ලංකාවේ 1,381කට මරු කැන්දූ ඒඩ්ස් | Page 2 | සිළුමිණ

ලංකාවේ 1,381කට මරු කැන්දූ ඒඩ්ස්

 

ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 01 වැනිදා ය. මෙම දිනයේ අරමුණ වන්නේ එච්.අයි.වී. ආසාදිතයන්ට සහායවීම, ඒඩ්ස් රෝගය පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම, ඒඩ්ස් රෝගීන්ව සමාජයෙන් කොන් කිරීම සහ වෙන්කොට තිබීම පිටුදැකීමයි. මේ වනවිට ලොව පුරා මිලියන 79.3 ක ජනගහනයක් එච්.අයි.වී. ආසාදිතයෝ වී සිටිති. එයින් මිලියන 36.3 ක් මරණයට පත් වී තිබෙන්නේ ඒඩ්ස් තත්ත්වයට පත්වීම නිසා ය. ලංකාවේ තත්ත්වය ගැන සලකා බැලීමේදී 1987 සිට 2021 වසරේ 2 වැනි කාර්තුව අවසන් වනවිට මෙරටින් එච්.අයි.වී. ආසාදිතයන් 4142 ක් හඳුනාගෙන තිබේ. එයින් 2912 දෙනෙක් පිරිමි වෙති. 1230 ක් ගැහැනු වෙති. මෙය අනුපාතයක් වශයෙන් දක්වන්නේ නම් 5:1 කි. ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන් වශයෙන් බහුලවම වාර්තා වන්නේ වයස අවු: 25 - අවු: 44 අතර පසුවන්නන් ය. වයස අවු: 18 - අවු: 24 අතරින් ද එච්.අයි.වී. ආසාදිතයන් හමු වූවත් මේ වනවිට එහි පහත වැටීමක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ වාර්තා පෙන්වා දෙයි. 2015 දී වාර්තා වූ එච්.අයි.වී. ආසාදිතයන් අතරින් 14% ක් වයස අවු: 15 - අවු:24 අතර පුද්ගලයන් වුවත් 2018 වනවිට 10% දක්වා අඩු වී තිබීමෙන් එය තහවුරු වේ. මේ වනවිට ලංකාවේ ජීවත් වන එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව 2612 කි.

“එච්.අයි.වී. ආසාදිතයන් වැඩිපුරම වාර්තාවෙන්නේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින්. ඒ වගේ ම තමයි එච්.අයි.වී. ආසාදිතයන් බහුලවම හඳුනා ගන්නේ පිරිමි සමරිසි පුද්ගලයන් අතර. පසුගිය අවු: 5 ඇතුළත වයස අවු: 19 - අවු: 24 අතර පිරිමින් අතරින් වැඩිපුර හඳුනා ගත්තා. මේ තත්ත්වය ටිකක් භයානකයි. මොකද මේ පිරිස තමයි රටක ශ්‍රම බළකාය වෙන්නේ. ඒ නිසා තරුණ පරම්පරාව ඇතුළු සමාජය දැනුම්වත් කිරීම අපේ වගකීමක් වෙනවා.

මෙය ප්‍රධාන වශයෙන් බෝවෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලින්. විශේෂයෙන් තරුණ පරම්පරාව දැනුම්වත් කරන්න ඕනෑ විශ්වාසවන්ත නැති අය එක්ක, ෆේස්බුක් වගේ මාධ්‍ය මඟින් සම්බන්ධතා ඇති කර නොගැනීමට. ඒ අය එක්ක අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඇති වුණොත් අපි දන්නේ නැහැ මේ ආසාදිතයන් කොහෙද ඉන්නේ කියලා.

