තරු­ණ­යන්ගේ මල්ලෙ­නුත් හොරා කෑ ජාතික තරුණ සේවා සභාවේ රජ ගැහැලි | සිළුමිණ

තරු­ණ­යන්ගේ මල්ලෙ­නුත් හොරා කෑ ජාතික තරුණ සේවා සභාවේ රජ ගැහැලි

 

පේ රටේ බොහෝ ආයතනවල ක්‍රියාකාරීත්වය හැඩ ගැසී ඇත්තේ ‘කාලා විනාශ කරන්නන්‘ ගේ ක්‍රියාවලියට සමාන ලෙසිනි. ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවක් හෝ වේවා තම පාලනය යටතේදී ඇති හැකි ලෙසින් හරි හම්බ කර ගැනීමත් තම ඥාතීන්ට උපරිම ලෙසින් සැලකීමත් හැරෙන්නට ඇතැම් බලධාරීන්ගෙන් ඒ ආයතනවලට හෝ රටට වන සෙතක් පෙනෙන්නට නම් නැත. අපේ රට මේ තත්ත්වයට ඇද දැමූවේ දේශපාලකයන් යැයි බොහෝ දෙනෙක් හංවඩු ගැසූවද දේශපාලකයන්ගේ බොහෝ දූෂණ ක්‍රියා පවා නැවැත්වීමට රාජ්‍ය නිලධාරීන්ට බලයක් තිබේ. උදාහරණයක් ලෙසින් පෙන්වා දෙන්නේ නම් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් මිලියන 573ක වියළි සහනාධාර ටෙන්ඩර් රහිතව ලබා ගන්නට කටයුතු කළද කොළඹ නාගරික කොමසාරිස්වරිය එයට නිර්දේශ ලබා නොදුන්නේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ යුතු බව පෙන්වා දෙමිනි.

 

තුන් සිය ගණනකගෙන් යුත් නාගරික මන්ත්‍රීවරුන් සමඟ එකිනෙක ගැටීමෙන් හෝ ඇය මූල්‍ය රීති රැක දුන්නාය. එවන් තත්ත්වයකදී ‘අපිත් පුළුවන් තරම් ගහ ගැනීම කළ යුතුයි‘ යන්න පෙරටු කර ගත් ආයතන ප්‍රධානීන්,

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම වෙත පැමි­ණිලි කිරී­මට වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් පැමිණි අව­ස්ථාව

අධ්‍යක්ෂවරුන් ආයතනවලට පත්වීම එම ආයතන ඇද වැටීමට මෙන්ම රට ආපස්සට යාමට තුඩු දෙන්නකි. විශේෂයෙන්ම රටේ තරුණ පරපුරට, අනාගතයට යන පාර කියා දෙන්නට ස්ථාපිත ජාතික තරුණ සේවා සභාවේ හොඳ හොඳ සෙල්ලම් රැසක්ම පසුගියදා එළියට ආවේය.

ඒ 2016 හා 2019 වසරත් අතර කාලයේදී කරන ලද අයථා ක්‍රියා රැසක් ගැනය.

එම අවභාවිතාවන් සම්බන්ධයෙන් හෙළි වූයේ කෝප් කමිටුවේදී හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් හේතුවෙනි.

එහිදී ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන හා අමාත්‍යාංශ ප්‍රතිපාදන ඔස්සේ ව්‍යාපෘති සිදුකරන මුවාවෙන් අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි අදාළ වෘත්තීය සමිතිය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කරුණු දක්වන ලදී.

අදාළ අවභාවිත ශීර්ෂ 5ක් යටතේ ඉදිරිපත් කර තිබුණි.

එවන් අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී ද සාකච්ඡාවට භාජන විය.

විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාවට යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු පිරිවැය වූ රුපියල් කෝටි 35ක මුදල ඉක්මවා රුපියල් කෝටි අට හමාරකට අධික මුදලක් වැඩිපුර වැය කර ඇති බව හෙළිව තිබේ.

