මවු පදවිය පමා කරන මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස් | සිළුමිණ

මවු පදවිය පමා කරන මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස්

 

මෙම රෝගය ආශ්‍රයෙන් පිළිකා ඇති වීමේ අවදානම ඉතා අඩුයි:දරය ආශ්‍රිතව දීර්ඝකාලීන වේදනා ගෙන දේ නම් වෛද්‍යවරයකුට පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්

 

යුග ජීවිතයට එළඹෙන බොහෝ කාන්තාවනගේ ඊළඟ සිහිනය වනුයේ උතුම් වූ මව් පදවිය ලැබීමයි. මවක වීමට ඔබ තවමත් ප්‍රමාදද? එය රෝගයක්ද? මේ සඳහා බලපාන හේතු සාධක මොනවාද යන්න වර්තමානයේ හඳුනා ගත් බොහෝ කාන්තාවන්ට ඇති රෝගී තත්ත්වයක් ඔස්සේ කරුණු ගෙන ඒමට අප සිතුවා. දරුඵල අහිමි වීම නැතිනම් කල් යාම ප්‍රධාන රෝග ලක්ෂණයක් වන එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය අද අපගේ සාකච්ඡාවට ලක්වෙන්නේ ඒ නිසා ය. අද මේ පිළිබඳ උපදෙස් ලබා දෙන්නේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොටයි.

 

‘මේ රෝගය නොදැනීම ඇතැම් කාන්තාවන්ගේ ශරීරයේ වැඩී පවතී. ගර්භාෂයේ ඇතුළත බිත්තියෙ එන්ඩ්‍රොමෙට්‍රියම් නම් ස්ථරයක් පිහිටා ඇත. එම ඇතුළත බිත්තියෙ සෛලවලට සමාන සෛල ගර්භාෂයෙන් පිටත වෙන ස්ථානයක අවයවයක තැන්පත් වීම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ලෙස හඳුන්වයි. ඇතැම් විට මේ සෛල ගර්භාෂයේ පිටත පෘෂ්ටයේ, ඩිම්බකෝෂවල, පැලෝපීය නාලවල, බඩවැල්, උදර කුහරයෙන් පිටත ස්ථානවල පිහිටයි. බොහෝ කාන්තාවන්ට මෙම එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පැවතිය ද එය බොහෝ දුරට හඳුනා ගනු ලබන්නේ වෙනත් අවස්ථාවකදී හෝ වෙනත් පරීක්ෂණ වලදී. එසේත් නොදැනීම මෙම රෝගයට කාන්තාවන් ලක්විය හැකිය. එහෙත් රෝග ලක්ෂණ නොමැති නම් බියවිය යුතු නැත. මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට හා තහවුරු කර ගැනීමට හැකි වනුයේ වෛද්‍ය පරීක්ෂණ මඟින් පමණි. ඒ හැරුණු විට ඔසප් වීමෙදී රුධිරය පිටවීම සමඟ අධික වේදනාවක් දැනීම, අසාමාන්‍ය ලෙස දීර්ඝකාලීනව උදරයේ වේදනාවන් ආදී රෝගී ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ද සිටී. එමෙන්ම මෙහි අහිතකර දරුණු රෝග ලක්ෂණයක් වන්නේ දරුඵල ප්‍රමාද වීමයි. එම නිසා ඉහත රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත්.

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ වනුයේ සහමුලින්ම රෝගය ඉවත් කිරීම නොවේ. ඒ ඒ රෝගී ලක්ෂණයන් පාලනයට හා මැඬලීමට අදාළ ප්‍රතිකාර සිදු කිරීමයි. එනම් උදරයෙ වේදනාව, දරුඵල ප්‍රමාදයට ප්‍රතිකාර ආදී ඒ ඒ ශරීර රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කරයි.

