අතීතය අනාගතයට කැන්දූ පුරාවිද්‍යාවේ පර්යාය නාමය සෙනරත් පරණවිතාන | සිළුමිණ

අතීතය අනාගතයට කැන්දූ පුරාවිද්‍යාවේ පර්යාය නාමය සෙනරත් පරණවිතාන

පුරාවිද්‍යාව කියූ සැණින් ඊට පර්යාය ව මතක් වෙන නාමයක් තිබේ. ගමක, පන්සලක, සභාවක, විශ්වවිද්‍යාලයක ඈ මෙකී ඕනෑ ම තැනක පුරාවිද්‍යාව යන වදන හෝ ඊට සම්බන්ධ ඕනෑ ම කතාබහකදී නිතැතින් ම සිහිවන නාමය සෙනරත් පරණවිතාන ය. පුද්ගලයකුට ඒ තරම් වටිනා සම්මානයක් නැත. හන්දියක් ගානේ සිය නාමය ප්‍රචලිත කරනු වස් නාම පුවරු ගසන රටක එවන් භාග්‍යයක් ලැබීම පහසු නැත. එතරම් අනුස්මරණීය බවක් රැඳි මේ මහා ප්‍රාඥයා ට ලාංකේය ඉතිහාසයේ හමු නොවුණු අස්සක් මුල්ලක් නැත.

ශාස්ත්‍රඥයෝ බොහෝ සිටිති. ඔවුහු අධ්‍යයන පරාස ඉක්මවා යෑමේ සමත්කමින් අල්ප වූවෝ වෙති. පවතින රටාව අනුදත් හා ඊට එරෙහි නොවන ඔවුහු නව්‍ය මතවාද වෙනුවෙන් සිය පෑන හෝ හඬ මෙහෙයවන්නෝ නොවෙති. එහෙත් පරණවිතානයෝ මේ ස්වරූපයෙන් සපුරා බැහැර වූහ. පවතින මතිමතාන්දර ප්‍රශ්න කිරීමට හා නිවැරදි කිරීමට එතුමෝ බෙහෙවින් උත්සුක වූහ. 19 වැනි සියවසේ මුල සිට අභයගිරිය හා ඡේතවනය බොහෝ ජනයා පටලවා ගෙන සිටියහ. ශිලා ලේඛන හා වෙනත් සාධක අනුව පෙර උත්තර චේතිය නමින් හැඳින්වුණු අභයගිරිය නියම ලෙස හඳුනා ගන්නා ලද්දේ මහැදුරු පරණවිතාන විසිනි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද සමහර මතවාද පුරාවිද්‍යාත්මක සාධක අනුව නිවැරදි යැයි ඔප්පු කළ හැකි වුව ද ඒවා සමහර ආගමික මතවලට පටහැනි වීම නිසා මතභේදාත්මක ව ගැටුණේ ය.

ශ්‍රී ලාංකිකයන්ට ඇත්තේ සියවස් 23කටත් අධික වයෝවෘද්ධ හා ඥාණවෘද්ධ ඉතිහාසයකි. එය අසම සම භෞතික හා ආධ්‍යාත්මික සංස්කෘතියකින් හෙබියේ වෙයි. ඒ අපූර්ව හා පෞඩ ඉතිහාසය කියවා ගැනීමේ ලා සිය දිවියෙන් කැපවූ ලාංකේය පරපුරේ ප්‍රථමයා සෙනරත් පරණවිතාන ය. බෙල් යුගයෙන් පසුව විවිධ බ්‍රිතාන්‍ය ජාතිකයෝ පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූහ. බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස් සම්ප්‍රදාය වෙනස් කරමින් නිල වශයෙන් 1940 ඔක්තෝබර් 1 දා ප්‍රථම ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස පත් වෙන්නේ සෙනරත් පරණවිතාන ය. විස්මයාවහ ඉතිහාසයක් රැකගන්නටත්, ඊට නිසි සාධාරණය ඉෂ්ට කරන්නටත් ලාංකේය බලධරයෙක් පත්වීම සේම එසේ පත්වූ තැනැත්තා ඊට බෙහෙවින් සුදුසු හා ගෞරවනීය පුද්ගලයකු වීමත් වැදගත් ය.

