අපේ ජීවිත කතාවේ පිටපත දැනටමත් සකස් වෙලා ඉවරයි | සිළුමිණ

අපේ ජීවිත කතාවේ පිටපත දැනටමත් සකස් වෙලා ඉවරයි

ලොව ආගමික දර්ශනවාදීන්ගේ බිහිවීම පිළිබඳව ඔබේ අවධානය යොමු වුණේ කොහොම ද?

මට ඕෂෝ හෙවත් ශ්‍රී රජ්නිෂ්තුමා ගැන දැන ගන්නට ලැබුණේ අහම්බෙන්. ඒ මීට වසර 10 කට පමණ පෙර එඛහාට් ටොලේ ගේ ‘නිව් අර්ත්’ නැමැති ග්‍රන්ථය කරන විටයි. එතුමා ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මුනිවරුන් ගැන එහි සඳහන් කර තිබුණා.

එය විස්තර කළේ මෙහෙමයි. මනුෂ්‍ය වර්ගයාගේ විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ, කලාව, විද්‍යාව, තාක්ෂණය හා නව නිර්මාණයන් නිසා තමන්ට සිදු වී ඇති වැරදීම නොහොත් උමතු බව හඳුනා ගැනීමයි. 

පුද්ගලයින් ඉතාම ටික දෙනෙක් පමණයි මේ බව හඳුනා ගත්තේ. මෙය පැහැදිලිව හා නිරපේක්ෂ වශයෙන් දුටුවේ ඉන්දියාවේ විසූ සිද්ධාර්ථ ගෞතම නම් මනුෂ්‍යයා බවටයි විශ්වාසය පවතින්නේ. පසුව ඔහුව බුද්ධ යන නාමයෙන් පුදනු ලැබුවා.

‘බුද්ධ යනු අවදියට පත් තැනැත්තායි’. ඒ කාලයේම වාගේ වේලපහින් අවදිවූ තවත් ආධ්‍යාත්මික මුනිවරයෙක් චීනයෙන් බිහි වුණා. ඔහු තමයි ලාඕට්සු. ඔහු තම ඉගැන්වීම් වාර්ථා ගත කර තිබූ අතර මෙතෙක් ලියවී ඇති වඩාත් ම ගැඹුරු ආධ්‍යාත්මික ග්‍රන්ථය වන්නේ එයයි. එහි නම ‘තාඕ ටෙ චිං’.

නිව් අර්ත් කෘතිය හෙට උදාවන නව ලෝකය නමින් ප්‍රකාශයට පත් වූ පසුවත් ලාඕට්සු යනු කවරෙක්දැයි දැන ගැනීමේ කුතුහලය නොඅඩුවම තිබුණා. තුලනාත්මක ආගම් පිළිබඳ විශේෂඥයෙකුගෙන් මා ඒ ගැන විමසූ විට ඔහු තම තාඕ ග්‍රන්ථය මට ණයට දීමට තරම් කාරුණික වුණා. එසේම ඔහු පැවසුවේ එය තමා වඩාත්ම ප්‍රිය කරන ඕෂෝ මුනිවරයාගේ සංවාදයක් අඩංගු විරල ග්‍රන්ථයක් බවයි.

ඕෂෝ දහම හදාරන්න ඔබට විශේෂ හේතුවක් තිබුණ ද?

මෙම තාඕ දහම සිංහල කියවන පාඨකයින් හට ආගන්තුක වන නමුත් වැදගත් බව මගේ හැඟිීමයි. ඕෂෝ යනු ශ්‍රී රජ්නිෂ් මෑත කාලයේ ඉන්දියාවේ සිටි විරල ගනයේ මුනිවරයෙක්.

ඕෂන් නැතහොත් සාගරමය ස්වභාවයක් යන අරුත ගෙන දීමට ඔහු යොදා ගත් නම තමයි ඕෂෝ. ලාඕට්සුතුමන්ගේ සත්‍යතාවන් ඕෂෝ වඩාත් පැහැදිලි ලෙස විස්තර කරන ආකාරය මන බඳන සුලුයි. ඒවා තම ගෝලයින්ගේ සිතට වඩාත් කා වදින සේ හාස්‍යජනක උපමාන කථා ද සමඟින් ඉදිරිපත් කරන්නේ ගාම්භීර වූ දහම් කරුණු හමුවේ සිත අයාලේ යාමෙන් සහ නින්දට යාමෙන් වළක්වනු පිණිස බවයි ඕෂෝ පවසන්නේ.

