නිවේදන වෘත්තියේදී කුමන අභියෝග ආවත් සිහිය පිහිටුවා ගනිමින් කටයුතු කළ යුතුයි | සිළුමිණ

නිවේදන වෘත්තියේදී කුමන අභියෝග ආවත් සිහිය පිහිටුවා ගනිමින් කටයුතු කළ යුතුයි

නව්‍යකරණ පිළිබඳව යාවත්කාලීන වීමත් නිරන්තරයෙන් පොත්පත් කියවා දැනුම්වත්වීමත් වැදගත්

නිවේදිකාවකට හෝ නිවේදකයකුට අවශ්‍යම ගුණාංගයක්තමයි ඉවසීම

 

කට ඇති පුතෙක් සහ රුව ඇති දුවක් සිටින නිවස වාසනාවන්ත යැයි සමාජයේ මුල් බැසගත් කතාවක් තිබේ.එම කියමන වෙනස් කරමින් රුව සහ කට සමඟ හැකියාව ද නොඅඩුව පිහිටි දියණියක සිටින නිවස කෙතරම් සුන්දර ද. කුරුලු කූජනය සපිරි අසිරිමත් උදෑසන සහෘදය සිත් ප්‍රබෝධවත් කරමින් ගුවන හරහා ළයාන්විතව අමතන කෙවිලිය ඇයයි. අද සිළුමිණ - රසඳුන සමඟ එක් වූ ඇය සිරස Fm විධායක නිවේදිකා සමන්තී එදිරිසිංහයි.

 

මට බොහෝ දෙනෙක් සමන්ති කිව්වට මගෙ නම සමන්තී. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. අම්ම , අයිය සහ අක්කල දෙන්නෙක් තමයි මගෙ පවුලෙ ඉන්නේ..

පවුලේ බඩපිස්සිය වන සමන්තී ඇගේ පාසල් කාලය පිළිබඳව මතකය මෙලෙස ආවර්ජනය කළා.

මම ඉපදුණේ කෝට්ටේ. පාසල් ගියේ

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයට. දෙක වසරෙ ඉගෙනගන්න කාලෙ ඉඳලම මම සංගීතය හැදෑරුවා. මාරසිංහ කියන ගුරුතුමිය තමයි මුලින්ම මට ගායන හැකියාවක් තියෙනව කියල හඳුන ගත්තේ. ඒ කාලෙ මං වැඩිපුරම ගායනා කරපු ගීතය තමයි පේළි පේළි පේළි සැදී...පාසල් කාලෙ කුමාරි නවරත්න කියන ගුරුවරියගෙන් මම වයලින් , කීබෝඩ් වාදනය සහ ගායනය හැදෑරුවා.

සංගීතයට දැඩි ඇල්මකින් කටයුතු කළ සමන්තීට නිවේදනය පිළිබඳ උනන්දුවක් ඇතිවුණේ පාසලේ පොත් ශබ්ද නඟා කියවීම හේතුවෙනුයි.

පාසලේ කලා උළෙලේ දී නිවේදන තරගයක් තිබුණා. මම ස්කෝලෙ පොත් කියවන්න ආස නිසා නිවේදන අංශයේ තරගයට සහභාගි වෙලා ජයග්‍රහණ ලබා ගත්තා. ඒ කාලෙ පාසලේදි වගේම කෝට්ටේ මැලිබන් ආරාම දහම් පාසලේ ශිෂ්‍ය නායක තනතුරු දරන අතරතුර විවාද තරග වලටත් සහභාගී වෙන්න මට පුළුවන් වුණා.

උසස් පෙළින් අනතුරුව එඩ්වින් ආරියදාසයන් යටතේ මාධ්‍යය පිළිබඳ පාඨමාලාවක් හැදෑරූ ඇගේ වෘත්තීමය මාධ්‍ය ජීවිතය ආරම්භ වන්නේ 2000 වසරේ දී හිරු නාළිකාවට සම්බන්ධ වීමත් සමඟයි.

හිරු fm එකේ දි ගුවන් විදුලි මාධ්‍යය ගැන ප්‍රායෝගික අධ්‍යාපනය ලබන්න මට පුළුවන් වුණා. හිරු අබියස වැඩසටහන ජනප්‍රියව තිබුණ කාලේ ශ්‍රී fm ප්‍රධානී මහේන් පෙරේරා කළ ආරාධනාවකට අනුව මම ශ්‍රී fm එකට සම්බන්ධ වුණා.එහි දීත් විවිධ වැඩසටහන් පර්යේෂණ තුළින් ලබාගත් දැනුම මේ ගමනට අඩිතාලමක්.සිරස රේඩියෝවට මම සම්බන්ධ වුණේ 2007 අවුරුද්දෙදි.ඒ එවක නාළිකා ප්‍රධානී එස් එම් මරික්කාර් ලබා දුන් අවස්ථාව අනුවයි. එතැන් සිට මේ දක්වා වසර පහළොවක් මම මහරාජා ආයතනයේ සේවය කරනවා.

සුදක්ෂ සන්නිවේදිකාවක් වීමට අත්‍යවශ්‍ය දෑ අතර ඉවසීම ප්‍රගුණ කිරීම ඉතා වැදගත් බව ඇගේ අදහසයි.

