දහඩිය දුඟඳ නැති කරගන්නේ මෙහෙමයි | සිළුමිණ

දහඩිය දුඟඳ නැති කරගන්නේ මෙහෙමයි

දහඩිය දුඟද ඇතිවෙන්නේ බැක්ටීරියාක්‍රියාකාරීත්වය නිසයි

ශේවින් කිරීම නිසා  අත් යට කිහිලි  කළු වෙන්න පුළුවන්;  හොඳ ම දේ  වැක්ස් කිරීමයි

 

දහඩිය දැමීම සාමාන්‍ය කරුණක් වුවත් ඔබේ ශරීරයේ අසාමාන්‍ය ලෙස දහඩිය පිටවී දුගඳ හමනවා නම් අපි ඒ ගැන වඩාත්ම සැලකිලිමත් විය යුතුය. ඔබට ඔබගේ දහඩිය දුඟද ප්‍රශ්නයක් නැතිවුවත් ඔබ අසල සිටින්නන්ට එය බොහෝ පීඩාකාරී ගැටලුවක් විය හැකිය. මෙවැනි තත්ත්වයක් ඔබට ඇති වන්නෙ ඇයි? අද රසඳුන රූ රහස් ඔබව දැනුම්වත් කරන්නෙ ඒ පිළිබඳවයි. ඒ සඳහා පසුගිය කලාපවල සේම මෙවරත් ඔබව දැනුම්වත් කරන්නෙ ඩුබායි නෙදර්ලන්තය සිංගප්පුරුවෙහි සහ මාලදිවයිනෙහිද එසේම ශ්‍රී ලංකාවෙහිද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.

 

අත්යට ප්‍රදේශයට දහඩිය දැමීම බොහෝ අයට තිබෙන ප්‍රශ්නයක්. ඒ වගේම අත්යට කළු වීම සමහර කාන්තාවන්ට මානසික ප්‍රශ්නයක්. දහඩිය ගඳ ඇතිවීම අත්යට කළු වීම වගේ මෙවැනි ගැටලුවලට කුමක්ද කළ හැකි විසඳුම යනුවෙන් අපි විමසා බලමු.

අපේ අත්යට තිබෙන්නේ ඉතාම සංවේදී වගේම සියුම් සමක්. අපි කරන කුඩා දෙයකින් එනම් නියපොත්තක් වැදීමෙන් වුවත් ඒ සමට අනතුරු වෙන්නට පුළුවන්. ඒ සමට අනතුරු වුණ පසු ඉක්මනින්ම අවපැහැ ගැන්වීමට ලක්වනු ලබනවා. ඒ අවපැහැ ගැන්වුණු සමක් නැවත යථා තත්ත්වයට පත්වීමට බොහෝ කලක් යන බව ඔබ දන්නවා. ඒ වගේම එය අමාරු දෙයක්. අවපැහැ ගැන්වෙනවා වගේ වේගයෙන් එය යථා තත්ත්වයට පත්වෙන්නෙ නැහැ. වැඩිවියට පත්වීමත් සමඟ අත් යට දහඩිය දැමීම වගේම දහඩිය ගඳ ඇතිවීමත් වැඩි වශයෙන් සිදු වෙනවා. එයට හේතුව අපගේ ශරීරයේ ඇතිවන විවිධ හෝමෝන තත්ත්වයන් නිසයි. මෙය අපේ ශරීරයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසා අත්‍ යට තිබෙන ග්‍රන්ථි මඟින් අත් යට තිබෙන කුඩා සිදුරු හරහා තමයි දහඩිය තැන්පත් වීම සිදුවනු ලබන්නේ.සම මත තිබෙන විවිධ බැක්ටීරියා මඟින් දහඩිය බොහෝ වෙලා සම මත රැඳී තිබෙන විට දහඩිය ගඳ ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.

දහඩිය ගඳ නැතිකර ගැනීමට පිරිසිදුකම ඉතාමත්ම වැදගත්. පිරිසිදුව ඉන්නා තරමට දහඩිය ගඳ අඩුය. ඒ වගේම අප අඳින ඇඳුම් පැලදුම් ගත්කල හැකි තරම් කපු රෙදි හෝ ලිනන් රෙදිවලින් නිමකළ ඇඳුම් අදින්න. දහඩිය උරන්නෙ නැති රෙදි ඇන්දහම දහඩිය පිටවීමක් සිදුවන්නෙ නැහැ. ඒ වගේම දහඩිය ගඳ නැති කිරීම සඳහා බොහෝ දෙනෙක් කිසියම් ආලේපනයක් අත්‍ යට භාවිත කරනවා. මෙහි ප්‍රධාන දේවල් තුනක් තිබේ.

 

දහඩිය දැමීම අවම කරයි.

බැක්ටීරියා එකින් එක ක්‍රියා කිරීම අඩු කරයි.