එමෙන්ම 2016 වර්ෂයේ පවත්වන ලද යොවුන්පුර ජාතික වැඩසටහනට සභභාගි වූ තරුණ තරුණියන්ට බෙදා හැරීම සඳහා තාක්ෂණික කමිටු නිර්දේශයකින් තොරව ටී ෂර්ට් 1773 ක් සඳහා රුපියල් දහ නව ලක්ෂ තිස් දෙදහසක මුදලක් ගෙවා තිබීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු ව තිබේ. ලොකුම අරුමය වන්නේ මෙම ටී ෂර්ට් බෙදා දී ඇත්තේ වැඩසටහන පැවැත්වීමෙන් පසුව වීමය.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ ‘ අදාළ විගණන පරීක්ෂණයට අනුව හා අපගේ ආයතනික අත්දැකීම් මත වසර 04ක් තුළ, වැඩසටහන් 04ක් පවත්වා රු.689,563,064.00ක මුදලක් වැයකර ඇති අතර, වැඩසටහනේ බාහිර අලංකරණය, ආහාර සම්පාදනය, ඩෝම් සකස් කිරීම සහ විදුලි බුබුළු යෙදීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැයකර ඇත.‘යනුවෙනි.

එමෙන්ම එකී සේවාවන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද රහිතව සිදු කර ඇති බැවින් මූල්‍ය අවභාවිතා සිදු කර ඇති බවද වාර්තා කර තිබේ. විශේෂයෙන්ම කෝප් කමිටුවේ හෙළිව ඇති පරිදි ඇස්තමේන්තු ඉක්මවා වැයදැරීම සම්බන්ධයෙන්ද පැමිණිලි කර තිබේ.

එමෙන්ම තරුණ සහභාගීත්වය ට සරිලන ප්‍රතිඵල ලබා දෙන්නට මේ ව්‍යාපෘති අසමත්ව තිබේ. විශේෂයෙන්ම රටේ අනාගතය භාර ගැන්මට සිටින මේ පිරිසට අනාගතය හැඩ ගස්වා ගැනීමට අදාළ ප්‍රතිලාභ හෝ සංවර්ධනයට

විගණකාධිපතිවරයා විසින් 2018 ඔක්තෝබර් 23 දිනැතිව අංක ‘වී.ටී.වයි/ඒ/එන්.වයි.එස්.සී/1/17/17 අංක යටතේ ජාතික තරුණ සේවා සභාවේ අවිධිමත් හා නීත්‍යානුකූල නොවන ගනුදෙනු සම්බන්ධව එවා ඇති විගණන වාර්තාවේ කොටස්

දායක කර ගැනීම වෙනුවට හිමිව ඇත්තේ ටී ෂර්ට්, කැප් තොප්පි, මග් යනාදිය පමණි.

යොවුන්පුරය සඳහා මූලිකත්වය හා නායකත්වය ගෙන කටයුතු කළ අයගේ පැවැත්ම හා ආර්ථික ලාභ ඉලක්ක කරගනිමින් මේ සියල්ල සිදු කර ඇති බව පැහැදිලි වී ඇත.

එමෙන්ම ඇස්තමේන්තුගත මුදලට වඩා මුදල් වැය කළද වෙනත් දිස්ත්‍රික්කයන්ගෙන් පැමිණි නිලධාරීන් හා තරුණ කණ්ඩායම් වෙත ආහාර හා අවශ්‍ය අනෙක් ස්ථානීය පහසුකම් පවා සලසා නොමැත. එය දිස්ත්‍රික් මට්ටමින් සලසා ගත යුතු වූයෙන් එක් වැඩසටහනක් සඳහා අවම වශයෙන් කෝටි 150ක් පමණ වැය කිරීම ගැටලු සහගත තත්ත්වයකි.

සමික්ෂණ මණ්ඩල වාර්තාව අනුව 2017 වර්ෂය තුළ රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් වැය කර මුද්‍රණය කළ තොරතුරු පත්‍රිකා 268,000 ක් ඉවත් කිරීමට නිර්දේශ කර තිබූ බවටද කෝප් කාරක සභා රැස්වීමේදී තොරතුරු අනාවරණය විය.

ඒ කරුණු කිහිපයක් පමණි. එමෙන්ම එරමිණියාය ගොවිපළ හා මිහිඳුවැව පුළුල් කිරීමේ ව්‍යාපෘතියද මේ ලෙසින්ම මූල්‍ය අවභාවිතයන් සිදු කළ තවත් අයථා ක්‍රියාවකි.

