හදවත ගැහෙන රිද්මය සොයන්නයි අපි මේ නිර්මාණය කළේ | සිළුමිණ

හදවත ගැහෙන රිද්මය සොයන්නයි අපි මේ නිර්මාණය කළේ

 

මෙවර යෞවන සම්මාන උළෙලේ වාර්තාමය කෙටි චිත්‍රපට අංශයේ සියලු සම්මාන දිනාගත්  දවසක් වාර්තාමය කෙටි චිත්‍රපටයේ තිර රචක බුද්ධික සමන් ගුණවර්ධන

 

සම්මාන උළෙලක් වෙනුවෙන්  යොමු කරපු පළවෙනි  අවස්ථාවත් මේක;  සම්මානයක් ලැබුණු පළවෙනි අවස්ථාවත් මේක

 

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 42වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්ව‍ෙයන් පසුගිය දා පැවැත්වුණා. මෙම සම්මාන උළෙලට සමගාමීව 09 වන යෞවන චිත්‍රපට උළෙලේ කෙටි හා වාර්තා චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන්ට තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමීම ද සිදුවිය.

 

මෙවර යෞවන සම්මාන උළෙලේ වාර්තාමය කෙටි චිත්‍රපට අංශයේ සම්මාන සියල්ල ම දිනා ගන්නට සමත් වුණේ "දවසක්" වාර්තාමය කෙටි චිත්‍රපටය වීම ද මෙම සම්මාන උළෙලේ දී කැපී පෙනෙන්නට වූ සිදුවීමක් වුණා. ඒ හොඳ ම පිටපත් රචනයට හිමි සම්මානයත්, හොඳ ම කැමරාකරණයට හිමි සම්මානයත්, හොඳ ම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, හොඳ ම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, හොඳම සංස්කරණයට හිමි සම්මානයත්, සහ හොඳ ම නිෂ්පාදනයට හිමි සම්මානය යන වාර්තාමය කෙටි චිත්‍රපට වෙනුවෙන් වෙන් වූ සම්මාන හයම හිමි කරගනිමින්.

ඒ නිසා සිළුමිණ රසඳුන මේ කතාබහ "දවසක්" වාර්තා කෙටි චිත්‍රපටයේ තිර පිටපත් රචනය සිදු කළ බුද්ධික ගුණවර්ධන සමඟ.

 

වාර්තාවක් සමඟ සම්මාන දිනූ "දවසක්" හි ඔබේ භූමිකාව තිර පිටපත් රචනය, මිට පෙරත් ඔබ සම්මානිත වූ අවස්ථා තියෙනවද ?

මම වෘත්තීය ලෙස සිදු කරන්නනේ විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවේ. ඒ හා සම්බන්ධ තිර පිටපත් සහ වෙනත් තිර පිටපත් මම ගොඩක් ලියලා තියෙනවා. ඒ දේවල් අපි සම්මාන උළෙලවල්වලට යොමු කරලා නැහැ. සම්මාන උළෙලක් වෙනුවෙන් යොමු කරපු පළවෙනි අවස්ථාවත් මේක. සම්මානයක් ලැබුණු පළවෙනි අවස්ථාවත් මේක.

 

"දවසක්" වාර්තා කෙටි චිත්‍රපටයේ

කණ්ඩායමම සම්මාන ලැබීමත් විශේෂත්වයක්, අපි මතක් කළොත් කණ්ඩායම ගැන

ඇත්තටම මේ නිර්මාණය අපි සියලු දෙනාගේම සාමුහික ප්‍රයත්නයක්. අපි පස් දෙනා එකතුවෙලා කරපු පළවෙනි නිර්මාණය. "දවසක්" අධ්‍යක්ෂණය කළේ අරවින්ද වන්නිනායක, අරවින්ද නම් මිට කලින් සම්මාන වලට පාත්‍ර වෙලා තියෙනවා. "දවසක්" හි අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය සිදු කළේ අරවින්දමයි. සංගීත අධ්‍යක්ෂණය මිලින්ද තෙන්නකෝන්. එයා තමයි ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළෙත් මිලින්ද. එතකොට කැමරා අධ්‍යක්ෂණය කළේ ප්‍රභාත් වික්‍රමසිංහ. ඔහුත් සම්මාන ලැබූ පළවෙනි අවස්ථාව. නිලාන් පී ජයරත්න තමයි සංස්කරණය කළේ. මෙතැනදී අපි පස්දෙනාටම සම්මාන ලැබුණා.

