Manthri.lk පව­සන මැති ඇමැති ප්‍රග­තිය | Page 2 | සිළුමිණ

Manthri.lk පව­සන මැති ඇමැති ප්‍රග­තිය

 

න්ත්‍රීවරයෙක් මන්ත්‍රිවරියක් පාර්ලිමේන්තුවට පත් වන්නේ සිය ඡන්ද දායකයින්ට සේවය කරන්නටය. ඔවුහු අප වෙනුවෙන් නීති සම්පාදනය කරති. රටේ දැවෙන ප්‍රශ්න වාදවිවාද කරති. තීන්දුවලට අභියෝග කරති. අපේ ඒ මහජන නියෝජිතවරුන් අප වෙනුවෙන් කුමක් කරන්නේද යන්න දැන ගැනීමට සැමට පාර්ලිමේන්තු මැති සබයට පිවිසීමට නොහැක. Manthri.lk වෙබ් අඩවිය ඇත්තේ ඒ තොරතුරු අපට දැන ගැනීමටය. පාර්ලිමේන්තුවේ කුමක් සිදු වන්නේ ද යන්න දැන ගැනීමට පමණක් නොව ශ්‍රී ලාංකික පුරවැසියන්ට වැදගත් වන මාතෘකාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කවර ආකාර වූයේ දැයි අපට මේ හරහා පෙන්වා දෙන අතර ඔවුන්ගේ කටයුතු පිළිබඳ විශ්ලේෂණයක්ද මෙම වෙබ් අඩවිය සිදු කරයි.

 

සෑම මසකම මෙම වෙබ් අඩවිය හරහා මැති ඇමැතීන් පිළිබඳ විශ්ලේෂණ සිදුකරති. ඒ නිල හැන්සාඩ් වාර්තා ඇසුරෙනි. මේ වන විට 2022 පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන අතර Manthri.lk සිය නවතම විශ්ලේෂණය එළි දක්වා ඇත්තේ 2021 සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු සැසිවාර 4 ක් පවත්වා ඇති අතර එහිදි වඩාත් ක්‍රියාකාරි මන්ත්‍රිවරුන් 5 දෙනා වී ඇත්තේ මේ පිරිසය. ඒ අනුව සැප්තැම්බර් මාසයේ වඩාත් ක්‍රියාකාරි මට්ටමින් පළමු ස්ථානයට ඇමැති මහින්දානන්ද අලුත් ගමගේද දෙවැනි ස්ථානයට සජබ මන්ත්‍රි බුද්ධික පතිරණද, තෙවැනි ස්ථානයට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායකද, පස්වැනි ස්ථානයට ඇමැති චන්න ජයසුමනද පස්වැනි ස්ථානයට ඇමැති රෝහිත අබේගුණවර්ධනද නම් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ප්‍රගති වාර්තාද ඇතුළත් මේ Manthri.lk මීට පෙර මාසවලදිද මෙවැනිම විශ්ලේෂණයන් කර ඇත. 2021 අගෝස්තු මාසයේ වඩාත් ක්‍රියාකාරි මන්ත්‍රින් අතරින් මුල් තැනට පත්වී ඇත්තේ අනුර කුමාර දිසානයක( ජ.වි.පෙ නායක)ය. දෙවැනි තැනට ප්‍රේමනාත් සි දොළවත්තද, තෙවැනිව අජිත් නිවාඩ් කබ්රාල්, සිවුවැනිව සජබ මන්ත්‍රි මුජිබර් රහුමාන් හා පස්වැනි තැනට ඇමැති නිමල් සිරිපාලද සිල්වා පත්වී ඇත.

ජූලි මාසයේදි වඩාත් ක්‍රියාකාරි මන්ත්‍රිවරුන් ලෙස Manthri.lk නම්කර ඇත්තේ පිළිවෙළින් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් , ඇමැති සරත් වීරසේකර, මන්ත්‍රී බුද්ධික පතිරණ(සජබ), ඇමැති අලි සබ්රි හා මන්ත්‍රි ප්‍රේමනාත් සි දොළවත්තය. මේ සියලු විශ්ලේෂණයන් සිදුකර ඇත්තේ නිල හැන්සාඩ් වාර්තා පදනම් කර ගනිමිණි.