දැනට ලැබී ඇති වාර්තාවන්ට අනුව නිසි අනුමැතියකින් තොරව මිහිඳුවැව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. එමෙන්ම ඉවත් කරනු ලබන පස් සහ පොහොර අඩංගු පාංශුමය දෑ බැහැර කිරීමේ ක්‍රමවේදය අක්‍රමිකතාවන්ගෙන් යුත්ක වීම සඳහා ස්ථාන බාර නිලධාරීගේ සහ අධීක්ෂණ නිලධාරීන්ගේ රාජකාරීමය දුර්වලතාවන් බලපා ඇති බව හෙළිව තිබේ. එහිදී එම නිලධාරීන්ගේ නිසි අධීක්ෂණය සහ පසුවිපරමක් සිදුව නොමැති බව හෙළිව තිබේ.

එසේම පදනම් විරහිතව අනුමත සේවක සංඛ්‍යාව පවා සැලකිල්ලට නොගනිමින් මූලික සුදුසුකම් පවා පරීක්ෂාවකින් තොරව, ජ්‍යෙෂ්ඨත්වය, වැටුප්, විනය කටයුතු ආදිය සැලකිල්ලට නොගෙන කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු සඳහා උසස්වීම් ලබා දීමද මතුව ඇති කරුණකි.

එමෙන්ම නිසි හේතු දැක්වීමකින් තොරව 2019 වර්ෂය තුළ නිලධාරීන් 16 දෙනෙකු දිවයිනේ දුෂ්කර ස්ථානයන්ට මාරු කර තිබේ. කිසිදු සේවා අවශ්‍යතාවක් එම මාරු කිරීම් තුළ දක්නට නැත. එමෙන්ම පත්කිරීම් බලධාරියා ලෙස වගකීම නොදරන කාල සීමාව තුළ ආයතනය සඳහා සේවකයන් 5 දෙනෙකු හිටපු සභාපතිවරයා විසින් බඳවාගැනීමට කටයුතු කිරීමද ගැටලු සහිතය. නිසි බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව කාර්ය මණ්ඩලය සඳහා 97 දෙනෙකු කොන්ත්‍රාත් පදනම යටතේ ඇතුළත් කර ගැනීමද මෙහි අවභාවිතයක් ලෙස හඳුනා ගෙන තිබේ..

මීට අමතරව තරුණ තරුණියන් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මූලික කර ගනිමින් ක්‍රියාත්මක වූ වැඩසටහන් ඔස්සේ විශාල මූල්‍ය හානියක් සිදුව ඇති අතර තවත් මූල්‍ය අවභාවිතයක්ද සිදුව තිබේ. එමෙන්ම ආයතනය ණයකරුවන් බවටද පත් කර තිබේ.

විශේෂයෙන්ම ඒ යටතේ පහත කාර්යයන් කිසිදු ආකාරයක සමාජීය හෝ ආයතනික හෝ තරුණ තරුණියන්ට ඵලදායි නොවන ව්‍යාපෘති බවට පත්ව තිබේ.

I.නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්ගෙන් 40වන සැමරුම සඳහා සංවිධානය කරන ලද ප්‍රදර්ශන,

II.ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ජා සේවය (යුතුකම වැඩසටහන)

III. තුරුණු පොසොන් කලාපය සහ ධාතු ප්‍රදර්ශනය

IV. ජාත්‍යන්තර වැඩසටහනක් සඳහා තම පෞද්ගලික හිතවතුන් යොමු කිරීම (Ecosoc Youth Forum 2018)

V.Youth with Talent ව්‍යාපෘති සහ Reality Show පැවැත්වීම

විශේෂයෙන්ම මෙහිදී ‘යුතුකම වැඩසටහන‘වෙනුවෙන් මේ වනතුරුත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන වෙනුවෙන් මිලියන ගණනක ණය මුදල් ගෙවීමට තිබේ. ඒ යටතේ ලේක්හවුස් ආයතනයට රුපියල් මිලියන දෙකක්, දෙරණ ආයතනයට මිලියන 3ක් හා සිරසට මිලියන 3ක් ලෙසින් ලෙසින්ද තවත් ආයතන කිහිපයකටද මුදල් ගෙවීමට තිබේ.

