සිනමා කර්මාන්තය වගේම සම්මාන දීමත් කර්මාන්තයක් | සිළුමිණ

සිනමා කර්මාන්තය වගේම සම්මාන දීමත් කර්මාන්තයක්

ගැන්ටොක් සහ කල්ට් ක්‍රිටික් සම්මාන දිනූ  ගිනි කෙටි චිත්‍රපටයේ අධක්ෂවරයා රනිල් රුවන්පතිරණ

 

මේ කාලය බොහෝ තරුණ නිර්මාණකරුවන් ලොව පුරා සම්මානිත වෙන කාලයක්. මේ කතාබහ ඉන්දියාවේ "ගැන්ටොක් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සහ ඉන්දියානු "කල්ට් ක්‍රිටික්" සඟරාව මඟින් සංවිධාන කළ ජාත්‍යන්තර කල්ට් ක්‍රිටික් සම්මාන උළෙලේ දී හොඳම කෙටි චිත්‍රපටය ලෙසින් සම්මාන දිනූ "ගිනි" කෙටි චිත්‍රපටයේ අධක්ෂවරයා සමඟයි.

 

නම - රනිල් රුවන්පතිරණ

පාසල - ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.

වෘත්තීය - වෙළෙඳ දැන්වීම්කරණ අංශයේ සන්නිවේදන ක්‍රමෝපාය සම්පාදකවරයෙක් විදියට. අලෙවි සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් Appearance Consulting කියලා මගේම ෆර්ම් එකක් තියෙනවා.

 

කොහොමද මේ කෙටි චිත්‍රපට පැත්තට යොමු වෙන්නේ

මගේ වෘත්තීය කටයුතු වෙ‍ෙළඳ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධව තමයි කරන්නේ. ඒ නිසා එහි එක කොටසක් තමයි වෙ‍ෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ කටයුතු. එතකොට ඒ පැත්තෙන් අවුරුදු 15ක් වගේ කාලයක් වැඩ කරනවා. එතකොට මම වෙ‍ෙළඳ දැන්වීම් අධ්‍යක්ෂවරයෙක් විදියට අවුරුදු 10ක් වගේ වැඩ කරලා තියෙනවා.

ඒක මගේ වෘත්තීය අත්දැකීම්. එතකොට තමයි මට අවශ්‍ය වුණේ සිනමාව ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න සහ ඉගෙන ගන්න. ඒ නිසා මම ජාතික චිත්‍රපට සංස්ථාවේ තියෙන සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනට සම්බන්ධ වෙනවා. එතැනදී තමා මම සිනමාව ගැන ඉගෙන ගන්නේ. මොකද කොහොමත් ඒ ඩිප්ලෝමාවේ කොටසක් විදියට කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න වෙනවා. ඒකට කරපු කෙටි චිත්‍රපටය තමයි මේ සම්මාන ලැබුණු "ගිනි" කියන කෙටි චිත්‍රපටය.

 

"ගිනි" කෙටි චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ මොකක් ද?

අපි සාමාන්‍යයෙන් දකින්නේ ඕනෙම මනුස්සයෙක්ගේ චරිතයක් කළු හරි සුදු හරි චරිතයක් විදියටනේ. කට්ටියක් කළු චරිත; කට්ටියක් සුදු චරිත. දේශපාලනයේ දී ද එහෙම නැත්නම් ඕනෙම සමාජ තලයකදී ද අපි එහෙම නේ දකින්නේ. හැබැයි මගේ මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන චරිතය ඉතා සුළු කාල සීමාවක් ඇතුළත අනෙකුත් චරිතවලට හමුවෙනවා. එහි අපි පටන් ගන්නකොට දකින ප්‍රධාන චරිතය ටිකක් කළු පැත්තට බරයි. නමුත් එයා තව කෙනෙක් හමුවෙද්දී ඒ චරිතය කොතරම් කළු පැත්තට බරද කියන එක මත තමයි අර කෙනාගේ චරිතය පේන්න ගන්නේ.

ඒ සුදු චරිතයක් වුණු කෙනාම තව කෙනෙක් එක්ක බලද්දී කළු චරිතයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රධාන චරිතය සැරින් සැරේ ගැටෙන චරිත එක්ක මෙයා කළු ද සුදු ද කියන එක පෙන්නුම් කරනවා. හොඳ මිනිස්සු හෝ නරක මිනිස්සු නැහැ. ඒ ඒ අවස්ථා අනුව ඒ ඒ අවස්ථාවන්ට දක්වන ප්‍රතිචාර එක්ක චරිත සියල්ල ම අපි හැමෝම මේ කළු සුදු කියන චරිත අතරේ දෝලනය වනවා කියන දේ තමා මේ "ගිනි" කෙටි චිත්‍රපටයෙන් කතා වෙන්නේ. මේක කෙනෙක්ට උඩින් බලලා බොහොම සරල කතාවක් විදියට රසවිඳින්න පුළුවන්. තව කෙනෙක්ට ඊට වඩා ගැඹුරින් මේ දේ තුළ කියවෙන්නේ කියැවෙන දේ වටහා ගන්න පුළුවන්.

