නාරං මල්ලෙන් දඹ­දෙ­ණියේ මිත්ත­ණි­ය­කගේ ඝාත­නය හෙළි වෙයි | සිළුමිණ

නාරං මල්ලෙන් දඹ­දෙ­ණියේ මිත්ත­ණි­ය­කගේ ඝාත­නය හෙළි වෙයි

ඝාතනයට ලක් වූ මිත්තණිය
ඝාතනයට ලක් වූ මිත්තණිය

 

සොපි නෝනාට අත්වූ ඉරණම හෙට ඔබට හෝ ඔබේ හිතෛෂියකුටද විය හැකි දෙයක් බැවින් මේ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය ය. ඉකුත් නොවැම්බර් මස 4 වැනිදා දඹදෙණිය, කිතුලදෙනියේ වූ 79 හැවිරිදි හඳුන්කට්ටි පතිරණලාගේ සොපි නෝනා සිය නිවෙසේදීම ඝාතනය කර තිබුණේ මුනුපුරකු විසිනි. දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි 30 හැවිරිදි ගයාන් නමැති සොපි නෝනාගේ මුනුපුරා විසින් ඇයව ඝාතනය කර තිබුණේ රුපියල් 1500ක් ඉල්ලා නුදුන් නිසාවෙනි. එම අහස - පොළොව නුහුළන අපරාධයේ ඛේදාන්තය දිගහැරෙන්නෙ මෙලෙසිනි.

 

පිනට දහමට ලැදි සොපි නෝනා ගමේ කා අතරත් ආදරයට, ගෞරවයට පාත්‍රවූ මිත්තණියකි. ඇය විසුවේ පසුගිය කාලයේ ගත කළේ කලෙකට පෙරදී මියගිය පුත්‍රයාගේ බිරිය නැතිනම් ලේලිය වන සන්ධ්‍යා කුමුදුනි සහ ඇගේ පුතු සමඟිනි.

සන්ධ්‍යා සහ ඇගේ පුත්‍රයා මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්හි රැකියාව කළහ. දිනපතා රැකියාවට යන දෙදෙනා පෙරවරු හතට පමණ නිවෙසෙන් පිටවූ පසු නැවත නිවෙසට පැමිණෙන්නේ රාත්‍රී හත, අට වෙද්දීයි.

30 හැවිරිදි ගයාන් එක්දරු පියෙකි. මේසන් රැකියාවේ යෙදුණු ගයාන් සොපි නෝනාගේ මුනුපුරෙකි. සොපි නෝනාගේ නිවෙසට කිලෝමීටරයක් පමණ දුරින් සිටි ගයාන් සොපි නෝනාගේ නිවෙසටද ආ ගියේය. සොපි නෝනාගේ නිවෙස ඉදිරිපිට විශාල නාරං ගසකි. ගයාන් නාරං කෑමට දැඩි කැමැත්තක් දැක්වූයේය. නාරං ගෙඩි හටගන්නා දිනවලදී එම නාරං ගසෙන් නාරං කඩාගෙන කෑමට ගයාන් නිතර අත්තම්මාගේ නිවෙසට ගියේය. ඒ එන අවස්ථාවලදී අත්තම්මාගෙන් බුලත්විටක්ද ඉල්ලාගෙන කෑමට ගයාන් පුරුදු වී සිටියේ ය.

දිනපතාම පාහේ රෑ බෝවි නිවෙසට එන අත්තම්මාගේ ලේලිය සන්ධ්‍යා දිනක් වේලාසනින් නිවෙසට පැමිණියාය. ඒ මොහොතේ අත්තම්මාගේ නිවෙසේ සිටි ගයාන් යන්නට ගියේය. සන්ධ්‍යා ඔහු යන ආකාරයද දුටුවාය. ඇයට ගයාන් ගැන එතරම් හොඳ පැහැදීමක් නොතිබුණාය.

