවළු මාළු පිණිවලට ඕනැ කරන සියල්ල සටහන් කර ගන්න ඕනැ. ලතා නැඟිට කාමරයට ගියා. සටහන් පොතකුත් පෑනත් අරගන ආව. පොත පුටුවත මත තියාගෙන හිත හිතා වෙළඳ පොළෙන් ගෙන ආ යුතු ද්‍රව්‍ය සටහන් කරන්න පටන් ගත්තා. මහ ගෙදරට නොගෙනාවට තාත්ත එළුමස් කරියට ඉතා ප්‍රිය කරන බව ලතා දන්නව. ලැයිස්තුවෙ මුලටම ලිව්වෙ එළුමස්. බැදපු මාළු කන්න එහේ දරුවො වාගෙම මෙහේ දරුවොත් ආසයි. ඒකට තෝර නොතිබුණොත් තලපත් කුට්ටියක් හොඳයි. මාළු අතරින් අම්ම වඩාත්ම කැමති ඉස්සන්ට. ලතා ඉස්සොත් සටහන් කර ගත්ත. කට්ලට්ස් හදන්න සැමන්ටින් එකක්. සීනි සම්බලයකුත් හදන්න ඕනැ. ගෙයි තියෙන උම්බලකඩ මදි වේවි. අච්චාරු දමන්න විනාකාරි බෝතලයක්. අමුමිරිස්. කිරි ටොෆි හදන්න කිරි ටිං එකයි වැනිල කුප්පියයි. එළවළු වශයෙන් ලතා ලියා ගත්තෙ, බෝංචි, තක්කාලි, වම්බටු සමඟ වට්ටක්කා විතරයි. අයියගෙ ළමයි වට්ටක්ක වලට හරි කැමතියි. මාළුවකට කජුත් ගේනන ඕනැ. ගෙයි පොල් ගෙඩි දෙකක් තියෙනව. තව දෙකක් ගෙනාවම ඇති. අම්මල එනවිට නොවරදවාම පොල් ගෙඩි විස්සක් විසිපහක් ගේන බව ලතා දන්නව. ඊට අමතරව කොස් ගෙඩියක්, දෙල් ගෙඩි හතරක් පහක්, කිරිහට්ටි දෙකක් සමඟ පැණි මුලකුත් වරදින්නෙ නැහැ. පොලොස් පැහි මාළුවක් උයාගෙන එන්නත් අම්ම අමතක කරන්නෙ නැහැ. මෙහේ ළමයි කැමති නිසා වැලිතලප නම් වරදින්නෙම නැහැ. අතුරුපසට ගන්න ලොකු අයිස්ක්‍රීම් ඇසුරුමකුත් ලියා ගත්ත.

ලතා මේ කෑම සූදානම් කරන්නෙ සෙනසුරාද දහවල් කෑමට පමණක් නොවෙයි. හතරහමාරට පහට මෙහෙන් පිටත්ව යන විට ගෙදර ගොස් රෑ කෑමට ඇතිවෙන්න පිසූ ආහාර යැවීමත් ඇගේ සිරිත වෙලා තියෙනව. ගෙදර ගොහින් රෑ කෑම පිසගන්න පුළුවන් බව අම්මත් පියුමලීත් කොපමණ කීවත් ලතා ඒවට ඇහුම්කන් දෙන්නෙ නැහැ.

වෙ‍ෙළඳපළෙන් ගෙන ආ යුතු බඩු ලැයිස්තුව ලියා ගත් වහාම ලතා ධර්මෙට ඇමතුමක් ගන්නව.

“ගෙදර හය දෙනාම සෙනසුරාදා එනව කියල දැං ඩිංගකට ඉස්සර පියුමලී නංගි කෝල් කරල කිවුව ධර්මෙ”

“බොහොම සන්තෝසයි.. කාලෙකිං ගෙදරිං ආවෙ නෑනෙ”

“උයන පිහන දේවල් රාසියක් ගන්න තියෙනව. පුතයි දුවයි ඉස්කෝලෙ ඇරිල ආහම මං මාකට් යනව ධර්මෙ”

ත්‍රී විලරයක් අරගන යන්නැයි සැමිය උපදෙස් දුන්න.

“මම පයිං ගිහිං බඩුටික ත්‍රීවීලරේක දාගෙන එනව”

අද හැන්දෑවෙම අච්චාරුව දමන්නත්, කාල වේලා තිබුණහොත් සීනි සම්බලය සාදා තියන්නත් ලතා තීරණය කළා. සිතාරි දුවගෙ වයස දැන් දාහතරයි. රේණුකට වයස දොළහයි. ඔය කටයුතුවලට දෙන්නම අත්උදවු දෙන බව ලතා දන්නව.

