වැම්පයර් නිසා සංචාරක පුරයක් වුණු සර්බියාවේ හොල්මන් නගරය | සිළුමිණ

වැම්පයර් නිසා සංචාරක පුරයක් වුණු සර්බියාවේ හොල්මන් නගරය

හොල්මන් නැත්නම් අවතාර වැඩි දෙනා පිළිගන්නේ මිත්‍යා කතා නැත්නම් ආච්චිලගේ පරණ කතන්දර විදිහට. හොල්මන්වලට බය නෑ කියලා වැඩි දෙනෙක් පෙන්නන්න හැදුවත් හොල්මන් කතා අහන්න නම් හැමෝම වගේ ආසයි. තවත් අය තමන්ගේ නිර්භීත බව පෙන්නන්න හොල්මන් තියෙනවා කියන තැන්වලට ගිහින් පෙන්නන්නත් කටයුතු කරනවා.

අද ලෝකයේ වැඩි දෙනාගේ පිළිගැනීම වෙන්නේ හොල්මන් කියලා දෙයක් නෑ කියන එක. ඒත් යම් තැනක පිළිගත් සාක්ෂි සහිතවම හොල්මන් තියෙනවා කියලා වැඩි දෙනෙක් කියනවා නම් එම ස්ථානවල අද්භූත දේ අත්දැකපු, අත්විඳපු අය සාක්ෂී දෙනවා නම් හොල්මන් ගැන දෙපාරක් හිතන්න වෙනවා නේද?

සර්බියාවේ කිසිල්ජෙවෝ කියන ගම ගැනත් කියන්න තියෙන්නේ ඒ වගේ අදහසක්. කිසිල්ජෙවෝ කියන්නේ ඊසාන දින සර්බියාවේ බ්‍රැනිසේවෝ කියන ප්‍රාන්තයේ පිහිටා තිබෙන සුන්දර ගම්මානයක්. මේ ගම්මානය කොතරම් සුන්දර වුණත් එහි පුරාම පැතිර තිබෙන්නේ පාළු ස්වභාවයක්. අඩුවෙලා අඩුවෙලා ගිහින් මේ වෙනකොට ගමේ ජනගහනය 800කට සීමා වෙලා තියෙනවා. එත් මේ සුළු පිරිස ගම පුරා පැතිර තිබෙන මීදුමින් පිරි මූසල පරිසරය ඇතුළෙත් බොහොම සතුටින් ජීවත් වන බව තමයි දැනගන්න ලැබෙන්නේ. එහෙම වෙන්න හේතුව තමයි අද මේ කිසිල්ජෙවෝ ගම්මානයට ලැබෙමින් තිබෙන සංචාරක ආරක්ෂණය.

කිසිල්ජෙවෝ අද වන විට ලෝක පූජිත ගම්මානයක්. එහෙම වෙන්න හේතුව මේ ගම හා බැඳුණු ඉතා පුරාණ ඉතිහාසයක් සහ සාක්ෂි සහිත පුරාවෘත. මේ පුරාවෘත අනුව ලෝකයේ මිනිසුන් විසින් නමින්ම හඳුනාගත් ප්‍රථම වැම්පයරයා ජීවත් වී තිබෙන්නේ කිසිල්ජෙවෝ ගම්මානයේ. ඔහු පීටර් ප්ලොගොජොවිට්ස්. පීටර් කිසිල්ජෙවෝ ගම්මානයේ ජීවත් වෙලා තියෙන්නේ දහ අටවන සියවස තරම් ඈත කාලයේදී. ගම්වැසියන් සමඟ හොඳින්, කිසිම වෙනසක් නැතිව ජීවත් වුණු පීටර් 1725 වසරේ එක් දිනකදී කිසියම් හේතුවකින් මිය යනවා. ඥාතියෙක්, දරු මල්ලෙක් නොසිටි පීටර්ගේ සිරුර ගම්වාසීන් විසින් ගමේ සුසාන භූමියේ මිහිදන් කරනවා. ඒත් පීටර් මිය ගිය දින සිට එක දිගට දවස් අටක් පුරා දවසට එකා බැගින් ගම්මු මියයනවා. ඇතැම් දෙනා මිය යන්නට පෙර කෑ ගසා තිබෙන්නේ පීටර් තමන්ව ගෙන යන බව පවසමින්. මේ අන්දමින් දිනකට එකා බැගින් දින අටක් පුරා අට දෙනෙකු මිය ගිය පසු ගම්වැසියන් තීරණය කරන්නේ පීටර් ප්ලොගොජොවිට්ස්ගේ සොහොන විවෘත කරන්න. ගම්වැසියන් කිහිප දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඔවුන් පීටර්ගේ සොහොන විවෘත කළ පසු ඔවුන් දකින්නේ පීටර්ගේ මළ සිරුර. ඒත් වෙනසක්. එම සිරුරේ රැවුළ වැඩී ඇති බවක් තමයි ගම්වැසියන්ට පැහැදිලිව පෙනෙන්නේ. පීටර්ගේ අත්වල නියපොතුත් වැඩී ඇති බව ගම්වැසියන්ට පෙනෙනවා. ඒ විතරක් නෙමෙයි පීටර්ගේ දෙතොල් ලේ රත් පැහැති වීමත් ගම්වැසියන් තිගැස්මට පත් කරනවා. ඔවුන් හැකි ඉක්මනින් එතනින් පිටවී යනවා. ඔවුන් දැඩි සේ විශ්වාස කරන්නේ පීටර් ජීවත්ව සිටින බවයි.

පසුව ඔවුන් තවත් පිරිසක් සමඟ සොහොන් බිමට පැමිණියත් පීටර්ගේ විවෘත සොහොන් ගෙය මිස මළ සිරුර දකින්නට ලැබී නැහැ. මේ පුරාවෘතය සියවස් ගණනක් පැරණි වුණත් එය බොහෝ දුරට විශ්වාස කටයුතු බව තමයි පිළිගැනීමට ලක්ව තිබෙන්නේ.

මේ වන විට ලොව බොහෝ දෙනා පිළිගන්නේ කිසිල්ජාවෝ කියන්නේ ලොව ප්‍රථම වැම්පයරයා හමුවුණු නගරය වශයෙන්. ඒ නිසාම මේ නගරය බලන්න ලොව පුරා බොහෝ සංචාරකයෝ නගරයට පැමිණෙනවා. ඉතින් නගරයේ පවතින අඳුරු, මූසල, බියජනක පෙනුමත් මේ පුරාවෘත තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට රුකුල් දෙනවා. ඇත්තටම ලොව ප්‍රථම වැම්පයරයා හඳුනා ගත් නගරය නොවුණත් කිසිල්ජාවෝ කියන්නේ ඇවිදලා බලන්න වටින නගරයක්.

 

Comments