පරිසරය රැක ගන්න මුල් වුණු පරිසරවේදිනියෝ 5 ක් | සිළුමිණ

පරිසරය රැක ගන්න මුල් වුණු පරිසරවේදිනියෝ 5 ක්

පරිසරය රැක ගැනීමට ස්ත්‍රී - පුරුෂ භේදයක් නැත. එය ලොකු - කුඩා සෑම මනුෂ්‍යයකු වෙතම පැවරෙන වගකීමකි. එමෙන්ම යුතුකමකි. විටෙක එය අරගලයක් ද වේ. මේ අරගල බිමේ ඉදිරි පෙළ කතුන් ද සිටිති. ඇමසන් මහවනය රැක ගැනීම, සාගර සම්පත රැකගැනීම වැනි කවර තරමේ අභියෝගාත්මක තත්ත්වයකදී වුවද ඔවුන්ගේ දායකත්වය මෙන්ම නායකත්වය පුරෝගාමී මෙන්ම පරමාදර්ශී වූවකි. උපනූපන් පරම්පරා වෙනුවෙන් මහ මෙහෙවරක් කර ලෝක සම්භාවනාවට පාත්‍ර වූ පරිසරවේදිනියක් ‘පස්’ දෙනෙක් මෙහි දැක්වේ.

 

 

ජේන් ගුඩෝල්

(1934 )

ජේන්, ලෝකය හඳුනන්නේ ඇය චිම්පන්සියන්ට දැක්වූ ආදරය හේතුවෙනි. 1960 ජූලි මාසයේදී චිම්පන්සි විශේෂ සොයා යමින් එංගලන්තයේ සිට ටැන්සානියාව බලා ක්ෂේත්‍ර චාරිකාවේ යෙදුණු ඇය චිම්පන්සි ලෝකය පිළිබඳ රහස් රැසක්ම හෙළිදරව් කළාය. මිනිසා සහ සතුන් අතර සබඳතා ගොඩනඟා ගනිමින් ඇය අනුගමනය කළ පර්යේෂණ ක්‍රමවේදය සම්ප්‍රදායෙන් වෙනස් වූවකි. 1977දී ‘ජේන් ගුඩෝල්’ ආයතනය පිහිටුවමින් සිය පර්යේෂණ ලෝක ව්‍යාප්තව පුළුල් කිරීමට ඇය පියවර ගත්තාය. යොවුන් ප්‍රජාව වෙනුවෙන් “රූම්ස් ඇන්ඩ් ෂුට්ස්” යනුවෙන් තවත් ක්‍රියාන්විතයක් දියත් කෙරිණි. අදට ද ඈ පාරිසරික සංවේදී කාරණා පිළිබඳ ක්‍රියාත්මක වීමට යොවුන් ප්‍රජාව දිරිගන්වමින් සිය දැනුම හා අත්දැකීම් ඔවුන් සමඟ බෙදා ගනිමින් සිටී. ඉංග්‍රීසි ජාතිකයකු වන ඇය, 87 හැවිරිදිය.

 

වන්ගාරි මාතායි

(1940-2011)

“හරිත තීරය ව්‍යාපාරයේ” නිර්මාතෘවරිය ඇයයි. ඉඩම් සංරක්ෂණය සහ කාන්තා අයිතීන් වෙනුවෙන් ඇයගේ කැපවීම හා දායකත්වය වඩාත් යොමුවූයේ ඇගේ නිජබිම වන කෙන්යාව දෙසටයි. එහිදී ඒ භූමිකාව ලෝක නායකයන්ගේ අගැයීමට පාත්‍ර විය. 2004 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගයෙන් ඇය පුදනු ලැබ‍ුවේ තිරසර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය වෙනුවෙන් ඇයගේ මෙහෙවර අගය කරමිනි. අප්‍රිකානු කතක් මේ ත්‍යාගයෙන් පිදුම් ලද පළමු අවස්ථාව ද මෙයයි.

කෙන්යානු ජාතිකයෙක් වන ඇය ජීව විද්‍යාඥවරියකි. වඩාත් ප්‍රචලිත වූයේ, Women of th Trees යනුවෙනි. වනාන්තර විනාශයට එරෙහිව, කාන්තාරකරණයට එරෙහිව හා ජල අර්බුදය ගැනද ග්‍රාමීය දිළිඳු බව ගැනද ඇය නැඟූ හඬ මෙන්ම “හරිත තීරය” ඔස්සේ දියත් කළ වැඩපිළිවෙළ පුළුල්ය.