දොළහමාර වනවිට ලතා බඩුමුට්ටු අරගන ආව. ළමයි පාසල ඇරිල ගෙදර එනවිට ලතා සීනි සම්බලයට ලූනූ සුද්දකරලත් ඉවරයි. මහ ගෙදර අය සෙනසුරාද එන බව අම්ම කී විට විරංගයි චාමලියි අත්පොඩි ගසමින් උඩ පැන්න.

“එහෙනං අපිට ඇති වෙන්න වැලිතලප කන්න පුළුවං” යැයි කියමින් චාමලී හිස නටවනව.

ධර්මෙ වැඩ ඇරී එන විට ලතා අච්චාරුව දාල ඉවරයි. චාමලී සීනි සම්බලයට ලුනූ ලියනව. රෑ නින්දට යන්න පෙර සීනි සම්බලයත් හදල ඉවර කරන්නයි ලතා හිතාගෙන ඉන්නෙ.

“මටත් පොඩි බඩුවක් ගෙනාගන්න තියෙනව.. ඒක ඉතිං ඔයාට පවරන්න බැරි නිසා මම කිවුවෙ නෑ..”

ඇඳුම් මාරු කරන්නවත් සුනංගු නොවී මුළුතැන්ගෙට ආ ධර්මෙ ලතාගෙ පිටට හීන් තට්ටුවක් දැම්මෙ චාමලී දුවගෙ මුහුණ බලා ඇහැක් ඉඟිමරමිනුයි.

“මොනවද.. බීමත් ගේන්නද කල්පනාව?” ලතා මුහුණ පුළුටුකරගෙන අහනව.

“තාත්තට පොඩි බ්‍රැන්ඩි අඩියක් නොදී හොඳ නෑනෙ..”

එය වෙනදාත් කරන දෙයක් නිසා තද විරෝධයක් පළ කරන්න ලතා වෑයම් කළේ නැහැ.

“තාත්ත විතරක් නෙමෙයි... මල්ලිත් බොයි.. ඕව කටේ ගාගෙන යද්දි පොලිසියට අහු වුණොත් හෙම මොකද වෙන්නෙ?”

“එහේ අල්ලපු ගෙදර ඩික්සන් මල්ලිවත් එක්ක එන්න කියමු.. එයා බොන්නෙ නෑනෙ.. යනකොට ඩික්සන් මල්ලි වාහනේ එළවං යාවි..”

“අනේ ඇත්තට ඔයාට හැදිල තියෙන පිස්සුවක්.. තාත්තට සංග්‍රහ කරනවට වැඩිය ඔයාටයි දැං බ්‍රැන්ඩි බොන්න ඕනැ වෙල තියෙන්නෙ”

“මොනවද ළමයො මෙහෙම වෙලාවක නේන්නං පොඩි කික් එකක් තියෙන්නෝනැ.. ඩික්සන් මල්ලි එක්කල එන්න කියල මල්ලිට කියන්නද?”

“ඒක ඔයාගෙ කැමැත්තක්”

“බෑනා තාත්තට සංග්‍රහ කරනවට මට වඩා ඔයා සතුටු වෙන්නෙපායැ”යි කියාගෙන ධර්මෙ ඉවත ගියා මස්සිනාට ඇමතුමක් ගන්න. කාරණාව පැහැදිලි කරලා පුළුවන් නම් ඩික්සන්වත් දාගෙන එන්න කිවුව. විමලසිරි යෝජනාවට එක පයින් කැමැති වුණා.

වරුවක් නිවාඩු දාල එන බව කියල සිකුරාද උදේ ධර්මෙ රාජකාරියට ගියා. ලතා උදෑසනින්ම කිරිටොෆි එක හැදුව. දැන් බර වැඩකට ඉතිරිවෙලා තියෙන්නෙ කට්ලට්ස් ටික හදන එක විතරයි. රෑට පේස්ට්‍රි එක හදල තියල පාන්දරින්ම කට්ලට් ටික බැදගන්න පුළුවනි. කජු මාළුවත් රෑ උයල තියනව. තෝර පෙති බැදුමත් උදේ කරගන්න පුළුවනි. එතකොට කර ගන්න තියෙන්නෙ එළුමස් කරිය උයන එකත් එළවළු තුන පිසල සලාදෙ හදන එක විතරයි. සලාදෙ හදන්න නම් චාමලී අපූරුවට දන්නව.

කොහොමටත් මහගෙදර අය උදේට තේ බීල හතෙන් මෙහා පිටත් වෙන්නෙ නැහැ. අධිවේගෙ ආවත් නවයෙන් මෙහා ළඟා වෙන්නෙ නැති බව ලතා දන්නව.