සිය නිවෙසේ සිට ගයාන් යන බව දුටු සන්ධ්‍යා, නැන්දම්මාට කිව්වේ,

“ඔය ගයාන්ව වැඩිය වැද්දගන්න එපා අම්මේ... ඕකා එච්චර හොඳ එකෙක් නෙවේ...“

“නෑ... නෑ... මං ඌව ගෙදරට ගෙන්න ගත්තෙ නෑ... ඒකා ඔය නාරං ගෙඩි ටිකක් කඩාගෙන යන්න හදිසියෙන් එනවා... ඌ නාරං කන්න පෙරේතයනේ... නිකං වැටිලා යන එකේ කවුරුහරි කෑවම මොකෝ වෙන්නෙ... ඒ ආපු වෙලාවට බුලත්විටක් එහෙමත් කන්න ගෙට ගොඩ වෙනවා... එච්චරයි...“

අත්තම්මා කාරුණික සිත් ඇත්තියකි. සන්ධ්‍යා පවසන්නට වූයේ ගයාන් පිළිබඳව ගමේ ගොඩේ ඇසෙන දේය. “හරි... හරි... අම්මේ මං කියන්නෙ ඕකා එච්චර ගේ ඇතුළට වැද්දගන්න හොඳ එකෙක් නෙවේ... නාරං ටිකක් කඩාගෙන ගියාට කමක් නෑ... එහෙම ආපු වෙලාවට ගේ ඇතුළට ගන්නෙ නැතිව එළියෙන් පුටුවක් තියලා වාඩිවෙන්න දෙන්න...“

ඇය එලෙස කීවේ වර්තමානයේ සමාජයේ සිදුවන ගැහැට පිළිබඳව අවබෝධයකින් යුතුවය.

සන්ධ්‍යා, නැන්දම්මාට එසේ පවසා ගත වූයේ දින හත අටකි.

පසුගිය නොවැම්බර් 4 වැනිදා සන්ධ්‍යා සුපුරුදු ලෙස රැකියාවට ගොස් නිවෙසට ගොඩ වෙද්දී අඳුර වැටි තිබුණාය. එහෙත් නිවෙසේ එකදු විදුලි බල්බයක් හෝ දල්වා නැත. වෙනදාට නැන්දම්මා සවන් දෙන ගුවන්විදුලියේ පිරිත් දේශනාවන්හි ශබ්දය ඇසුණේ ද නැත.

“අම්මේ... මොකද මේ තාම ලයිට් දාලවත් නැත්තෙ...“ යැයි පවසමින් සන්ධ්‍යා නැන්දම්මා විසූ කාමරයේ වසා තිබූ දොර තල්ලු කරමින් විදුලි බල්බය දල්වන්නට තැත් කළාය. එහෙත් දොර තල්ලු වූයේ වෙර වීර්යය යොදා තල්ලු කළ විටයි. ඇය දුටු දෙයින් තුෂ්ණිම්භුත වූවාය. නැන්දම්මා කාමරයේ වැටි සිටියාය. ඒ හරිහැටි දොරද ඇරීමට නොහැකි වන පරිදියි.

නැන්දම්මා ගැන සෝදිසි කර බැලූ ඇයට වැටහුණේ නැන්දම්මා මියගොස් ඇති බවයි. ඒ සමඟම විලාප දුන් සන්ධ්‍යා එසැණින් ඇමැතුවේ ගිරිඋල්ල පොලිස් ස්ථානයයි. ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරකෝන් විසින් ක්ෂණිකවම විමර්ශන කණ්ඩායමක් නිවෙස කරා යැවූවේ ය. ඒ අතරේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන්ද දැනුවත් කළේය. ගිරිඋල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තෙන්නකෝන් ඇතුළු ස්ථානීය පරීක්ෂණ නිලධාරින් වන ‘සොකො‘ නිලධාරිහු ද එම ස්ථානයට ගොස් පරීක්ෂා කළහ.

මියගොස් සිටි සොපි නෝනා අත්තම්මා පැලඳ සිටි කරාබු ජෝඩුවද දක්නට නොවීය.

ඝාතකයා රැගෙන ගිය අත්තම්මාගේ කරාබු ජෝඩුව

අනතුරුව වැඩිදුරටත් පරීක්ෂාවේදී නිලධාරින්ට දිස්වූයේ නිවෙස ඉදිරිපිට පඩිපෙළ අද්දර බුලත් වට්ටියක් මෙන්ම ඒ අසලම පුටුවක්ද තිබෙන ආකාරයයි. ඊට මඳ දුරකින් නාරං මල්ලක්ද දක්නට ලැබිණි. පුවක් සුද්දකොට බුලත් කා ඇති බවක්ද දිස්විණි.