 

බොහෝ වෙලාවට කිහිලි ප්‍රදේශය කළුවීමට ප්‍රධානම හේතුව තමයි අප අාලේප කරන විවිධ ආලේපන. අපි ආලේපනයක් භාවිත කරන විට අපට තේරෙනව නම් අත් යට ප්‍රදේශය අවපැහැ ගැන්වෙනවා වැඩි කියලා අපි එය ඉක්මනින්ම නතර කළ යුතුයි. ඒ වගේම සමහර අයට මේ ආලේපන භාවිත කරන විට විවිධ ආසාත්මිකතා ඇති වෙනවා. එසේ අසාත්මිකතා ඇතිවුවහොත් අප එය භාවිත කරන එක නතර කළ යුතුය. ඒ වගේම ඒ අසාත්මිකතා වෙනුවෙන් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගත යුතුය. එම අසාත්මිකතාව සම්පූර්ණයෙන් සුව වනතුරු කිසිම ආලේපනයක් භාවිත නොකරන්න. මක්නිසාද යත් එම ආලේපන තුළින් ඉක්මනින් නැවතත් අසාත්මිකතා ඇතිවිය හැකි බැවින් ය.

ඒ වගේම විවිධ පර්ෆියුම් වර්ග විවිධ ක්ලොන් වර්ගත් අපි භාවිත කරනවා. එහිත් විවිධ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ය. ඒවායෙන්ද සම අවපැහැ ගැන්වීම් සිදුවෙනු ලබයි. සමහර අයගේ අත්‍ යට ප්‍රදේශවල රෑෂ් එකක් වගෙත් හට ගැනීමේ ඉඩකඩ වැඩිය. හේතුව දීලිර සමට දහඩිය ක්‍රියා කිරීමයි.

බොහෝ දෙනකු අත් යට රෝම ඉවත් කර ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේද නිසාත් අත් යට කළුවීම් දැකගත හැකිය. බොහෝවිට සියලු දෙනාම භාවිත කරනු ලබන්නෙ ශේවින් ක්‍රමයයි. එයින් සමට අනතුරු වන ප්‍රමාණය වැඩිය. එය දිගටම සිදුවන විටත් අවපැහැ ගැන්වීම වැඩිය. හේතුව රේසරයේ තිබෙන ලෝහ නිසාවෙනි. ගොඩක් අයට පහසුම ක්‍රමය ශේවින් ක්‍රමයයි. ඒ නිසා ශේවින් ක්‍රමය භාවිත කිරිමේදි ශේවින් ක්‍රිම් එකක් භාවිත කරන්න. ඒ වගේම එකම පැත්තකට ශේවින් කිරීමට පුරුදු වන්න. සමහර අය හැම පැත්තටම ශෙවින් කිරීම නිසා සම ඇදීමකට ලක්වනු ලබනවා. එවිටත් සමෙහි කළුවීමක් සිදු වෙනවා. ශේවින් කර පසුව මොයිස්චරයිසින් ක්‍රීම් එකක් හෝ සුදු පොල්තෙල් කිහිල්ල යට ආලේප කරන්න.මේ මඟිනුත් ඔබට තේරෙනවානම් අවපැහැ ගැන්වෙනවා කියා මෙයත් නතර කරන්න.ශෙවීන් ක්‍රමයට වඩා හොඳ ම ක්‍රමය වැක්ස් කිරීමයි. ඒ සඳහා රූපලාවණ්‍යාගාරයකට යන්න. එය ඔබට තනිවම කර ගැනීමට අපහසුයි. වැක්ස් එකක් කර ගැනීමේ වාසිය එය නිතරම කිරීමට අවශ්‍ය නැහැ. ශේවින් කිරීම දිනපතා කළ යුතු නිසාවෙන්.

ඊළඟට ශරීරයේ අධික මහත සහ දියවැඩියාව නිසාද අත් යට කළුවීම සිදුවෙනු ලබනවා. එය නැති කිරීමට අපට කළ හැකි ප්‍රතිකර්ම ලෙස,

මුහුණට පේෂල් කරන විට එයම කිහිලි වලට භාවිත කළ හැකියි. එයත් දවස් විසි අටකට සැරයක් කළ යුතුය.

එසේම මුහුණට භාවිත කරන පැක් එකක්ද මෙම කළු වුණ ප්‍රදේශ සඳහා භාවිත කළ හැකියි. මෙම ක්‍රමය මඟින් දවසින් දෙකෙන් හොඳ වේ යැයි බලාපොරොත්තු වන්න එපා. කලක් යනවිට තමයි ඔබට ප්‍රතිඵල ලැබෙන්නෙ.

ඒ වගේම අත් යට දෙහි ලෙල්ලක් ආලේප කිරීමෙන් දහඩිය දුගඳ නැතිකර ගත හැකිය. නැතිනම් අනිවාර්යෙන් වෛද්‍යවරයකු මුණ ගැසෙන්න.

වෙ‍ෙළඳපළෙහි තිබෙන විවිධ ආලේපන භාවිතා කිරීමෙන් වළකින්න.හේතුව එහි බ්ලිචින් අඩංගු නිසාවෙන්. එයින් සමට තවත් හානි සිදුවෙනු ලබයි. වෛද්‍යවරයකුගේ අනුමැතිය ලැබුණු ක්‍රීම් එකක් භාවිත කරන්න. ඔබ වෛද්‍යවරයකු මුණ ගැසෙනවා නම් චර්ම රෝග වෛද්‍යවරයකු මුණ ගැසෙන්න.

Comments