1896 දෙසැම්බර් මස 26 දා දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයට අයත් මැටරඹ ගමෙහි උපත ලද සෙනරත් පරණවිතානගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වූ අතර මව ලෝරා හෙට්ටිගේ ගිමාරා ය. හෙට්ටිගොඩ මෙතෝදිස්ත විද්‍යාලයේ වසර 2ක් සිංහල ඉගෙන ගත් පරණවිතාන 1930 දී උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රීසි පාසලට ඇතුළත් වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරීම සඳහා ය. ඊට පෙර හීනටිගල රංවලගොඩ පිරිවෙනින් ද අධ්‍යාපනය ලැබුවේ ය. පාසල් දිවිය අවසන් කර 1915 දී ප්‍රාචීන ප්‍රාරම්භ පරික්‍ෂණයට පෙනී සිටිමින් ඉන් උසස් සාමාර්ථ්‍යක් ලබා ගත්තේ ය. එහිදී ඉතිහාසය හා පුරාවිද්‍යාව සඳහා ඉහළ ම ලකුණු ලබා ගැනීමට ඔහු සමත් විය. මේ සමත්වීම නිසා 1916 දී පරණවිතානට සිංහල පාසලේ ශිෂ්‍ය ගුරු පදවියක් ලැබුණු අතර අනතුරුව ඔහුට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා මාගොල්ලේ සුධර්මා මහා විද්‍යාලයට පත් වීමක් ලැබෙයි. මේ අතරතුරදී 1923 දී ශිලා ලිපි විමර්ශන සහකාර තනතුරෙහි ඇති වූ පුරප්පාඩුව සඳහා පැවැත්වූ ලිඛිත පරීක්‍ෂණයෙන් සමත් වූ පරණවිතාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලිපි විමර්ශන ධූරයට පත් වූයේ ය. 1923- 1926 කාලයේදී පුරාවිද්‍යාව ඉගෙනීමට විදේශගත වන පරණවිතානට බටහිර ඉන්දීය පුරා වස්තු නැරඹීමේ අවස්ථාව හා සුප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් යටතේ කටයුතු කිරීමේ හැකියාව ලැබුණි. එහිදී ඔහු මොහෙන්ජොදාරෝ-හරප්පා සංස්කෘතිය හා තදාස්ශ්‍රිත ඉන්දු-ගංගා නිමිනයේ පුරාවිද්‍යා කැණීම්වලට ද සහභාගී විය. ඉන්දියාවේ ශිලා ලේඛන විද්‍යාව, ප්‍රතිමා විද්‍යාව, නානක විද්‍යාව, කෞතුකාගාර විද්‍යාව, කැණීම් සහ තහවුරු කිරීම්, පුරාවිද්‍යා කටයුතු පරිපාලනය ආදිය පිළිබඳ ව හේ එහිදී පුහුණුව ලැබීය.

පරණවිතාන 1930 මාර්තු 03 දින පානදුර වලානේ කිතුල්ගොඩ වලව්වේ රොස්ලින් කිතුල්ගොඩ සමඟ විවාහ වෙයි. 1923 සිට 1935 දක්වා කාලය ඇතුළත පුරාවිද්‍යා කොමසාරිස් ධූරයේ තාවකාලික ව වැඩ බාර ගත් පරණවිතාන එහි ස්ථිරත්වයට පත් ව පුරාවිද්‍යා කොමසාරිස් ධූරයේ වැඩ බාර ගන්නා ලද්දේ 1940 ඔක්තෝබර් 01 දා ය. ඔහු ඒ තනතුරට පත් පළමු ලාංකියා ය. බ්‍රිතාන්‍යයේ ගෞරවනාම ද්විත්වයක් ද ලද හේ 1955 දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ රන් පදක්කමට ද හිමිකම් කියූවෙකි. 1957 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ධූරයට පත් කළ මෙතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබුවෙකි. සිය දැඩි පරිශ්‍රමය හා කැපවීම නිසා සංග්‍රහ කරගත් දැනුමෙන් හේ ආඪ්‍ය වී ය. 1960දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍ය ශූරී " සම්මාන උපාධිය ඔහු වෙත පිරිනැමුණු අතර 1962 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ද "සාහිත්‍ය චක්‍රවර්තී" සම්මාන උපාධිය පිරිනැමුවේ ය.

කුමාරතුංග මුනිදාසයන්ගේ සකසුවක් සේ 1940 සැප්තැම්බර් 9 දා නිකුත් වුණු සුබස දෙවන වෙළුමේ 8 කලබේ ඔහු පිළිබඳ සඳහන් වූ මේ වැකිය පරණවිතාන චරිතය මිටක් සේ දෝතට ගෙන කළ පරිසමාප්ත විමැසුමකි.