ඒ සෑම දෙයක් ගැනම සන්ධ්‍යා දැනුවත් කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. ක්ෂණයෙන් සන්ධ්‍යාට සිහිපත් වූයේ දින හතඅටකට පෙරදී නැන්දම්මාට කී ගයාන් පැමිණියහොත් එළියෙන් පුටුවක් තියා වාඩිවන්නට දෙන්නට යැයි කී කතාවයි. “සර්... මං අම්මට පොඩි දෙයක් දින හතඅටකට පෙරදී කීවා... මේ ගයාන් කියලා අම්මගේ මුනුපුරෙක් නිතර ගෙදරට ඒමක් ගැන...“ ඒ අනුව ඇය නැන්දම්මාට කී ගයාන් නිවෙසට ඒම පිළිබඳව අකුරක් නෑර පොලිස් නිලධාරින්ට පැවැසුවාය. එසැණින් පොලිස් නිලධාරින්ට ගම්‍ය වූයේ ගයාන් නමැත්තා නිවෙසට පැමිණ ඇති බවයි. ඔහු පිළිබඳව වැඩිදුර සොයා බැලූ පොලිස් නිලධාරින්ට හෙළි වූයේ ගයාන් මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටින අයෙක් බවයි. ගයාන්ගේ නිවෙසට ගොස් සොයා බැලුවත් ඔහු නිවෙසේ නොවීය. පොලිසිය ගයාන් සොයා අවට ප්‍රදේශ පීරන්නට විය. බුද්ධි නිලධාරීන්ද යොදවා ගයාන් ආගිය තැන් ඇසුරු කළ අය පිළිබඳව සොයද්දී ගයාන්ගේ මිතුරකු පොලිසියට හඳුනා ගැනීමට හැකි විණි. ඔහුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි අයෙකි. ඔහුගේ ප්‍රශ්න කළ විටදී,

“සර්... මෙහෙම දෙයක් නම් වුණා. ගයාන් පහුගිය දවසක මට කරාබු දෙකක් නම් ගෙනත් දුන්නා. ඔහුගේ අයිඩී එක නැති නිසා මට දුන්නා උකස් තියන්න කියලා. ඒත් සර් මං ඇහුවා, ‘කොහෙන්ද බං උඹට මේක කාගෙන්හරි ගලවාගෙන උස්සන් ආපු එකක්ද කියලා. එතකොට කිව්වේ. නෑ බං මේ නැන්දම්මා අපේ වයිෆ්ට දීලා. මෙන්න මේක උකස් කරලා කීයක් හරි අරන් වරෙන්. අපි කුඩු ටිකක් ගහමු. “

අනතුරුව එම කරාබු ජෝඩුව ගයාන්ගේ මිතුරා විසින් උකස් කර රුපියල් හයදහසක මුදලක් ගෙන තිබිණි. ඉන් රුපියල් තුන්දහසක් ගයාන්ට ගෙනැවිත් දුන්නේය. අනතුරුව දෙදෙනාම එම මුදල්වලින් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේය.

“සර්... මට සැක ඒ කරාබු දෙක එහෙනම් ඔය අත්තම්මගේ වෙන්න ඇති...“

පොලිස් නිලධාරීන් උකස් කඩයෙන් කරාබු ජෝඩුව ගෙනවිත් අත්තම්මාගේ ලේලිය සන්ධ්‍යාට පෙන්විය. ඇය එම කරාබු ජෝඩුව නැන්දම්මාගේ කරාබු ජෝඩුව බව හඳුනාගත්තේය. ඉන් වැඩිදුරටත් ගම්‍ය වූයේ අත්තම්මාගේ ඝාතකයා මුනුපුරා වන ගයාන් බවයි.