ලංකාව එච්.අයි.වී. තත්ත්වය අඩු රටක් හැටියටයි සැලකෙන්නේ. ඒ කියන්නේ 0.01% ක් විතර. දැන් එච්.අයි.වී. වයිරසය ශරීරගත වුණාට ඒඩ්ස් දක්වා නොගිහින් සාමාන්‍ය තත්ත්වයෙන් ජීවන රටාව පවත්වා ගෙන යන්න පුළුවන්. තුන් දහස් ගණනකින් එක් දහස් ගණනක් අපේ සායනවලින් ප්‍රතිකාර ලබාගෙන සාමාන්‍ය විදිහට සිටිනවා. ඒ අයට කිසිම ලෙඩක් තිබෙනවා කියලා පෙන්වන්නේ නැහැ. ඒත් එච්.අයි.වී. වයිරසය ශරීරයේ තිබෙනවා. සමහර අය අවු. 20 ක් 30 ක් නොකඩවා ප්‍රතිකාර ගන්නවා. ඒ නිසා එච්.අයි.වී. ආසාදිතයකුට නොකඩවා ප්‍රතිකාර ගැනීමෙන් ඒඩ්ස් තත්ත්වයට නොගිහින් පාලනය කරගෙන ජීවත්වෙන්න පුළුවන්.” යනුවෙන් පැවසුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ය.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝගය පිළිබඳ අප කතා කළ ද ඊට අමතරව ලිංගාශ්‍රිත රෝග ගණනාවක් තිබේ. ඒඩ්ස් රෝගයේ ඇති භයානක තත්ත්වය වන්නේ නිට්ටාවට සුව කළ නොහැකි වීමෙන් මරණය කරා ළඟdවීමයි. ඒඩ්ස් රෝගය වැල‍ෙඳන්නේ එච්.අයි.වී. වයිරසය මඟිනි. වයිරසයක් මර්දනය කිරීමට ඖෂධ නොමැති වුවත් ප්‍රතිවයිරස් ඖෂධ ලබාදීමෙන් එච්.අයි.වී. පාලනය කර ගත හැකි ය. HIV යන්නෙහි අරුත වන්නේ Human Immunodeficiency viruses හෙවත් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වයිරසයයි. මෙම වයිරසය ශරීරගත වී වසර කීපයක් ගත වන තුරු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරයි. එහෙත් අවු: 3 - අවු: 5 ක් පමණ ගත වූ විට ප්‍රතිශක්තීකරණය දුර්වල වීමෙන් සුව නොවන කැස්ස, නිතර නිතර පාචනය ඇති වීම, සෙම්ප්‍රතිශ්‍යාව, නිව්මෝනියාව, අධික තෙහෙට්ටුව, ශරීරය කෘශවීම වැනි රෝග ලක්ෂණ මතුවේ. අනාරක්ෂිත ලිංගික හැසිරීමක් සිදු වුවහොත් හැකි ඉක්මනින් ලිංගාශ්‍රිත රෝග මර්දන සායනයකට පැමිණ පරීක්ෂා කර ගැනීම වැදගත් වන්නේ මූලික අවස්ථාවේදීම එය පාලනය කර ගත හැකි බැවිනි.

එච්.අයි.වී. වයිරසයෙන් වැලඳෙන ඒඩ්ස් රෝගය වැනි ලිංගාශ්‍රිත රෝග ගණනාවක් තිබේ. හර්පීස්, උපදංශ, ගොනෝරියාව, සුදු බිංදුව, ලිංගික ඉන්නන් ඉන් රෝග කීපයකි.

හර්පීස් සහ ලිංගික ඉන්නන් ඇතිවන්නේ වයිරස් මඟිනි. උපදංශ, ගොනෝරියාව, සුදු බිංදුව වැලඳෙන්නේ බැක්ටීරියා මඟිනි. බැක්ටීරියා මඟින් ඇතිවන ලිංගාශ්‍රිත රෝග ප්‍රතිජීවක ඖෂධ මඟින් නිට්ටාවට සුව කළ හැකි ය. වයිරස් මඟින් ඇතිවන ලිංගාශ්‍රිත රෝග ප්‍රතිවයිරස් ඖෂධ මඟින් පාලනය කළ හැකි ය.

