රන්ජන්ට ඔන්ලයින් ක්‍රමයට උසස් අධ්‍යාපනයට පහසුකම් | සිළුමිණ

රන්ජන්ට ඔන්ලයින් ක්‍රමයට උසස් අධ්‍යාපනයට පහසුකම්

බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය උසස් අධ්‍යාපන කටයුතු  බන්ධනාගාරයේ සිටම කරගෙන යාම සඳහා අවසර හිමිවී තිබේ.
 
මේ සඳහා අවසර ලබා දෙන ලෙස   රන්ජන් රාමනායක රැඳවුවා විසින්  ඉල්ලීමක් කර තිබූ අතර අධිකරණ ඇමැතිවරයා ගේද උපදෙස් පරිදි ඒ සඳහා අවසර ලිපිය ලබා දුන් බව  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දිනමිණට පැවැසීය.
 
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සිට ලැප්ටොප් පරිඝණකයක් භාවිතයෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාල බාහිර උපාධි පාඨමාලා දේශන සඳහා සහභාගි වීමට රන්ජන් රාමනායකට අවසර හිමිවන අතර එම ඔන්ලයින් දේශන පැවැත්වෙන අවස්ථාවට  ඔහු සහභාගි වීම බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරියකු ඉදිරියේදී සිදු කෙරෙන බවද උපුල්දෙණිය මහතා කීය.
 
එමෙන්ම ඔහු හදාරන විෂය සම්බන්ධ පත පොත,අතිරේක සටහන් ආදියද බාහිර පාර්ශවයන්ගෙන් ගෙන්වා ගැනීමට ද මේ යටතේ අවසර හිමිවෙයි.
 
මේ සියල්ල බන්ධනාගාර නිළධාරිගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව බන්ධනාගාර කොමසාරින් ජනරාල්වරයා පැවැසීය.
 
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ,තරුණ හා ප්‍රජාසංවර්ධන ශාස්ත්‍රෙව්දී  බාහිර උපාධී පාඨමාලාවකට අයදුම් කර ඇති  රන්ජන් රාමනායක ඒ සඳහා අවශ්‍ය මූලික සහකික පත්‍ර පාඨමාලාව  සමත්වී සිටී. 
 
සිර දඬුවම් නියමවීම නිසා  ,ඉන් පසුව හැදැරීමට නියමිත උපාධී පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ‍ඔහුට නොහැකි වූ අතර කොවිඩ් වසංගත තත්ත්වය මත මෙම කටයුතු අදාල පාඨමාලා  පවත්වාගෙන යාම ද විශ්ව විද්‍යාලය තාවකාලිකව අත්හිටුවා තිබිණි.පසුගිය දෙසැම්බර් පළමු වැනිදා විවෘත විශ්ව විද්‍යාලයේ මෙම පාඨමාලා සඳහා රන්ජන් රාමනායක සිය ලියාපදිංචිය අලුත් කරන ලද අතර මේ වන විට එහි දේශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
 
අඟුණකොළපැලැස්ස බන්දනාගාරයේ රඳවා සිටි රන්ජන් රාමානායක දණහිසේ ඇතිවූ ආබාධයකට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා දිමට මේ වන විට වැලිකඩ බන්දනාගාර රෝහලට මාරු කර එවා තිබේ.
 
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඔන්ලයින් ක්‍රමවේදය සඳහා පහසුකම් නොමැති බවත් ,ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් මෙම පාඨමාලා සඳහා නිකුත් කරන පොත පත අඟුණකොලපැලැස්ස බන්දනාගාරය වෙත ගොස් රන්ජන් රාමනායකට ලබා දීමේ දුෂ්කරතා පවතින බැවින් ඔහුට  උසස් අධ්‍යාපන පහසුකම් වැලිකඩ බන්ධනාගාරයේදීම  ලබාදෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබිණි.
 
මරණ දණ්ඩනය නියම වූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවකු වන ඉන්දික බමුනුසිංහට ජයවර්ධන පුර විශ්ව  විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ,කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධියත් ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යාපන කටයතු කරගෙන යාමට මෙයට පෙර  බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි.
    
(බුද්ධිකා ඉඹුලාන )
 
 
 

Comments