ඒ වන විට ගයාන් අතුරුදන්ව සිටියේය. පොලිස් නිලධාරීන් සූක්ෂ්ම වෙමින් ගයාන්ගේ මිතුරා ලවා ඔහුට ඇමැතුම් ගත්තේය. “ගයාන්. උඹ කොහේද ඉන්නෙ. වරෙන් ගම් පැත්තෙ නියම කුඩු ටිකක් හම්බ වුණා... වරෙන් අපි ගහමු...“ ඒ වන විට ගයාන් කොළඹ ප්‍රදේශයට පලා ගොස් සිටියේය. ඒ අතරේ අත්තම්මාගේ ඝාතකයා මුනුපුරු ගයාන් බවට ප්‍රදේශය පුරා රැව්පිළිරැව් දුන්නේය. ගයාන්ගේ වැඩිමහල් සහෝදරයාද දිනක් ගයාන්ට ඇමැතුමක් ගෙන,

“උඹ කොහේද ඉන්නෙ... අන්න අත්තම්මා මරලා තියෙන්නෙ උඹ කියලා හැමතැනම කතාව. උඹව පොලිසිය හැමතැනම හොයනවා. ඉන්න තැනකින් ගමට වරෙන්... ඇවිත් බාර වෙයන්...“

ගයාන් කියා තිබුණේ ඔහුට ගමට ඒමට මුදල් නොමැති බවයි. සහෝදරයා විසින් රුපියල් දහසක මුදලක් ඔහුගේ ගිණුමට ද බැර කර තිබුණේ ගමට ගෙන්වා ගැනීමටයි.

එහෙත් ඔහු ගමට ආවේ නැත. මිතුරා පොලිස් බාරයේ සිටින බව නොදත් ගයාන්, අත්තම්මාගේ ඝාතනයෙන් දින පහකට පසු එනම් පසුගිය නොවැම්බර් 09 වැනිදා මිතුරාට කීවේ මත්ද්‍රව්‍ය පානය සඳහා ඔරුගොඩවත්තට යාම සඳහා පෑලියගොඩ අලුත් පාලම අසලට පැමිණෙන ලෙසටයි. ඒ අනුව මිතුරාද සමඟ අලුත් පාලම අසලට පැමිණි ගිරිඋල්ල පොලිස් නිලධාරීන් එදින ගයාන් අත්අඩංගුවට ගත්තේ ය.

ගිරිඋල්ල පොලිසියට රැගෙන ආ ගයාන්ගෙන් පොලිස් නිලධාරින් දිගින් දිගටම ප්‍රශ්න කළේ අත්තම්මා ඝාතනය කළේ කුමකටද යන්නයි.

“සර්... මං එදා දවල් 12ට විතර අත්තම්මලයි ගෙදර පැත්තට ගියා... නාරං ටිකකුත් කඩාගෙන බුලත් විටකුත් කෑවා... මං අත්තම්මගෙන් රුපියල් 1500ක් ඉල්ලුවා... අත්තම්මා ගත් කටටම සල්ලි නැහැ කිව්වා... මට තරහ ගියා... මං අත්තම්ම ව මැරුවෙ ඒකයි“

රුපියල් 1500ක් ඉල්ලා නුදුන් හෙයින් අහිංසක අත්තම්මා මෙලොව හැර ගියේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙකුගේ තවත් අහස පොළොව නුහුළන අපරාධයක ප්‍රතිඵලයක් ලෙසිනි. රටපුරා සිටින මෙවැනි මත්ලෝලීන් පිළිබඳව අවධානයෙන් සිට නීතියේ රැහැනට කොටුකර දීම සැමගේ වගකීමයි. එසේම මෙවැනි මත්ද්‍රව්‍ය අපරාධකාරයන්ට නීතියෙන් දැඩි දඬුවම් පමුණුවීමද වගකිවයුත්තන්ගේ කාර්යභාරයයි. සැකකාර ගයාන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නිරපරාදේ ඝාතනය කෙරුණු අත්තම්මාගේ හත් දවසේ දානයට පෙර එම අපරාධකාරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත සහ කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චන්න අබේරත්නගේ අධීක්ෂණයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. ඒ. සමරකෝන්ගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ටී. ආර්. පී. එස්. තෙන්නකෝන් ප්‍රමුඛ උපපොලිස් පරික්ෂකවරුන් වන සරත්, ජයසූරිය, දිසානායක, ලයනල්, සැරයන්වරුන් වන 33587 පුෂ්පකුමාර, 37981 තෙන්නකෝන්, කොස්තාපල්වරුන් වන 49234 ජයතිලක, 37301 නිර්මාල් යන නිලධාරිහු සිදු කළහ.

 

Comments