‘ඇතැමෙක් තනතුරු නිසා බැබළෙති. එහෙත් පරණවිතාන මහතා පිළිබඳ ව එය නොයෙදේ. පරණවිතානයන් නිසා තනතුර බැබළේ‘

ඔහු ස්වකීය විෂයය ක්ෂේත්‍රයේ පාරප්‍රාප්ත වූවෙකි. ඔහු පාලි, සංස්කෘත, ප්‍රාකෘත හා ප්‍රාචීන භාෂාවල නිපුණයකු සේ ම ඉතිහාසය, පුරාණය, පර්යේෂණ විධික්‍රම, ඡන්දස් අලංකරණ ආදියෙහි ද ඊට අනුෂාංගික විෂයය කිහිපයක ද ඥාන ගවේෂකයෙක් විය. භාෂා හැදෑරීමේ ලා මහාචාර්යවරයාට තිබූ දක්ෂතාව විස්මයජනක ය. ලෝක ඉතිහාසය පිළිබඳ ව ද තිබූ දැනුම ද පුළුල් වූවකි. පුරාවිද්‍යාව මුල්කරගනිමින් ඔහු විසින් රචිත ලිපි සිය ගණනකි. ඒ අතරෙන් වැඩි ලිපි සංඛ්‍යාවක් ඔහු ලියා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. එබැවින් සමහර ලිපි කියවා ගත යුත්තේ පරිවර්තන ශක්‍යතාව ද විමැසුමට ලක්කිරීමෙන් අනතුරු ව ය. පරිවර්තකයාගේ ලේඛන ව්‍යවහාරය පරිවර්තනයේදී එකතු වීම සාමාන්‍ය කරුණකි. ඔහුට පුදුම සහගත ස්මරණ ශක්තියක් තිබූ බව ප්‍රකට කරුණකි. ඒ ස්මරණ ශක්තියට එක් වූ ප්‍රතිභාව විසින් එක් කරන ලද ආලෝකය විසින් පරණවිතාන චරිතයට සර්වකාලීන වටිනාකමක් එක් කර තිබේ. ඒ ස්මරණ ශක්තිය නිසා ම බිහි වූ මේ අනල්ප ලිපි සංඛ්‍යාව සියවසකට නොව සියවස් ගණනකට වැඩ සම්පාදනය කෙරූවෙකි.

මහාචාර්ය සේනක බණ්ඩාරනායක පරණවිතාන චරිතය හා ක්‍රියා පිළිවෙත ගැන කළ අපූරු විග්‍රහයක් තුන්කල් දුටු පරණවිතාන මැයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කළ සිරිසමන් විජේතුංග ලේඛකයා සිය කෘතියට ඇතුළත් කර තිබේ.

‘පරණවිතානයන් ගැන සිතන්නකුට යෝධයන් හා කුරුමිට්ටන් ගැන ඉතාලි ජාතික න්‍යායවාදියකු වූ උම්බෙටෝ එකෝගේ කියමනක් මගේ මතකයට නැඟේ. නූතන යුගයේ වෙසෙන කුරුමිට්ටන්ට අතීතයේ විසූ යෝධයන්ට වඩා ඈත පෙනේ. මක්නිසා ද යත් ඔවුන් යෝධයන්ගේ කරපිට නැඟී සිටින හෙයිනි. පරණවිතාන එවන් ජාතික යෝධයෙකි. ඇතැම් විට පරණවිතානට වඩා ඈත එපිට දැක ගත හැකිය. ඊට හේතුව ඔහු විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යයන කාර්යය ඔස්සේ එසේ කිරීමට හැකි වීමයි‘