 

රැචල් තාර්සන්

(1907-1964)

ඩී.ඩී.ටී. ද ඇතුළු කෘමිනාශක වර්ග භාවිතයේ ආදීනව සහ රසායනික කර්මාන්ත පිළිබඳ වැරැදි තොරතුරු හෙළිදරව් කරමින් ඇය රචනා කළ Silent Spring කෘතිය ලෝ පතළය. පරිසර විප්ලවය ඇරැඹුවේ මේ කෘතිය බව පිළිගැනීමය. ස්වභාවික ලෝකය මත එල්ල වී ඇති අහිතකර මිනිස් බලපෑම් මේ කෘතියේ සමස්ත තේමාව ලෙස සැලකිය හැකිය. ඇමෙරිකාවේ නික්සන් පාලනය සමයේ පරිසර ආරක්ෂණ කාර්යාංශයක් ස්ථාපිත කරමින් පරිසරයට එරෙහි මිනිස් බලපෑම් පිළිබඳ ඇය සංවාදයක් ඇරැඹුවාය.

‘මිහිතල දිනය’ සැමරෙන්නේ ද ඇමෙරිකානු පරිසර ආරක්ෂක කාර්යාංශය (EPA) ස්ථාපිත කෙරෙන්නේ ද ඇයට ස්තූති වන්නටය. රැචල් ඇමෙරිකානු ජාතිකයෙකි.

 

වන්දනා ශිවා

(1952)

මේ සුප්‍රකට ඉන්දියානු පරිසරවේදිනිය සිය ජීවිත කාලයෙන් වැඩි කොටස මෙතෙක් කැපකර ඇත්තේ ජෛව විවිධත්වය රැකගැනීම වෙනුවෙනි. වර්ෂ 1991දී ඇය Navdanya පර්යේෂණායතනය ස්ථාපිත කළේ, දේශීය බීජ වර්ගවල විවිධත්වය සහ පූර්ණත්වය රැකගැනීමත්, සාධාරණ ‍වෙළෙඳාමත් අරමුණු කරමිනි. වර්තමාන යුගයේ බො‍හෝ තීරණාත්මක පාරිසරික ගැටලු මෙන්ම සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇය කැපවී සිටී.

දේශගුණික විපර්යාස පාලනය සහ එම බලපෑම් අවම කර ගැනීම සහ අයුක්තිය, අසාධාරණ, යුද ගැටුම් සහ කුසගින්නට එරෙහිව ඇය ක්‍රියා කරමින් ඇත. ඇය, කාන්තා පරිසර සහ සංවර්ධන සංවිධානයේ (WEDO) නිර්මාතෘවරියක ද වේ.

ඇය රචනා කර ඇති කෘතීන් ප්‍රමාණය 20කට අධිකය. වන්දනා ශිවා, “Gandhi of Grain” යනුවෙන් ද සුපතළය. ඇය, ගෝලීයකරණ විරෝධියෙක් ලෙස ද හඳුනාගෙන ඇත.

 

මරීනා සිල්වා

(1958)

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය රැක ගැනීම වෙනුවෙන් නිර්භීතව සටන් කළ පරිසරවේදිනියකි. ඇය, වැසි වනාන්තර රැක ගැනීම වෙනුවෙන් හඬනැඟූ, කැපවූ චිකෝ මෙන්ඩස්ගේ සගයෙකි. චිකෝ 1988 දී ඝාතනය කෙරිණි. රජයේ පාලනයෙන් වැසි වනාන්තර රැක ගැනීම සඳහා ඇය, චිකෝ ද සමඟ එක්ව 1980 ගණන්වලදී දියත් කළ විරෝධතා ව්‍යාපාරය ද අවධානයට ලක්වේ. චිකෝ ඝාතනයවූ පසුව, මරීනා දේශපාලනයට අවතීර්ණ වූවාය. ඇය සක්‍රීයව කටයුතු කළ ක්ෂේත්‍ර වූයේ, පරිසර ආරක්ෂාව, තිරසර සංවර්ධනය හා සමාජ යුක්තියයි. ඇය දේශපාලනයෙන් සක්‍රීයව නියැළී සිටි 2004 - 2007 කාල සීමාව ඇතුළත වන විනාශය 59%කින් අඩුවී තිබේ.

 

Comments