ඉහත සඳහන් කළ ආකාරයට හෝ කිසිදු රෝග ලක්ෂණයක් නැතිනම් ප්‍රතිකාර කිරීමද අවශ්‍ය නොවන බව වෛද්‍යවරුන් වැඩි දුරටත් පෙන්වා දේ. විශේෂයෙන් ට්‍රාන්ස් පෙරල් අල්ට්‍රා සවුන්ඩ් (Trans Perl Ultrasound) ස්කෑන් පරීක්ෂණය ඔස්සේ යෝනි මාර්ගය හරහා කැමරාවක් යවා එකින් එකක් අවයව ඉතා හොඳින් පරික්ෂාවට ලක් කරලීමට හැකියාව පවතී. මීට අමතරව Cancer Antigen 125 පරීක්ෂණය ඔස්සේ කොතරම් දරුණු ලෙස රෝගය ව්‍යාප්ත වී ඇත්ද යන්න පිළිබඳ පරික්ෂා කරයි. MRI පරීක්ෂණ මඟින් ද රෝගී තත්ත්වයන් හඳුනා ගනු ලබයි. මෙම එන්ඩොමෙට්‍රියෝසිස් ගෙඩි 4cmට වඩා විශාල හෝ කුඩා හෝ වූ විට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වේ. ඊට අමතරව එවැනි විශාල ගෙඩියක් ඇති අවස්ථාවකදී ලැපරස්කොපි (Laparoscopy) ශෛල්‍යකර්මයට භාජනය කොට උදරයෙ 1cm ප්‍රමාණයෙ එක් කැපුමක්ද, 2cm ප්‍රම­ාණයෙ කැපුම් දෙකක්ද යොදා ඉතා සියුම්ව අනෙක් අවයවවලට හානි නොවන ලෙස ශෛල්‍යකර්මය ප්‍රතිකර්ම සිදු කිරීමට වගබලා ගත යුතුයි.

මේ රෝගය හඳුනා ගැනීමේ පහසුව සඳහා අදියර හතරක් ඔස්සේ රෝග විනිශ්චයන් සිදු කරයි. එහිදී රුධිර කුහරය ඇතුළත කොතරම් දුරට ගෙඩි ඇලීම් ඇති වීද යන්න විනිශ්චය කොට රෝගයේ දරුණුකම තීරණය කරයි. සහමුලින්ම එන්ඩොමෙට්‍රියෝසිස් සෛල ඉවත් කළද ශරීරයේ වෙනත් තැනක් සෛල තිබිය හැකිය. එහෙයින් නැවත නැවත ඇති වීමේ අවදානමක් පැවතියද මුල් අවස්ථාවේදී පැවති අවදානම තරම් අවදානමක් නොමැත.

මෙම රෝගය ආශ්‍රයෙන් පිළිකා ඇති වීමේ අවදානම ඉතා අඩුයි. ශරීරයේ ඕනෑම ස්ථානයක පිළිකාවක් ඇති වීමේ අවදානමක් ඇති නිසා එන්ඩොමෙට්‍රියෝසිස් හේතුවෙන්ද ගර්භාෂය ඇතුළත තිබෙන පිළිකාවකට සමාන පිළිකාවක් ඇති විය හැකිය. පිළිකා අවදානමක් තිබුණද කලාතුරකින් අයකුට පමණක් එය අසාධ්‍ය තත්ත්වයට පැමිණෙන අතර බහුතරය සුවය ලබයි. ඒ අනුව මෙම එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය සඳහා අනිසි බියක් ඇතිකර ගත යුතු නැත. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සිදු කර රෝගය ආශ්‍රයෙන් ඇතිවන ලක්ෂණයන් හා වේදනා සමනය කර ගැනීමට හැකියාව පවතී. ඔබටත් උදරය ආශ්‍රිත දීර්ඝකාලීන වේදනා ගෙනදේ නම් වෛද්‍යවරයකුට පෙන්වා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්. එමඟින් ඔබ බලාපොරොත්තු වන දරුඵල ද බාධාවකින් තොරව ළඟා කර ගැනීමට අවශ්‍ය සුවදායී වටපිටාව නිර්මාණය වේ.

 

 

 

උපදෙස් -

ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය

චාමින්ද මාතොට

Comments