මුහුණුපොතට ලියූ පළමු නවකතාව මට වාසනාව ගෙනාවා | සිළුමිණ

මුහුණුපොතට ලියූ පළමු නවකතාව මට වාසනාව ගෙනාවා

දශකයකට ආසන්න කාලයක් විදේශගතව සිටි නිශී බොතේජු නවකතා ලිවීමට නැඹුරු වන්නේ කුඩා වියේ සිට ලේඛනයට දැක්වූ කැමැත්ත සහ දක්ෂතාව නිසාය. 2016දී පාළුව, කාන්සිය මකාගැනීමට විනෝදාංශයක් ලෙස මුහුණුපොතට නවකතා ලිවීම ආරම්භ කළ නිශී, තම පළමු මුද්‍රිත කෘතිය ‘පතිනියක වී’ නවකතාව ප්‍රකාශයට පත් කරන්නේ 2020 වසරේදීය. ඇයගේ දෙවැනි නවකතාව ‘මායාවී’ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ‘නිශී පබ්ලිකේෂන්ස්’ නමින් ඇයගේම ප්‍රකාශන ආයතනයක් ආරම්භ කළාය. මේ වන විට නවකතා කෘති 7ක් පළ කර ඇති නිශී බොතේජු සිය ලේඛන දිවියට විශාල ශක්තියක් වන දයාබර සැමියා පැතුම් ඇතුළු පවුලේ සියලුදෙනා ආදරයෙන් සිහි කරන්නීය.

 

1. මගේ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව හා එය ලිවීමට හේතුව

මගේ නවකතා අතරින් මම වඩාත්ම කැමති නවකතාව මේ අවුරුද්දේ මාර්තු මාසයේ නිකුත් වුණ මගේ පාඨකයන් ඉතා ආදරයෙන් වැලඳගත් ‘මේඝනා’ නවකතාවයි. සත්‍ය කතාවක් පදනම් කරගෙන ලියැවුණ ඒ කතාව හරහා ඉස්මතු කිරීමට උත්සාහ කළේ දියණියක හා පියා අතර තියෙන අසීමිත බැඳීමයි. ඒ වගේම දියණියක විදියට තමන්ගේ මවුපියන් වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කරන්න පුළුවන්ද කියන පණිවිඩය මට හැකි අයුරින් සමාජගත කරන්නයි මට ඕනෑකම තිබුණේ. හැමදේම ක්ෂණයකින් වෙනස් වෙන ලෝකයේ මේඝනාගේ ජීවිතෙත් එක රැයින් උඩු යටිකුරු වෙද්දි ඒ හැමදේම දරාගත් හැටි තරුණ වයසේ ඉන්න ඕනෑම ගැහැනු ළමයෙක්ට ආදර්ශයක් වන, ෆැන්ටසියක් නොවූ සැබෑ ජීවිත කතාවක් පාඨකයාට දෙන්න මට අවශ්‍ය වුණා. ඒ වගේම අප්‍රකාශිත ප්‍රේමයක් හිතේ තියාගෙන මේඝනා වෙනුවෙන් හැමදේම කරපු සංසක කියන පිරිමි චරිතයට සාධාරණයක් කරන්නත් මට ඕන වුණා.

 

2. ඒ නවකතාවේ මා වඩාත් සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව

සංවේදී අවස්ථා අනන්ත තිබුණත් මගේ හිත අදටත් මොහොතකට නතර කරන පිටු කීපයක් ඒ අතර තියෙනවා. මවගේ හදිසි වියෝවත් එක්ක සහෝදර සහෝදරියන් කිසිම කෙනෙක් නැතුව තාත්තා සමඟ මේ ලෝකේ තනි වුණ දුවෙකුට තාත්තාගේ ආදරය තරම් වටිනා දෙයක් මේ ලෝකේ තවත් තියෙන්න පුළුවන්ද? මට අම්මා වගේම සහෝදර සහෝදරියෝ හිටියත් බොහෝ ගැහැනු ළමයින් වගේ මමත් වැඩිපුරම ආදරේ මගේ තාත්තාටයි. මම පිටරට ඉන්නකොටයි මගේ තාත්තාගේ හදිසි වියෝව මට ආරංචි වුණේ. ඒ වේලාවේ මට දැණුන හැඟීම හා එදා මං හැසිරුණ විදිය අදටත් වචනවලට පෙරළන්න අමාරුයි. ඒ කම්පනයෙන් මිදෙන්න මට මාස ගණක් ගතවුණා. මේ නවකතාවේ මේඝනාගේ තාත්තාගේ හදිසි වියෝව ගැන කියැවෙන පිටු කිහිපය ලියද්දි මට හැඬුණ වාර අනන්තයි. ඒ කොටස ලියන්න සතියකට එහා කාලයක් මට වැය කරන්න සිද්ධ වුණා. දුවක හා පියකු අතර තියෙන බැඳීමට අලුත් අර්ථකථනයක් දෙන්න මං ගත්ත ඒ උත්සාහය මගේ පාඨකයන් ඉතාමත්ම ඉහළින් අගය කරද්දි මට දැනුණේ මගේ ලේඛන ජීවිතයේ අසීරුම අභියෝගය මම සාර්ථකව ජයගත්තා කියලයි. අදටත් මං විශ්වාස කරනවා මගේ තාත්තා කොහේ හරි ඉඳලා මං දිහා බලාගෙන මට ආශිර්වාද කරනවා ඇති කියලා.

 

3. මෙතෙක් මට ලැබුණු හොඳම පාඨක ප්‍රතිචාරය

ඉතා සරල භාෂා ශෛලියකින් නවකතා ලියන්න පුරුදු වෙලා ඉන්න මට ප්‍රධානපෙළේ පාසලක උප විදුහල්පතිනියෙගෙන් පිටු 4ක දිග ලියුමක් ලැබුණ දවස නම් අමතක වෙන්නෙම නැහැ. මීට මාස කීපයකට කලින් එළි දැක්වුණු මගේ ‘සළු’ නවකතාව ගැන එතුමියගේ ඇගයීම මාව ගොඩාක් සංවේදී කළා. එතුමිය දියණියන් දෙන්නෙක්ගේ මවක්. මගේ ඕනෑම පොතක් කිසිම බයක් නැතුව තමන්ගේ දියණියන්ට කියවන්න පුළුවන් තරම් සංයමයකින් ලියලා තියෙනවා කියලා එතුමිය කියද්දි මට දැනුණේ ඒ වචන මගේ ලිවීමට ලැබුණ නිල නොලත් සම්මානයක් විදියටයි.

 

4. මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

2021 වසරේදී නවකතා 6ක් මම මගේ පාඨකයන්ට ලබා දුන්නා වගේම 2022 වසරේදිත් නවකතා 6ක් එළි දක්වන්න මේ වනවිට සැලසුම් සකස් කරලා හමාරයි. ඉන් දෙකක් ජනවාරියේදී එළිදැකීමට නියමිතයි. ඒ වගේම ප්‍රසිද්ධ නාළිකාවක ඒකාංගික ටෙලි නාට්‍ය පිටපත් ලියන්න වගේම අලුත් සඟරාවකට නවකතාවක් ලියන්නත් මට ආරාධනා ලැබිලා තියෙනවා. මම ලිවීම ආරම්භ කරපු මගේ මුහුණුපොතේ පාඨකයන් වෙනුවෙන් දිගටම නවකතා ලියන්න මගේ කාල සටහනේ හැමදාමත් ඉඩක් වෙන් කරන්න මම අමතක කරන්නේ නැහැ. මාව මේ තැනට අරන් ආව ආදරණීය පාඨකයන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.

Comments