 

"දවසක්" වාර්තා කෙටි චිත්‍රපටය ගැන අපි කතා කළොත්

අපේ සංකල්පය වුණේ ජිවිතේ කියන්නේ දවසක්. දැන් අපි ජීවත් වෙන්න බොහෝ දේ කරනවනේ. ඒකට අදාළ සිම්බල් ගොඩක් අපි මෙහි පාවිච්චි කරලා තියෙනවා. එක එක මිනිස්සු එක එක දේවල් කරනවා ජීවත් වෙන්න. එතකොට මෙතැනදී අපි නිර්මාණකරුවන් විදියට ජීවිතේ මෙහෙම වෙන්න ඕනේ කියන දේ අපි කියන්නේ නැහැ. නමුත් අපි දවසක් ඇතුළෙ කරන දේවල් ටිකක් තියෙනවා. උදා දවස ගෙවෙන රිද්මයක් තියෙනවා. බොම්බයිමොටයි විකුණන කෙනා බෙල් එක ගහන රිද්මයක් තියෙනවා. එතකොට වෑයෙන් පොල් ලී සුද්ද කරන කෙනාට රිද්මයක් තියෙනවා. මේ රිද්ම සියල්ල සමානයි අපේ හදවතේ ගැහෙන රිද්මයට. මේ රිද්මය තමා රැකියාව කියන්නේ. හැබැයි මේ පපුවේ රිද්මය නැවතුණත් රැකියාව නැවතුණත් වෙන්නේ එක දෙයයි. ඒ නිසයි කොටුවට ගිහින් බලන්න මිනිස්සු 65 පැනලා 70, 80 වෙලත් වැඩ කරන්නේ. අපි රෑ එකට දෙකට කොටුවට ගිහින් ස්වභාවික දර්ශන වලින් ගත්තේ.

 

මේ නිර්මාණය සම්මානිත වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණද?

එහෙම හිතුවේ නැහැ. මොකද සාමාන්‍ය ප්‍රේක්ෂකයාට මේක තේරුම් යයි ද කියන එක ගැන අපි අතරත් පොඩි මතවාදයකට ලක් වෙලා තිබුණා. දැන් අපිට වැටහෙනවා මේක මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් කියන එක. මොකද ඒ නිසානේ සම්මාන උළෙලේ තිබූ සියලු ම අංශවල සම්මාන මේ නිර්මාණයට ලැබුණේ. ඒ වගේම තමයි මේ සම්මාන ලැබීම අපිට ලොකු උත්තේජනයක්.

 

මොකද හිතුණේ මෙලෙස සම්මාන උළෙලේ සම්මාන සියල්ලම දිනා ගනිද්දී

ඇත්තටම නිහතමානී සතුටක් තියෙනවා. මේ නිර්මාණය අපි ආරම්භයේ සිට ම අවසානය දක්වා අපේ සාමුහික වැඩක් විදියට කළේ. මේ මගේ කොටස මේ ටික විතරයි මම කරන්නේ කියන තැන අපි කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම තිර රචනාව කළත් එයට අඩු වැඩිය අනෙක් අය එකතු කළා. අනෙකුත් අංගවලටත් මම මගේ උපරිමය ලබා දුන්නා. ඒ නිසා මේ "දවසක්" වාර්තා කෙටි චිත්‍රපටය අපේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.

Comments