ධර්මෙ පස්වරු දෙක වන විට බ්‍රැන්ඩි බෝතලයකුත් අරගන ගෙදර ආව. ළමයි දෙන්නත් ඒ එක්කම වගේ පාසැල ඇරී ආව. ගෙදර ආ වෙලේ ඉඳල ධර්මෙ ලතාට අත් උදවු දුන්න. ඊට පසුව ගේ අස්පස් කරල, මකුළුදැල් ආදිය කඩල ගේ අතුගෑව. පාන්දර හතරට නැගිටින්න ඕනැ බව කියමින් ලතා ඇඳට යන විට රෑ එකොළහට ළංව තිබුණා.

වෑ‍යාංජන හතර උයල හයහමාරට විතර ලතා කට්ලට්ස් බදින්න පටන් ගත්ත. ඒ අතර වාරයෙ ජංගම දුරකතනය නාද කරන බව සාලය පැත්තෙන් ඇහෙනව. ධර්මෙ දුවගෙන ගිහින් ඇමතුම බාර ගත්ත. කතා කරන්නෙ තිහගොඩ මස්සිනා විමලසිරි. විමලසිරි හෙළි කරපු සිදුවීම අහල ධර්මෙ ත්‍රස්ත වුණා. ඇඟ ගැහෙන්න වුණා. හීන් දාඩිය දැම්ම. දෙයියනේ මේක ලතාට කොහොම කියන්නද. කට්ලට් බැදෙන තෙල් තාච්චිය මත කඩා වැටෙන්න බැරි නැහැ. එයා කට්ලට් බැදල ඉවර වුණාට පස්සෙ ඇත්ත කියනව. එතෙක් බොරුවක් ගොතාගෙන ධර්මෙ මුළුතැන්ගෙට ගියා.

“කවුද කෝල් කෙරුවෙ...?”

“විමලසිරි මල්ලිනෙ. හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ. වාහනේ ස්ටාට් වෙන්නෙ නැහැල්ලු. තාම එහේ.. මිකැනික් බාස් කෙනෙක් අල්ලගෙන අටහමාරෙං ඉස්සර වාහනේ හදා ගත්තොත් එනවලු. නැත්තං ගමන එන සැටඩේට කල්දානව කිවුවෙ..”

ධර්මෙ ලතාට නො පෙනෙන විදියට මූණ පැත්තකට හරවගෙන කිවුව.

“හරි වැඩක්නෙ.. වාහනේ හොඳට වැඩ කරනවද කියල එයා ඊයෙ හවස බලන්නෙපායැ.. ස්ටාට් කරන්න බැරිනං වාහනයක් කුලියට අර‍ෙගනහරි එන්න එයා දැනගන්නෙපායැ.. චී.. චී.. බොහොම නරකයි.. දවස් දෙකක් තිස්සෙ මං නැහිච්චි හැටි දන්නෙ මං විතරයි”

ලතා ගෑස් ළිප නිවල දෑත් තුනටියට බරකරගන මුහුණ පුළුටු කරගෙන ආඩපළි කියනව. දැන් ඇත්ත එළි කරන්න පමා වෙන්න ඕනැ නැහැ.

“එක පාරට ඔයා තිගැස්සෙන නිසා මම කිවුවෙ බොරුවක්. ඔයා කලබල වෙන්නවත් බය වෙන්නවත් එපා.. ලොකු අනතුරක් වෙලා නෑ.. මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ?”

“මොකද අනේ ඔයා මේ තටමන්නෙ.. මොකද වෙලා තියෙන්නෙ?”

“මෙහෙ ගේන්න උයාපු පොලොස් පැහි මාළුව රත් කරන්න අම්ම ගෑස් ළිප පත්තු කරත්දි ඒක පුපුරල”

ලතා චටාස් ගාල නළලට අත ගහ ගත්ත.

“දෙයි හාමුදුරුවනේ.. අම්මට කොහොමද.. පිච්චිලාද?”

“නෑ නෑ.. මොකක්ද පොඩි කෑල්ලක් ඇහිබැමට ඉහළිං වැදිල පොඩ්ඩක් තුවාල වෙලා.. මැහුං තුනක් දාල බේත් දාගෙන ඇවිත්.. වෙන අමාරුවක් නෑ..”

අම්මට කතා කරන්න කලබල වෙලා ලතා ජංගම දුරකතනය ගන්න සාලෙ පැත්තට දුවනව.

“ඔය ලෑස්ති කරගන තියෙන කෑම බීමත් ඔක්කොම ටික පටවගෙන අපි දැං වහාම යන්නෝනැ ලතා.. තිලකගෙ කාරෙක හයර් කරගන යමු. කාරෙක අරගන එන්න කියල මම තිලකේට කෝල් එකක් දෙනව..”

තිලකෙට පණිවිඩය දෙන අදහසින් ධර්මෙ ජංගම දුරකතනය අතට ගනිද්දී ලතා අම්මා සමඟ කතාබස් කරන හඬ ධර්මෙට ඇසිණ.

 ජයකොඩි සෙනෙවිරත්න

Comments