පණ්ඩිත් අමරදේවයන් ගැන පුතු රංජනගේ මතකාවර්ජනය | සිළුමිණ

පණ්ඩිත් අමරදේවයන් ගැන පුතු රංජනගේ මතකාවර්ජනය

තාත්තා හැම වෙලාවකම කිව්වේ කිය කිය ඉඳල වැඩක් නැහැ; කරල පෙන්නන එක තමයි හරිදේ කියලා

 

තාත්තා අපිව සතුටින් තියන්න තමයි හැමදේම කළේ. තාත්තා සුන්දර මනුස්සයෙක් වගේම හරිම ආදරණීය පියෙක්

 

පණ්ඩිත් අමරදේවයන්ගේ 94 වැනි ජන්ම දිනය වෙනුවෙන් අමරදේවයන්ගේ පුත් රංජන අමරදේව සමඟ සිළුමිණ-රසඳුන කළ කතාබහකි.

 

පණ්ඩිත් අමරදේවයන් පියකු ලෙස රංජනට දැනුණේ කොහොමද?

මට මතකයි හැත්තෑව මුල වගේ තාත්තා විදෙස් සංචාරවලට යනවා. ඒ ගිහින් එයා ඉන්න ස්ථානයේ විශේෂත්වය ගැන ඡයාරූපයක්; සිතුවමක් තියෙන පොස්ට් කාඩ් අරන් අපිට එවනවා. ඒ කාඩ් එකේ එයා කවියක් හරි ඉන්න තැන ගැන විස්තරයක් හරි ලියලා එවනවා. ඒක තාත්තා බොහෝ අවස්ථාවල නොවරදවාම කරපු දෙයක්. අක්කල දෙන්නයි මායි හරිම ආසයි ඒ කාඩ්ස්වලට. ඒ එවන කාඩ් එකතු කරන පුරුද්දකුත් ඇති වුණා. ඒ වගේම එහෙම ගිහින් එනකොට ටොෆි චොකලට්වලට අමතරව පුංචි පුංචි සෙල්ලම් බඩු; පොඩි අය ආස හිතෙන දේවල් තාත්තා අරන් එනවා. ඒ කාලේ අපිට තාත්තව දැනුණේ සමහර සුරංගනා කතාවල පොඩි අයට එක එක දේවල් මවල දෙන කෙනෙක්වගේ. ඒවයින් අපි හරියට සප්‍රයිස් වුණා. එයා ට්‍රිප් ගියේ අපිත් එක්ක, විශේෂ වැඩකට එළියට ගියේ නැත්තම් තාත්තා හිටියේ අපි එක්කමයි. එයාගේ ලෝකය ගෙදර තිබුණේ. තාත්තා අපිව සතුටින් තියන්න තමයි හැමදේම කළේ. තාත්තා සුන්දර මනුස්සයෙක් වගේම හරිම ආදරණීය පියෙක්.

 

අධ්‍යාපන කටුයුතුවලදි තාත්තා මොන විදියටද සම්බන්ධ වුණේ?

අධ්‍යාපනික පැත්ත සම්පූර්ණයෙන්ම බලා ගත්තේ අම්මා. තාත්තා තමයි අපිව පාසල් එක්ක ගියේ අරන් ආවේ. සමහර අවස්ථාවල වාහනය මඟදි කැඩුණම අපිවත් අරන් ගැරැජ් එකකට යන්න විදියක් නැතිව බලන් ඉද්දි; කවුරු හරි තාත්තව අඳුරගෙන ඇවිත් අපිව තාත්තගෙන් ඉල්ලගෙන ගෙදරට ඇරලනවා. සමහර ස්කූල් හයර් කරන වෑන් පවා අපිව දාගෙන ඇවිත් ගෙදරට ඇරලනවා. අද වගේ තාත්තට බයක් නෑ අපිව එහෙම යවන්න. ඒ අය අපිව ගෙදර එක්ක යන බව තාත්තට විශ්වාසයි. ඒවයින් මිනිස්සු කොච්චර තාත්තට සලකනවද කියල අපිට දැනුණා.

 

සීයා ආච්චි ගැන තාත්තා කතා කරනවද?

ඔව් අපිව ළඟට අරන් තාත්තා එයාල ගැන කියනවා. තාත්තා හරිම ආදරෙයි ඒ දෙන්නට. විශේෂයෙන් තාත්තා එයාගේ අම්මට හරිම ආදරෙයි. ආච්චි හරිම නිශ්ශබ්ද කෙනෙක්. කොරල වැල්ලේ ගෙවල් කිට්ටුුවම තිබුණු ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලට තමයි තාත්තා මුලින්ම ගිහින් තියෙන්නේ. ආච්චි අග්ගල ගුලියක් හදාගෙන කහට එකකුත් වක්කරගෙන විවේකය වෙලාවට පාසලේ ගෙට්ටුව ළඟට ගිහින් තාත්තට දෙනවලු.