 

මේ නිර්මාණයට දායක වූ අය මතක් කළොත්

"ගිනි" කෙටි චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා අමිල චින්තක ගමගේ, චරිත මධුරංග, ලාලිත නානායක්කාර,රාහුලන් මරියදාස්, නීතිඥ පියරත්න මැණික්පුර. කැමරාකරණය මාධව චතුරංග, සංස්කරණය රාහුලන් මරියදාස්, අංග රචනය ඉන්දික ශාන්, නිෂ්පාදන කළමනාකරණය වජිර දීපාල්, නිෂ්පාදන කටයුතු වෛද්‍ය නදීමා කපුගේ.

 

පළමු නිර්මාණයට ඇගයුම් සම්මාන ලැබීම අභියෝගයක් නෙවෙයිද?

පළමු නිර්මාණයටම මේ වෙද්දී සම්මාන තුනක් ලැබිලා තියෙනවා. ඔයා කිව්වා වගේ ඔතන තමා ප්‍රශ්නේ වෙන්නේ. මොකද මෙතැනින්ම තමයි මාව කියවන්න ගන්නේ. නමුත් දැන් මේ සම්මාන දීමත් කර්මාන්තයක්.

සිනමා කර්මාන්තයත් එක්කම යන තව කර්මාන්තයක් තමයි සම්මාන කියන එකත්. ඒ නිසා සම්මාන එකක් හෝ කිහිපයක් ලැබුණා කියලා එකෙන් අපිට නිර්මාණය පිළිබඳ පැහැදිලි අදහසකට එන්න බැහැ. මොකද ඒ සම්මාන එකිනෙකට සාපේක්ෂයි. සමාජය දකින්නේ සම්මාන ලැබුණු නිර්මාණයක් විදියට. මම මේ වෙද්දී ලංකාවේ තැන් දෙක තුනක පෙන්නුවා. මිශ්‍ර ප්‍රතිචාර ලැබුවා.

ගොඩක් තැන්වලදී උපරිමයෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර විචාර ප්‍රතිචාර ලැබුවා. හැබැයි තව තැනකදී නිර්ධය ලෙස විවේචනය වෙන්න පුළුවන්. ඒ නිසා සම්මාන ලැබුණා කියලා අපි දන්න භාෂාවෙන් කියනවා නම් අදින්න නරකයි.

මොකද සම්මාන කියන්නේ මේ වෙද්දී කර්මාන්තයක්. ඒක තමා ඇත්තම කතාව. ලෝකයේ පිළිගත් සම්මාන තියෙනවා. ඕනෙම කර්මාන්තයක ඉහළ ගනයේ සහ අවර ගනයේ තියෙනවනේ. ඒ නිසා සම්මාන ලැබුණු නිර්මාණ කෙරෙහි වුණත් හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න පුළුවන් වුණොත් තමයි ඒ නිර්මාණකරුවට දුර ගමනක් යන්න පුළුවන් වෙන්නේ.

 

කෙටි චිත්‍රපට තව කරලාද වෘතාන්ත සිනමාපටයක් ගැන හිතන්නේ

මම දකින්නේ මේ දෙක පැහැදිලි මාධ්‍ය දෙකක්. ගොඩක් කෙටි නිර්මාණකරුවන් ඉන්නවා වෘතාන්ත සිනමාපටයක් කරන්න ඉලක්ක කරගෙන නිර්මාණ කරන. මම එතන නැහැ. මම කියන්නේ කෙටි චිත්‍රපට කියන්නේ වෙනම කලාවක්. ගොඩක් දුරට ඊළඟ නිර්මාණයත් කෙටි චිත්‍රපටයක්. වෘතාන්ත සිනමාපට වලට එන්න කලින් ඒ ගැන වෙනම හැදෑරිය යුතු වෙනවා. අනිත් අතට කෙටි චිත්‍රපටයක් අපිටම නිෂ්පාදනය කර ගන්න පුළුවන්.

ගොඩක් කෙටි චිත්‍රපටකරුවන් මේ දේ කරන්නේ මිල අධික විනෝදාංශයක් විදියට. නමුත් වෘතාන්ත සිනමා පටයක් එහෙම කරන්න බැහැ. ඒක වෙනම ව්‍යාපෘතියක්. ඒ නිසා කෙටි චිත්‍රපට නම් මමම නිෂ්පාදනය කරන නිසා මගේ අතින් නිර්මාණය වෙයි.

Comments