මෙම නිල වාර්තා අනුව 2020 අගොස්තු සිට 2021 අගොස්තු දක්වා පාර්ලිමේන්තුවේ වැඩ පෙන්වූ මැති ඇමැතිවරුන් පිළිවෙළින් විශ්ලේෂණය කර ඇත්තේ මෙසේය. බුද්ධික පතිරණ, අනුර කුමාර දිසානායක, හර්ෂද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, සජිත් ප්‍රේමදාස, අජිත් නිවාඩ් කබ්රාල්, බන්දුල ගුණවර්ධන, නලින් බණ්ඩාර, චමින්ද විජේසිරි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මැති ඇමැතින්ය. මේ ආකාරයෙන්ම ඒ කාලය තුළ පාර්ලිමේන්තුවේ වැඩ පෙන්වූ අලුත් පෞද්ගලික මන්ත්‍රිවරුන් නම් කර ඇත්තේ මෙසේය. පළමු ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා පිළිවෙළින් ඒ මෙසේය. වීරසුමන වීරසිංහ, ෂානක්කියන් රාසමානික්කම්, සෙල්වරාජා නරේන්ද්‍රන්, රෝහණ බණ්ඩාර, ප්‍රේමනාත් සි දොළවත්ත, සමන්ප්‍රිය හේරත්, මධුර විතානගේ, එස්.එම්.එම් මුෂාරෆ්, ජගත් කුමාර හා හරිනි අමරසූරිය යන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ය.

තමන් පත්කළ මහජන නියෝජිතයන්ගේ සාධනීය තොරතුරු මෙන්ම අඩුපාඩුද මේ Manthri.lk විස්තර කරයි. පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රිවරු මෙන්ම එකදු දිනයක් හෝ නොපැමිණි අයද මේ විශ්ලේෂණයට අයත්ය. ඒ අනුව 2021 අගෝස්තු මාසයේ එකදු සැසියකටවත් සහභාගි නොවූ මන්ත්‍රිවරු වන්නේ ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, ගීතා කුමාරසිංහ, තලතා අතුකෝරාල, ජනක බණ්ඩාර හා තිස්ස කුට්ටිආරච්චිය.

පාර්ලිමේන්තු නිල හැන්සාඩ් වාර්තා පදනම් කරමින් මෙම වෙබ් අඩවිය විසින් 2020 අගෝස්තු සිට 2021 ජූලි දක්වා පාර්ලිමේන්තු දායකත්වය අඩු මන්ත්‍රිවරු නම් කර ඇත. ඒ පිළිවෙළින් ටිරාන් අලස්, අලි සබ්රි රහිම්, මර්ජාන් ෆලීල්, නිපුණ රණවක, ආර් සම්පන්දන්, කුලසිංහම් තිලිපන්, සාරති දුෂ්මන්ත, උදයකාන්ත ගුණතිලක, එම් එස් තවුෆික් හා අබ්දුල් රහිම් යන මන්ත්‍රීවරුය.

එම කාලය තුළ පැවැති පාර්ලිමේන්තු සැසි වාර 86 දී එක් දිනක් හෝ අතපසු නොකර පාර්ලිමේන්තුවට ගිය මැති ඇමැතිවරු පිරිසක්ද වෙති. ඒ චමින්ද වි‍ජේසිරි, ගයන්ත කරුණාතිලක, ගයාෂාන් නවනන්ද, හේෂා විතානගේ, ජගත් කුමාර, ලක්ෂ්මන් කිරිඇල්ල, සුදත් මංජුල, සාගර කාරියවසම්, මධුර විතානගේ, උපුල් රාජපක්ෂ හා යදාමිණී ගුණවර්ධනය.

එම සැසිවාර 86 දි අඩු පාර්ලිමේන්තු පැමිණීමක් පෙන්නුම් කර ඇති මැති ඇමැතිවරුද ඇත. ඒ ආර් සම්පන්දන්, විජයදාස රාජපක්ෂ, පලනි දිගම්බරම්, ධර්මලිංගම් සිද්ධාර්ථන්,විමල් වීරවංශ, ටිරාන් අලස්, එස් නෝගරාදලිංගම්, දිලුම් අමුණුගම, ජීවන් තොණ්ඩමන්,සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, මහින්ද සමරසිංහ හා අබ්දුල් හලිම්ය.

මෙම Manthri.lk වෙබ් අඩවිය නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ පක්ෂග්‍රාහී නොවූ බුද්ධිමණ්ඩලයක් වන වෙරිටේ රිසර්ච් සමීක‍ෂණ ආයතනය විසිනි. ආර්ථීක, දේශපාලන, නෛතික සහ මාධ්‍ය යන ක‍‍ෙෂ්ත්‍රයන් පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයේ යෙදෙන වෙරිටේ රිසර්ච් ආයතනය, Manthri.lk ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ අන්තර්ජාල සහ ජංගම දුරකථන යෙදවුම් ප්‍රවර්ධනයේ නියැළී සිටින ජාතිකාන්තර ආයතනයක් වන සබේරියන් හා හවුලේ ක්‍රියා කරමිනි.

Comments