මෙම ලිංගාශ්‍රිත රෝගවල පොදු ලක්ෂණ වශයෙන් මුත්‍රා මාර්ගයේ දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් සැරව ගැලීම, තුවාල සහ ඉන්නන් ඇතිවීම, වෘෂණ කෝෂ ඉදිමීම, ගැටිති ඇතිවීම දැක්විය හැකි ය. සායනවලට පැමිණ නිසි ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් ය. නැතහොත් මොළයට හෘදයට බලපෑම් ඇති විය හැකි අතර අංශබාගය, කන් ඇසීම දුර්වලවීම, ඩිමෙන්ෂියා, අස්ථි වේදනා වැනි සංකූලතා ඇති වේ. එමෙන් ම වඳභාවයට පත්වීමේ අවදානමක් ද පවතී. මෙම සංකූලතා මතුවීමට දීර්ඝ කාලයක් ගත වන අතර මුළු ශරීරයටම බලපෑ හැකි බව සඳහන් කළ යුතු ය.

හර්පීස් රෝගයට ගොදුරු වූ විට තුවාල ඇති වේ. එය ඉතා වේදනාකාරී ය. හර්පීස් වයිරසය ආසාදනය වූ අයකුට රෝගය ඇති බව පෙන්වන්නේ නැත. ශරීරයට ප්‍රබල බලපෑමක් ඇති නොවේ. මොළයේ උණ හට ගැනීමට පුළුවන. ඖෂධ මඟින් පාලනය කරගත හැකි ය.

බැක්ටීරියා මඟින් වැල‍ෙඳන උපදංශ රෝගයේදී තුවාල ඇතිවන නමුත් ඒවා වේදනා රහිත වේ. මෙය නිදන්ගත රෝගයක් වශයෙන් හැඳින්විය හැකි ය. 1 වැනි අවදියේදී ඉබේම හොඳ වේ. 2 වැනි අවදියේදී හිසකෙස් වැටීම, ඇස් පෙනීමට බලපෑම් ඇතිවීම, කුද්දටි ඇතිවීම වැනි රෝග ලක්ෂණ පහළ වේ. නිට්ටාවට සුව කළ හැකිය.

“ශ්‍රී ලංකාවේ වැඩිපුර තියෙන්නේ හර්පිස් සහ ලිංගික ඉන්නන් කියන ලිංගාශ්‍රිත රෝග. සිපිලිස් කියන එක ලිංගික ආශ්‍රිත රෝගවලින් 8% ක් පමණත් ගොනෝරියාව 3% ක් පමණත් ලිංගික ඉන්නන් තත්ත්වය 25% ක් පමණත් හඳුනාගෙන සිටිනවා. ගොනොරියාව නොවන ලිංගික ප්‍රදාහ සහිත රෝගීන් 27% ක් පමණ සිටිනවා. අද සිපිලිස් සහ ගෝනොරියාව වාර්තා වෙන්නේ ඉතා අඩු මට්ටමකින්. ඒ වගේ ම තමයි ලංකාවේ වාර්තා වන එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සමලිංගික ඇසුර නිසා එච්.අයි.වී. ආසාදනය වීම ඉහළ ගොස් තිබෙනවා. එය එච්.අයි.වී. මුළු රෝගීන්ගෙන් 46% ක් විතර.” යනුවෙන් පැවසුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චිය.

ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වන අවදානම් කාණ්ඩ කීපයක් හඳුනාගෙන තිබේ. ලිංගික ශ්‍රමිකයන්, සමලිංගික ඇසුරු පවත්වන පිරිමින්, මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයන්, වෙරළාශ්‍රිත ශ්‍රමිකයන්, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සහ බන්ධනාගාරගත වී සිටින අය එකී කාණ්ඩ වේ.