කලාව හා සිතුවම්කරණය ගැන සේම කලාව හා ප්‍රතිමා විද්‍යාව ගැන පරණවිතානගේ මැදිහත් වීම විවාදයට තුඩු දුන්නත් ඒවා අනාගත පර්යේෂණ කාර්යය සඳහා බෙහෙවින් රුකුලක් වූ බව විද්වතුන්ගේ මතයයි. චිත්‍ර කලාව සම්බන්ධයෙන් ඒවාට දුන් අර්ථකථන, ප්‍රභවය හා කාල නිර්ණය ආදිය ගැන ඔහු කළ මාහැඟි මැදිහත් වීම අර්ථසම්පන්න ය. සීගිරි චිත්‍ර හා පරණවිතාන ඇසුර පිය පුතු ඇසුරක් තරම් සමීපස්ථ වූවකි. සීගිරි චිත්‍ර අර්ථකතනය සම්බන්ධයෙන් මෙන් ම ලෝකයේ වෙන කවර රටක වුවත් ඒ කාලයේ සිතුවම් සමඟ සසඳා බලන විට පොළොන්නරුවේ සිතුවම්වලට ලැබෙන්නේ නොදැවැනි තැනක් බැව් පරණවිතාන මතයයි. තිවංක පිළිම ගේ පිළිබඳ විවරණය ඊට එක් නිදසුනක් පමණී. දිඹුලාගල මාර වීදිය, පුල්ලිගොඩ හිඳගල චිත්‍ර ආදිය ගැනත් හේ සිය අවධානය යොමු කළේ ය. සිය කැණීම්හි ප්‍රතිඵලයක් ලෙස ඔහු 1951 දී මහියංගණ හා මිහින්තලේ ධාතු ගර්භ චිත්‍ර සොයා ගනු ලැබීය. ඒවා ඉතිහාසයේ සටහන් වූයේ නව සොයා ගැනීම් ලෙස ය. පැරණි චිත්‍ර ඊට කිසිදු හානියක් නොකර ප්‍රතිසංස්කරණය කිරීමේ ලා ඔහුගේ මැදිහත් වීම ද අගය කටයුතු ය. සීගිරි චිත්‍රවලට රසායනික පිළියම් යොදන්නට ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන විද්‍යාඥයකු වූ ඛාන් බහදුර් සාෆඋල්ලා ගෙන්වන්නට තරම් හේ ඒ සිතුවම් ගැන ප්‍රායෝගික ව කැප වූයේ ය. චිත්‍ර ප්‍රතිසංස්කරණ කටයුතුවලට අමතර ව මූර්ති හා කැටයම් ගැන ප්‍රථමවරට විධිමත් පර්යේෂණ කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ද ඔහුට ය. ලාංකේය මූර්ති හා කැටයම් හි චාම් බව ගැන ඔහුගේ වෙසෙස් අවධානය යොමු විණි. සඳකඩ පහන, ඉසුරුමුණි පෙම් යුවළ, මිනිසා සහ අශ්වයා කැටයම, පොළොන්නරුවේ පොත්ගුල් වෙහෙර අසල පිළිරුව ගැන මෙන් මුරගල් හා වාහල්කඩ,බුදු පිළිම ආදී බොහෝ දෑ ගැන ඔහුගේ අවධානය යොමු වී තිබේ. ඉන් සමහර දෑ ගැන වන ඔහුගේ මතවාදය බොහෝ මතභේදයට ද තුඩු දුන්නේ ය.

කෙටි ඉඩකඩකට ලඝු කළ නොහැකි විසල් සේවාවක් ගැන සංක්ෂිප්ත ව හෝ ලිවීම පහසු කරුණක් නොවේ. මේ සියලු මතවාද, වෙනස් හැදෑරීම් හා සොයාගැනීම් පිළිබඳ පුනර් විමර්ශනයක අවැසිතාව අප ඉදිරියේ තිබේ. නව මත ගොඩනැඟීම නව දැනුම් සම්පාදනයේ ලා දොරටු විවර වීමකි.

කියවා ගත නොහැකි අකුරක් දුටු විට තවමත් මුවඟ නැඟෙන වචනයක් වනුයේ පරණවිතානවත් ගෙන්නන්න වෙයි මේ අකුරු කියවන්න කියා ය. ඒතරම් සිය විෂයය වෙනුවෙන් මුවෙන් මුව සම්මාන ලද්දෙක් අප මතකයට නො ඒ. එතරම් සිය විෂයය හා තමන් නිරත ක්ෂේත්‍රය පිළිබඳ කැප වූ අයෙක් සිටී දැ යි සැක සිතෙන තරමට ඔහු සිය මෙහෙයට අවංක වූයේ ය. ඇදහිල්ලට එහා ගිය පර්යේෂණමය ඇසකින් සෙනරත් පරණවිතාන පුරාවිදු පර්යේෂකයා දෙස බැලිය යුතු බව ලියා තබමි.

Comments