ගු වන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියෝ | සිළුමිණ

ගු වන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියෝ

දශක නවයක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය විද්යුත් සන්නිවේදනයේ ගුවන්විදුලි මාධ්‍ය නියුක්තියන් රාජ්‍ය මට්ටමින් සම්මානිත කරවූ 2021 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල දී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්,හොඳම ගුවන් විදුලි වැඩසටහන්, ගුවන් විදුලි නාට්‍ය, ගුවන් විදුලි ශබ්ද තාක්ෂණය හා ප්‍රචාරණය, ස්වර්ණ සංකථන සම්මාන යන තරග අංශ යටතේ, මාධ්‍යවේදීන් හා කලාකරුවන් 37 දෙනෙකු සම්මාන ලැබුවා.‍ එලෙස සම්මාන ලැබූවන් කිහිපදෙනකු රසඳුන ට සම්බන්ධ කර ගත්තා.

 

මෙවර රාජ්‍ය සම්මානය හිමි වුණේ සිවුවැනි වතාවට වජිර ඉන්දික - ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ඒකකයේ පාලක ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්තම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය

මෙවර රාජ්‍ය සම්මානය හිමි වුණේ සිවුවැනි වතාවට. මීට පෙර 2017 ,2019,2020 වසරවල රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලයන් තුළ අඛණ්ඩව සම්මාන ලැබුණා. ඒ වගේම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන ඇරඹෙන්නට පෙර ජනාධිපති සම්මානය 1995 දී, උන්ඩා සම්මාන 1996,1997 වසරවලදීත්, චීනයේ ගුවන්විදුලි සම්මාන උළෙල 1998 වසරේත් ගුවන් විදුලි නාට්‍ය සඳහා සම්මාන ලබා ගැනීමට මට හැකි වුණා. ඒ නිසා මෙවර සම්මානය මට ලැබුණු අටවෙනි සම්මානය.

මම මේ සම්මාන ඇගයුම් දකින්නේ ලොකු ධෛර්යක් විදියට. ඒ නිසා සංස්කෘතික දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙන්න ඕනේ ගුවන් විදුලි ශිල්පින් ඇඟයීමට පත් කිරීම ගැන. ඒ වගේම මගේ දෙවැනි මව වගේ ඉන්නේ ගුවන්විදුලි සංස්ථාව. ගුවන් විදුලි නාට්‍ය අංශයේම මගේ සේවා කාලය වස‍ර 32ක්. මේ වෙද්දී වසර 16ක් ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය ඒකකයේ පාලක ලෙසින් කටයුතු කරනවා. ඉතින් ගුවන්විදුලි සංස්ථාවට ගෞරවයක් අරන් දීමට හැකි වීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා.

 

රාජ්‍ය ගුවන් සම්මාන උළෙලේ ඇගයුම් ලැබුණු දෙවන අවස්ථාවයි මයුරි ලියනගේ - සහකාර වැඩසටහන් කළමනාකාරිනි ලක්හඬ ගුවන් විදුලිය ප්‍රශස්ත ගුවන් විදුලි නිවේදිකා කුසලතා සහතිකය

මම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නේ 1996දී ලක්හඬ ගුවන් විදුලියේ ආරම්භක සාමාජිකාවක්. දැන් වසර 25ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. රාජ්‍ය ගුවන් සම්මාන උළෙලේ ඇගයුම් ලැබුණු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන කරපු වැඩසටහනට හොඳම විචිත්‍රාංග වැඩසටහන හිමි සම්මානය ගිය වසරේ සම්මාන උළලේදී ලැබුණා. අපි මාධ්‍ය පටන් ගන්නා කාලය වගේ නෙවෙයි අද විවිධ වූ නාළිකා බොහොමයක් තියෙනවා. මේ දේවල් සාපේක්ෂ විදියට දකින්න පුළුවන් කෙනෙක්. නමුත් මම දකින්නේ මේ මොහොතේ රේඩියෝ නාළිකා වල ලොකු ප්‍රශ්නයක් විදියට ප්‍රමිතිය කියන දේ. ඒ නිසා සංඛ්‍යාත්මක බවින් නාළිකා වැඩි වුණාට ගුණාත්මක බවින් ගත්තම නාළිකා වල ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ සම්මාන උළෙලවල් ගොඩක් තියෙනවා. නමුත් ඒ කිසි තැනක ගුවන් විදුලි මාධ්‍යට ඉඩක් නැහැ. එහෙම වෙලාවක මෙවැනි රාජ්‍ය සම්මාන උළෙලක් හෝ පැවතීම ඉතා වැදගත්. මම හිතනවා ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යවල තත්ත්වය සහ මේ මාධ්‍යයේ නිරත මාධ්‍යවේදීන්ගේ තත්ත්වය පවත්වා ගෙන යාම සඳහා මෙම උළෙල අත්‍යවශ්‍යයි කියලා.