මම පරිවර්තනය කළ එම ‘තාඕ’ ග්‍රන්ථය ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය නමින් ප්‍රකාශයට පත්වුණා.

ඕෂෝ ගේ මුළු පරිශ්‍රමයම වන්නේ වැරදි ආකල්ප නිසා දුකින් පෙලෙන මිනිසාව ප්‍රබෝධමත් මිනිසෙකු බවට පත් කිරීම යි. ඒ වගේම එක් එක් පුද්ගලයාට තමාව එවැනි සුඛිත මුදිත මිනිසෙකු බවට ආකල්ප වෙනස් කර ගැනීමෙන් පරිවර්තනය කර ගත හැකි බව ඕෂෝ පවසනවා. එසේම ඕෂෝ තුමා විසින් ලොව බොහෝ මුනිවරුන්ගේ දේශනාවන් අනුසාරයෙන් අගනා සංවාද පවත්වා ඇති අතර සෙන් දහම ඒ අතරින් ප්‍රමුඛයි.

තාඕ වගේම සෙන් දහම ද අවධාරණය කරන්නේ කිසිවක් නොකර නිකන් සිටීම ගැනයි. සෙන් කියන්නේ අසම්මත දහමක්. එය වටහා ගන්නා තෙක් සෙන් දහමේ පරස්පරයක් දැනෙන්න පුළුවන්. එයින් අදහස් කරන්නේ එදිනෙදා කටයුතුවල නොයෙදී සිටීමක් නෙවෙයි.

ඔබ කිසිම සිතුවිල්ලකට වැදගත් කමක් නොදී වාඩි වී සරලවම බලාගෙන සිටින විට පරිවර්තනය සිදු වනු ඇතැයි සෙන් මුනිවරු පවසනවා.

තාඕ මෙන්ම සෙන් දහමද දෙවි කෙනෙකු ගැන හෝ නොපෙනෙන බලවේග අවධාරණය කරන්නෙ නෑ. එහි වැදගත්ම ස්ථානය ගන්නේ නොබෙදෙන බව හා නොතෝරන බවයි. මිනිසා සැමවිටම සෑම දෙයක්ම දෙකට බෙදන බව ඕෂෝ පවසනවා. ඒ උස් පහත් ,හොඳ නරක, ලස්සන කැත, පාපය සදාචාරය ආදි වශයෙන්. ඒ නිසා ගැටුම් හට ගන්නවා. සමස්තය සමඟ ඒකීය වීම ගැනත් ඔහු පවසනවා.

මිනිසා වෙන් වශයෙන් ජීවත් වන තනි පුද්ගලයෙකු නොවන අතර සමස්තයේ කැමැත්තයි එක් එක් පුද්ගලයාට ඉටු වන්නේ. ස්වභාව ධර්මයට, ධර්මතාවයට අනුකූලව ජීවත් වීමයි සුදුසු වන්නේ. අපගේ ජීවිතය අපි කොපමණ වෙනස් කිරීමට තැත් කළත් අපේ ජීවිත කථාව පිටපතක් වශයෙන් දැනටමත් සකස් වෙලා ඉවරයි. එය වෙනස් කිරීම කළ නොහැකියි. සමහර විටෙක ඒ අනුව ඔබේ පරිශ්‍රමය ඉටු වන අතර තවත් විටෙක එසේ නොවන්නේ ඒ නිසයි. ඒ නිසා සියල්ල ධර්මතාවට භාර දී ඔබ පසෙකට වී සතුටින් ප්‍රමෝදයෙන් පසු වන්න යැයි ඔහු පවසනවා. එතකොට ස්වභාව දහම අප පිළිබඳව සියල්ල වග බලා ගන්නවා ඇති.

මිනිසා වෙන වෙනම ජීවත්වීම නිශ්ඵලයි කියා ඕෂෝ පවසා තිබෙනවා ද? 