නිවේදිකාවකට හෝ නිවේදකයකුට අවශ්‍යම ගුණාංගයක් තමයි ඉවසීම. නිවේදන වෘත්තියේදී කුමන අභියෝග ආවත් සිහිය පිහිටුවා ගනිමින් කටයුතු කළ යුතුයි. ඒ වගේම නව්‍යකරණ පිළිබඳව යාවත්කාලීන වීමත් නිරන්තරයෙන් පොත් පත් කියවා දැනුම්වත් වීමත් වැදගත් වෙනවා. පෙර සූදානමක් සහිතව ඉන්නව නම් ඔහුට හෝ ඇයට නිදහස් මනසකින් වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන්. ශ්‍රාවක මනසට නැවුම් අදහස් මතු වෙන්නෙත් වැඩසටහන සාර්ථක වෙන්නෙත් මේ හැමදේම සංයෝජනය වූ විටයි.

නිවේදකයා ශ්‍රාවකයාට වඩා ඉහළින් සිටිය යුතුයි කියන පැරණි මතවාදය ගැන සමන්තී දරන්නේ මොන වගේ අදහසක් ද කියලත් අපි ඇගෙන් විමසුවා.

ඒ අදහස පැති දෙකකින් හිතන්න පුළුවන්. 'අපි තමයි වැඩ්ඩෝ ' කියන අදහස නොගෙන නිවේදක වෘත්තිය තුළ ඉන්න කෙනෙක් සියල්ල පිළිබඳව දැනුම්වත් විය යුතුයි කියන දේයි මම මෙතනදි දකින්නෙ. කොහොම වුණත් තාක්ෂණ ලෝකයේ සිටින අපි ප්‍රවීණයන් අත්දැකීම් ඇසුරෙන් මතු කළ අදහස් එක හෙලා බැහැර කරගත යුතු නැහැ.

ඇය දක්වන අදහස් සමඟ මට මතකයට නැඟුණේ ඇය ඉදිරිපත් කරන ' සණරාමර සෙවණ ' වැඩසටහනයි.

මගේ මාධ්‍ය ජීවිතය තුළ මං තියපු හැම පියවරකින්ම අලුත් දෙයක් ඉගෙන ගත්තා. සණරාමර සෙවණ මගේ අදහසක් ලෙස හත් වතාවක් ප්‍රතික්ෂේප වුණත් අභියෝග මැද ආරම්භ කළාට පසුව දෙස් විදෙස් ශ්‍රාවක ප්‍රතිචාර මැද මේ වනවිට විකාශනය ගේනවා. එය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයයක් වුණා. දැනුම සහ විනෝදාස්වාදය වගේම ඒ හා සමානව රේඩියෝවෙන් සමාජයට ඉතාම වටින යෝජනා දෙන්න පුළුවන් කියල ඔප්පු කරන්න අපිට පුළුවන් වුණා.

කාන්තාවක් විදියට තමන්ගෙ සීමාව දැනගෙන සිටීම තුළ ඕනෑම තැනක ගෞරවනීය ලෙස ජීවත් විය හැකි බව ඇය විශ්වාස කරනවා.

අපි ජීවත් වෙන්නෙ පුරුෂ මූලික සමාජයක. බොහෝ තැන් වල ඔවුන් ඉදිරියෙන් ඉන්නවා වුණත් කාන්තාවන් වන අපටත් නිසි තැන ලැබිල තියෙනවා. මේ දෙපාර්ශ්වයම නිසි අවබෝධයක් ඇතිව තමන්ගේ කාර්යය නිවැරදිව තම සීමාවේ සිට කිරීම වැදගත්.

එලෙස තම අත්දැකීම් බෙදාගන්නා අතරතුර ඇගේ පුංචි පවුල පිළිබඳව විමසන්නටත් අප අමතක කළේ නැහැ.

මගෙ සැමියා හරීන්ද්‍ර උයනගේ. ඔහු වෙ‍ෙළඳ දැන්වීම් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් ලෙස රැකියාව කරනවා. අපි බොහොම සහයෝගයෙන් සහ සතුටින් මගෙ පුංචි පුතා ධනිර සමඟ ජීවත් වෙනවා.

මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ දී ප්‍රශස්ත උදා වැඩසටහන වෙනුවෙන් සම්මාන ලැබුවේ ඉරෝෂන් මෙන්ඩිස් සමඟ සමන්තී එදිරිසිංහ ඉදිරිපත් කරන සමනල සිරස වැඩසටහනයි.

මම දැන් සමනල සිරස කණ්ඩායම සමඟ වැඩසටහනට දායක වෙන්න පටන් අරන් අවුරුදු හතරක් වෙනවා. පුංචි දරුවන් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්. මහරාජා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති නැසීගිය රාජ මහේන්ද්‍රන්ව ගෞරවයෙන් සිහිපත් කරනවා.ඒ වගේම සිරස fm නාළිකා ප්‍රධානී සජිත් රත්නායක සහ සංගීත අධ්‍යක්ෂක නිහාල් වික්‍රම එදිරිසූරියවත් මතක් කරනවා.

Comments