ආච්චි අසනීප වෙලා රෝහලේ ඉන්දෙද්දි තමයි රන්මුතුදූව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ “පාරමිතා බල පූරිත පූජිත ‍බුද්ධ දිවාකරයාණෝ” ගීතයට සංගීතය නිර්මාණය කරන්න තාත්තට අවස්ථාව ලැබී තිබෙන්නේ. ආච්චිගෙන් ලැබුණු කරුණාව සෙනෙහස වගේම ආච්චි ගැන තාත්තට තිබුණු ආදරය ඒ ගීතයේ සංගීතයට බල පෑ බව තාත්තා කියනවා.

අපේ සීයා වඩුබාස් කෙනෙක්, එයා ඒකාලේ ඒ ප්‍රදේශයේ හිටිය එකම වයලින් අලුත්වැඩියා කරන්නා. හදන්න ගෙනාපු වයලින් නිතර ගෙදර තිබිලා තියෙනවා. ඒවා අතපත ගාන්න තාත්තා හරිම ආසයිලු. සීයත් ඒ වැඩවලට තාත්තව එකතු කරගෙන තියෙනවා. ඒවා එක්ක ඉද්දි තාත්තට වයලීන් එකත් එක්ක ලොකු බැඳීමක් ඇති වී තිබෙනවා. සීයා ඒවා හදලා ටෙස්ට් කරන්න ඉයර් එකට වාදනය කරනවලු. ඒවා අහන් ඉද්දි තාත්තට තවත් ඒ ගැන ආස හිතිලා තියෙනවා. කොහොම හරි පස්සෙ කාලේ සංගීතය වැඩිදුර ඉගෙන ගන්න තාත්තා ඉන්දියාවට ගිහින් ඉද්දි තමයි සීයා නැතිවෙලා තියෙන්නේ.

 

තාත්තගෙ සංගීත දිවියේ ආරම්භය ගැන සිහිපත් කළොත්,

තාත්තගේ සංගීත ආරම්භය සිද්ධ වෙන්නේ ගෙදරින්. සියගේ වයලීන් වාදනය වගේම තාත්තගේ ලොකු අයියා වුණු චාර්ල්ස් පෙරේරා අපේ ලොකු මහප්පා එයා ක්‍රමවත්ව සංගීතය ඉගෙනගෙන තියෙනවා. මහප්පා තාත්තට වයලින් වාදනය කරන්න උගන්නල තියෙනවා. අයියා කියල දෙන දේ ඉතා සුළු කාලයකින් මල්ලි අල්ලගෙන තියෙනවා. පස්සේ පාසල් තරගවලට ඉදිරිපත් වී තාත්තා බොහෝ ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. සංගීතය බාර ගුරුවරයා පන්තිය පවා තාත්තට බාරදී තිබෙනවා. පස්සේ එම ගුරුවරයා පාසල හැර යද්දී තාත්තව පාසලේ සංගීත ගුරුවරයා ලෙස බඳවා ගැනීමට කටයුතු සලසා දී තිබෙනවා. එහෙම ගිහින් තාත්තා මුලින්ම වයලීන් වාදකයකු හැටියට ප්‍රසිද්ධ වී තිබෙනවා. සුනිල් සාන්තයන් තාත්තව හඳුන ගන්නේ මේ කාලයේ. සුනිල් සාන්තයන් ඔහුගේ ගීතවලට වයලීන් වාදනය කරන්න තාත්තව ගෙදරට ඇවිත් එක්කන් ගිහින් තිබෙනවා. ඔහුගේ ගීතවල වයලීන් වාදකයා තාත්තා. මොහෙමඩ් ගවුස් මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එකට තාත්තට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවෙන්නේ මේ සම්බන්ධයේ නිසයි. ගවුස් මාස්ටර්ගේ සම්බන්ධය ප්‍රතිඵලයක් විදියට තමයි තාත්තා සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යන්නේ. එහිදී පණ්ඩිත් විෂ්ණු ගොවින්ද ගෝෂි යටතේ වසර පහක් වයලින් වාදනය සහ ගායනය හදාරනවා. පසුව ලංකාවට ඇවිත් ගුවන්විදුලිය සමඟ සම්බන්ධවී තිබෙනවා.

 

පණ්ඩිත් අමරදේවයන් ජනනාද මාලා, ජන ගායනා ගැන විශාල උනන්දුවකින් පර්යේෂණ කළ කෙනෙක්. ඒ පිළිබඳව ඔබේ අත්දැකීම කෙබඳුද?

ඔව්, තාත්තගෙ නිර්මාණ ම තමයි පර්යේෂණ. එයා බොහොම ප්‍රායෝගිකව වැඩ කළ කෙනෙක්. තියරිවලට වඩා ඔහු තැනක් දුන්නේ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් මඟින් ලැබෙන සංවේදනාවන්ට. එයා හැම වෙලාවකම කිව්වේ "කිය කිය ඉඳල වැඩක් නැහැ; කරල පෙන්නන එක තමයි හරිදේ" කියල. ඒ නිසා තාත්ත කළ හැම නිර්මාණයක් ම පර්යේෂණාත්මකයි. ඒවා රසිකයන් මේ දක්වා වැලඳ ගෙන තිබීමෙන් ම ඒවා කොයි තරම් සාර්ථක වූණා ද කියා වැටහෙනවා.

 

Comments