ඔව්. සමස්තයේ කොටසක් වන ඔබ වෙනම ජීවත් වීමට තැත් කිරීම නිශ්ඵලයි. යහපත උදා කරන්න නම් ඔබ ඔබට මෙන්ම අනුන්ට ද ආදරයෙන් සිටිය යුතුයි. එවිට ඔබ කිසිවකු සමඟ තරග කරන්නේ වත් තෝරන්නේ වත් නැහැ. තමන්ට ඕනෑ දේ ලබා ගන්නට අපේක්ෂා කළ විට ජීවිතය යනු ගසා කෑමක්. ඔබට ලැබෙන දේ තෝරා ගත් විට ජීවිතය වැඩ කරයි. සැබැවින්ම ඔබට ලැබෙන්නේ ඔබ තෝරා ගත් එයයි. එය තෝරා ගන්න. ඔබට ලැබී ඇති කුමක් වුවත් එයට කැමති වන්න. එහි ප්‍රමෝදය භුක්ති විඳින්න. සතුටින් උදම් වන්න. එවිට ජීවිතය යස රඟට ක්‍රියාත්මක වෙයි. ජීවිතයේ රහස් යාන්ත්‍රණය ඔබ දන්නේ නම් ඔබ වටහා ගන්නේ ඔබට ලැබී ඇති කුමක් වුවත් ඔබ අතීතයේ කොතැනකදී හෝ එය තෝරා ගත් බවයි. ඔබ දැනට සිටින ආකාරයට කැමති නැත්නම් එය වඩා යහපත් කර ගැනීමට පොර බදන්නට සිදු වෙනවා. ඔබ දැන් සිටින්නේ ඔබට සුදුසුම ආකාරයට බව වටහා ගන්න. එවිට ඔබ කැමති අයුරින් සැම දේම සිදු වේවි. මේවා තමයි ධර්මතාවය ගැන ඕෂෝ ගේ අදහස්. ඔහු කියන්නේ ජීවිතය ක්‍රීඩාවක් බවයි. ක්‍රීඩාවක් වීමට නම් යම් දෙයක් වෙන යම් දෙයකට වඩා වැදගත් වෙන්න ඕනෙ. නොපවතින ආකාරයට වඩා පවතින ආකාරය වැදගත් වන්නේ නම් ක්‍රීඩාව අහවරයි. ජීවිතය යනු පවතින විධියට වඩා නොපවතින විධිය වැදගත් වන ක්‍රීඩාවක්. ජීවිතය ක්‍රීඩාවකට වඩා සෙල්ලමක් ලෙස සලකන්න. හින්දූන් එයට කීවේ ලීලා කියා යි. එය ක්‍රීඩාවක් වත් නොවෙයි. ක්‍රීඩාව යනු සෙල්ලම බරපතළල ලෙස ගැනීමයි. හුදු සෙල්ලම ම ප්‍රියජනකයි, ලස්සනයි. ජීවිතය සෙල්ලමක් වූ විට එය නතර වෙයි. ඔබ මේරූ පරිණත අයෙකු බවට පත්ව සිටී. එවිට ආපසු ඒමක් ඇත්තේ නැහැ. ක්‍රීඩාවට දෙදෙනෙකු අවශ්‍යයි. ඒ දිනන්නට හා පරදින්නට. ඔබ ඔබව පිළිගන්නේ නම් ක්‍රීඩාව අනවශ්‍යයි. එවිට ක්‍රීඩා කරන්නේ කුමකට ද? අවදියට පත් වූ අය, ආපසු නොඑයි. ඒ ක්‍රීඩාව අවසන්ව තිබෙන නිසයි.

ජීවිතයේ සැඟවුනු අරුත් නැත. ඒ බව දැන ගත් විට ඔබට ප්‍රඥාව පහළ වෙයි. එය සෙල්ලමක් බව සොයා දැන ගන්නේ ප්‍රාඥයායි. ඇත්තෙන්ම සාක්ෂාත් කර ගැනීමට කිසිවක් නොමැති බව දැන ගත් විට ඔබට සත්‍යය අවබෝධ වෙයි. යන්නට වෙන තැනක් නොමැති බව දැන ගත් විට ඔබ නියම තැනට සම්ප්‍රාප්තව සිටී.

Comments