භාෂා තුනෙන් ම සම්මානිත වූ ලේක්හවුස් සෞඛ්‍ය විශිෂ්ටතා සම්මානලාභියෝ | සිළුමිණ

භාෂා තුනෙන් ම සම්මානිත වූ ලේක්හවුස් සෞඛ්‍ය විශිෂ්ටතා සම්මානලාභියෝ

සිංහල මාධ්‍ය සම්මානය ආරෝග්‍යා  පුවත්පතේ කර්තෘ - ගාමිණී සුසන්ත ට

 

දෙමළ මාධ්‍ය සම්මානය -තිනකරන් පුවත්පතේ මර්ලින් මරික්කාර් ට

 

ඉංග්‍රීසි මාධ්‍ය සම්මානය - ඩේලිනිවුස් පුවත්පතේ නදීරා ගුණතිලක ට

 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ විශිෂ්ටතම සෞඛ්‍ය ජනමාධ්‍යවේදී සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 27 වැනිදා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය දැනුම දියුණු කිරීම සඳහා දායක්වය දක්වන ජනමාධ්‍ය‍ෙව්දීන් ඇගැයීම වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානය සිදුකරන අතර, මෙවර සම්මාන ප්‍රදානය සිදු වූයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යයන්ගෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍ය‍ෙව්දීන් අතරින් තෝරාගත් තිදෙනකු සඳහා පමණි. ලේක්හවුස් ඉතිහාසයේ පළමු වරම එම භාෂා මාධ්‍ය තුනට අයත් සම්මාන ත්‍රිත්වය ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය‍ෙව්දීන් තිදෙනකු විසින් දිනාගත් එකම අවස්ථාව වන්නේ මෙයයි.

 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙරට ප්‍රධානතම වෘත්තීමය වෛද්‍ය සංගමය වන අතර ආසියා-ඔස්ට්‍රේලියා කලාපයේ මුලින්ම පිහිටුවූ වෘත්තීමය වෛද්‍ය සංගමය ලෙස ද පිළිගැනීමට ලක්වේ. මෙරට ලියාපදිංචි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම සංගමයේ වර්තමාන සභාපතිත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යි. මේ, සම්මානලාභී ලේක්හවුස් මාධ්‍යවේදීන් තිදෙනා පිළිබඳ තබන කෙටි සටහනකි.

සිංහල මාධ්‍යයන් සෞඛ්‍ය ජනමාධ්‍යකරණයේ විශිෂ්ටතා සම්මානය දිනාගත් ගාමිණී සුසන්ත, ’ආරෝග්‍යා‘ පුවත්පතේ කර්තෘවරයාය. ලේක්හවුස් මාධ්‍ය‍ෙව්දියකු ලෙස වසර 33ක වෘත්තීය ජීවිතයකට හිමිකම් කියන ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවේ 1988 දී ’මිහිර‘ ළමා පුවත්පතිනි.

සිළුමිණ රසඳුන හි එවකට සංස්කාරක ව සිටි රෝහණ වෙත්තසිංහගේ ඇරයුමෙන් රසඳුනට සෞඛ්‍ය ලිපි ලිවීම ආරම්භ කළ ඔහු, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් ඒ සඳහා ලැබුණු මඟපෙන්වීම ද කෘතවේදීව සිහි කරයි. ආරෝග්‍යා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘත්වයට පත්වීමත් සමඟ දිගින් දිගටම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලිපි ලිවීමේ නිරත වූ ගාමිණී සුසන්ත,‘වකුගඩු රෝගයෙන් මිදෙමු’ කෘතියේ කතුවරයා ය.

සෞඛ්‍ය ලිපි සම්පාදනයේදී ඖෂධවේදය හැදෑරීමෙන් ලත් දැනුම ද තමාට වඩාත් ප්‍රයෝජනවත් වන බව පවසන ගාමිණී සුසන්ත, සෞඛ්‍ය ලිපි ලිවීමේදී එහි අන්තර්ගත කරුණුවල නිවැරදි භාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන බව පැවසුවේය.