ඊට අමතරව ජාතික තරුණ සේවා සභාවට අයත් ගොවිපල මධ්‍යස්ථාන හා ඒ ආශ්‍රිත සත්ත්ව පාලන කටයුතු අකර්මන්‍යවීමට ඉඩහැරීම හා සත්ත්ව සම්පත මධ්‍යස්ථාන වත්කමින් ඉවත් කිරීමට කටයුතු කිරීමත් කිසිදු හේතුවකින් තොරව සිදු කළ අයථා ක්‍රියාවන්ය. ඒ ඔස්සේ ඒ ආශ්‍රිත ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවන් කළමනාකරණය නොකිරීමත් නිසා දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය සත්ත්ව පාලනය ඉවත් කර එකී සතුන් ජීව බරට විකිණීම හා නොමිලේ ලබා දීම ගැනද ගැටලු මතුව තිබේ.

විශේෂයෙන්ම එම ආදායම් පිළිබඳව තොරතුරු විධිමත් ලෙසින් සපයා නොමැත. ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින්ද කරුණු දක්වා තිබේ.

මේ අතර ජාතික තරුණ සේවා සභාව විසින් ආරම්භ කරනු ලැබීමට නියමිත වූ සිස්කෝ පරිගණක ජාලගත පාඨමාලාව සඳහා මූලික පහසුකම් සපුරා ගැනීමටත් පෙර උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි එකහමාරකට වැඩි මුදලක් වැය කිරීමක් ගැනද වාර්තා විය.

ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2017 වසරේ සිට සං‍යුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ විශේෂ අවධානය යොමු ව ඇත.

ජාතික තරුණ සේවා සභාවේ සියයට 98 කට වැඩි කොටස් හිමිකාරිත්වයක් සහිතව ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 1981 වසරේදී ආරම්භ කර තිබුණද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා විය.

විශේෂයෙන්ම ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් තිබීමත් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2015 වසරේ සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද ගැටලු මතුව තිබේ.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් මාතර නිල්වලා යොවුන් උද්‍යානය ඉදිකිරීමට තීරණය කර තිබුණද ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකිරීමද මෙහිලා ගැටලුවකි.

එවන් තත්ත්වයක් තුළ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අදාළ ඉඩම් හිමිකරුවන්ට වන්දි හා පොලිය වශයෙන් එකතුව රුපියල් දාහතර කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්ද ජාතික තරුණ සේවා සභාවේ උපදේශක ගාස්තු වශයෙන් රුපියල් 76 ලක්ෂයකට වැඩි මුදලක්ද 2014 වර්ෂයේදී ගෙවා තිබේ.

එසේම 2019 වසරේ ගබඩා දෙකක් කුලී පදනම මත ලබා ගැනීමේදී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිබාහිරව ඇණවුම් කළ දින ප්‍රමාණය ඉක්මවා භාවිත කළ බව සඳහන් කරමින් රුපියල් විසි දෙලක්ෂයකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා ඇතැයිද කෝප් කමිටුව හමුවේ අනාවරණය වී ඇත.

එපමණක්ද නොවේ, ජාතික තරුණ සේවා සභාව 2018,2019 හා 2020 වර්ෂවල රුපියල් කෝටි හතළිස් එකකට වැඩි වටිනා කාර්‍යයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම මාර්ගයෙන් කරගෙන තිබූ බව කෝප් කමිටුවට අනාවරණය වී ඇත.

මේ දක්වා ඉදිරිපත් කර නොමැති එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මීට අමතරව ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් අංශ ප්‍රධානීන්ට 2021 වසරේ ඔක්තෝබර් මස 08 වැනි දින නිකුත් කර තිබූ අභ්‍යන්තර චක්‍රලේඛයක් මඟින් ආයතනය සම්බන්ධ තොරතුරු බාහිර පාර්ශ්වවලට ලබා දීම නොකළ යුතු බව දැනුම් දී තිබේ. එම උපදෙස් ජාතික විගණන කාර්‍යාලයේ සහ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට බාධාවක්වූ ඇති බව මේ වන විට හෙළිව තිබේ.

ඒ කුමන හේතුවක් දැයි නොදන්නා නමුත් ජාතික තරුණ සේවා සභාවේ හා ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ කටයුතු ගැන විමසීමට ජාතික තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරූ නමුත් ඔහු දුරකථනයට පිළිතුරු සැපයූවේ නැත.

 

Comments