ඈ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික සහාය ඇතිව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ සමලිංගික අසුරු පවත්වන පිරිමි 40,000 ක්, කාන්තා ලිංගික ශ්‍රමිකයන් 30,000 ක් සහ වෙරළේ ගැවසෙන ළමයි 4500 ක් සිටිති. එමෙන් ම පසුගිය වසර 5 තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හඳුනාගෙන ඇත.

“ලිංගාශ්‍රිත රෝග බෝවෙන්නේ රුධිරය මඟින් හෝ යෝනි මාර්ගයේ ශ්‍රාවය මඟින් හෝ ශුක්‍රාණු මඟින්. මවුකිරි මඟිනුත් දරුවන්ට වැලඳීමේ අවදානම තිබෙනවා. ඒත් දැන් අපේ රටේ මවගෙන් දරුවාට එච්.අයි.වී‍්. බෝවීම තුරන් කරලා තිබෙනවා. මේ හැර දහදිය, කෙළ, මුත්‍රා මඟින් බෝවෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අයගේ එන්නත් කටු හරහා රුධිරයට එකතු වීමෙන් බෝවෙනවා.

ඇත්තටම ලිංගික සම්බන්ධතා විශ්වාසවන්ත ආරක්ෂිත එක් අයකුට සීමා කරනවා නම් ලිංගාශ්‍රිත රෝගවලින් වැළකෙන්න පුළුවන්. එහෙම බැරි නම් ලිංගික සම්බන්ධතාවකදී කොණ්ඩම් පාවිච්චි කිරීමෙන් ලිංගාශ්‍රිත රෝගවලින් වැළකෙන්න පුළුවන්. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවකින් පසුව අපේ සායනයකට ඇවිත් නොමිලේ සිදු කෙරෙන පරීක්ෂණයකින් රෝගය වැලඳිලා ද නැතිද කියලා තහවුරු කර ගන්නවා නම් හුඟක් හොඳයි. ඒත් අපේ රටේ තිබෙන සංස්කෘතික හා සමාජීය පරිසරය අනුව ලිංගාශ්‍රිත රෝගයක් වැලඳුණාම වපර ඇහින් බලන්න පුරුදු වෙලා තියෙනවා. සමාජයෙන් කොන් කරනවා. ඒ නිසා ම පරීක්ෂණ සඳහා සහභාගි නොවී සමාජයේ සැඟවුණු කොටසකුත් සිටිනවා. ඔවුන් තනියම විඳවනවා. සමහර වෙලාවට ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වූ කාන්තාවන් ගණිකා වෘත්තියට, සම්බාහන මධ්‍යස්ථානවල රැකියාවට ගිහින් මුළු ජීවිතයම කඩාකප්පල් කර ගන්නවා.

දිවයින පුරා පිහිටි රෝහල් 33 ක පැවැත්වෙන ලිංගාශ්‍රිත රෝග සායනවලට යොමුවී ජීවිතය සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යෑමට ඔවුන් උත්සාහ නොකිරීම කනගාටුවට කරුණක්.” යනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි සඳහන් කළාය.

ඇය තවදුරටත් සඳහන් කළේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ ඇස්තමේන්තුගත සංඛ්‍යාව 3700 ක් බව ය. මේ වනවිට ලංකාවේ මියගිය ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 1381 කි.

2020 වර්ෂය තුළ පමණක් වාර්තා වූ ලිංගාශ්‍රිත රෝගීන්

එච්.අයි.වී. 363

හර්පීස් 2280

ලිංගික ඉන්නන් 1904

උපදංශ 641

ගොනෝරියාව 272

සමාජය කොපමණ දැනුම්වත් කළ ද සමාජ ආකල්ප වෙනස් නොවීමෙන් ප්‍රතිකාර සඳහා යොමු නොවන ලිංගාශ්‍රිත රෝගීහු තවමත් සමාජයේ සිටිති. ඒ නිසා සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවකි.

Comments