ලිපි සම්පාදනයේදී ජනතාවට නිවැරදි සෞඛ්‍ය කරුණු පිළිබඳ දැනුම ලබාදීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන සහයෝගය විශේෂ ඇගයීමකට ලක් කළ ගාමිණී සුසන්ත, සෞඛ්‍ය ලිපි සම්පාදනයෙන් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟපෙන්වීමට ලැබීම සතුටක් බව කීවේය. මීට පෙර ඔහු මිහිර පුවත්පතට පරිසරය සම්බන්ධ ලිපි සැපයීම වෙනුවෙන් ‘හරිත සුරක්ෂණ’සම්මානය හිමිකර ගෙන ඇත.

මෙවර දෙමළ මාධ­්‍යයෙන් සෞඛ්‍ය ජනමාධ්‍යකරණයේ විශිෂ්ටතා සම්මානය හිමිවූයේ ‘තිනකරන්’ සහ ‘වාරමංජරී’ පුවත්පත්වල සම කර්තෘත්වය දරන මර්ලින් මරික්කාර් ටය. මීට පෙර දෙවරක් ම එම සම්මානය දිනාගෙන ඇති ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

“මුලින්ම මම මේ සම්මානය දිනාගත්තේ 2002 වසරේදී. ඊටපසු 2004-2005 වසර වෙනුවෙන් විශිෂ්ටතා සම්මානය ලැබුණා. මෙවර සම්මානය ලැබුණේ 2019-2020 වසර වෙනුවෙන්. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ජනතාවට දැනුම ලබාදීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ”

ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස මාධ්‍යකරණයට පිවිසි මර්ලින් මරික්කාර්, තිනකරන් පුවත්පතට සම්බන්ධ වන්නේ 1995 වසරේදීය. මීට වසර 26කට පෙර මෙම සම්මානයට අමතරව 2001 සහ 2002 වසරේදී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමන සම්මානය ද දිනාගෙන ඇති මර්ලින් මරික්කාර් පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔහු ලිවීමට කැමති ප්‍රියතම විෂය බවයි.

‘ඩේලි නිව්ස්’ පුවත්පතේ සම කර්තෘ මාධ්‍ය­‍ෙව්දිනී නදීරා ගුණතිලක මෙවර ඉංග්‍රීසි මාධ්‍යයෙන් සෞඛ්‍ය ජනමාධ්‍යකරණයේ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තාය. ලේක්හවුස් ආයතනයේ වසර 24ක පළපුරුද්දක් සහිත මාධ්‍ය­‍ෙව්දිනියක වන ඇය මාධ්‍ය ජීවිතයේ පළමු සම්මානය දිනා ගත්තේ 2009 වසරේදී ය. ජාතික ළමා රක්ෂක අධිකාරිය විසින් පිරිනැමූ ඒ සම්මානයට පාදක වූයේ නදීරා ගුණතිලක විසින් ළමුන් වෙනුවෙන් ලියන ලද ලිපි සහ වාර්තා ය.

2019 වසරේදී ඇය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පිරිනැමූ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මානයට ද පාත්‍ර වූවාය. ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ අවසන් වසරේ සිසුවියකව සිටියදී වාර්තාකාරිනියක ලෙස නදීරා ගුණතිලක ඩේලිනිවුස් පුවත්පතට එක්වන්නේ 1997 වසරේදීය.

වෘත්තීය මාධ්‍ය ජීවිතය ඇතුළත පාර්ලිමේන්තු සහ අධිකරණ වාර්තාකරණය ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය කළ මාධ්‍යව්දිනියක වන නදීරා ගුණතිලක මෙවැනි සම්මාන මඟින් ජනමාධ්‍යවේදීන් දිරිගැන්වීම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට සිය ස්තුතිය පළ කළාය. වෘත්තීය කටයුතු වෙනුවෙන් ලේක්හවුස් සභාපති ප්‍රමුඛ පාලනාධිකාරියෙන් ලැබෙන සහයෝගය ද මෙම සම්මානලාභී මාධ්‍ය‍ෙව්දිහු කෘතවේදීව සිහිපත් කළහ.

 

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ,

සමන්ත වීරසිරි

 

Comments