 

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල වටිනා වැඩක් චුලක මධුරංග ලියනගමගේ - වැඩසටහන් ප්‍රධානි ලක් FM ප්‍රශස්තම සජීවී සන්ධ්‍යා වැඩසටහන / ප්‍රශස්තම ගවේෂණාත්මක කාලීන වැඩසටහන

මිට පෙර 2017 දී විශිෂ්ටතම කථක සම්මානයට නිර්දේශ වුණා. මේ සැරේ තමා සම්මාන ලැබුණේ, ඒ ප්‍රශස්තම සජීවී සන්ධ්‍යා වැඩසටහන ලෙස "හතරැස් හතර" ට සහ ප්‍රශස්තම ගවේෂණාත්මක කාලීන වැඩසටහන ලෙස "සෝදිසිය" ට මට සහ බුද්ධි ගුණසේකරට.

ඉතින් මේ සම්මාන ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මේ සම්මාන මම පුද්ගලිකව ලබපු සම්මාන නෙවෙයි. මම දකින්නේ මේ සම්මාන ලක් FM නිර්මාතෘ නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා. සභාපතිනි අශිකා එදිරිසිංහ මැතිනිය සහ කළමනාකාර අධ්‍යක්ෂ උදුල පෙරේරා මහතා ඇතුළු සමස්ත ලක් FM කාර්ය මණ්ඩලයේ අපි පොදුවේ ලබපු ජයග්‍රහණයක් ලෙස.

මේ සම්මාන උළෙල, ගුවන් විදුලි මාධ්‍ය අවරගණයේ බොළඳ රැල්ලට හසුවෙලා තියෙන කාලයක ජනතාවට හරවත් සහ රසවත් දෙයක් ඉදිරිපත් කිරීමට වෙර දරන මාධ්‍යවේදීන්ට කරන ලොකුම උපහාරයක්. අපේ නාළිකාවේ දිනුෂ පිරිස් සහ නයනි එරංගි මෙවර නිර්දේශ වුණා. ඒ අයත් ඉදිරියට මේ සම්මාන ලබනවා දැකීම තමා මගේ ඒකායන අභිප්‍රාය.

 

සම්මානය ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා දුල්මිණි මහේෂි - ජ්‍යෙෂ්ඨ විධායක නිවේදිකා / නිෂ්පාදක නෙත් FM ප්‍රශස්ත ප්‍රවෘත්ති ප්‍රකාශක (කාන්තා)

රාජ්‍ය සම්මාන උළෙලට නිර්දේශ වීම සහ සම්මානය ලැබුණු පළමු අවස්ථාව. මේ ඇගයීම් සම්මාන ලැබීම ඕනෙම ක්ෂේත්‍රයක කෙනෙක්ගේ හීනයක්. මම දකින්නේ රාජ්‍ය සම්මානයකට නිර්දේශවීමත් ජයග්‍රහණයක්. ඒ නිර්දේශ අතරිනුත් සම්මානය ලැබීම විශාල ජයග්‍රහණයක්. ඒ නිසා සම්මානය ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා.

මම මාධ්‍යට එන්නේ 2004දී උසස් පෙළ කරපු ගමන්. හීනයක් තිබ්බේ නැහැ මාධ්‍යට එන්න ඕනේ කියලා. අහම්බෙන් දාපු ඇප්ලිකේෂන් එකකින් තමයි මේ ගමන පටන් ගන්නේ. අපි මාධ්‍යවලට එන කාලයේ තිබ්බේ වෙනම පරිසරයක් සහ වෙනම දැක්මක්.

රජය සම්මාන උළෙල ගැන පැහැදිලි විශ්වාසයක් තිබ්බේ නැහැ. කලින් වසරවල ගොඩක් සම්මාන ගියේ ගුවන් විදුලියට. ඒක තමා ඇත්ත කතාව. ඒ නිසා මගේ නම කියනකම්ම ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ. හැබැයි මේ සැරේ සම්මාන උළෙලේ ලොකු වෙනසක් වෙලා තියෙනවා අපි දැක්කා. පෞද්ගලික නාළිකාවලටත් ලොකු ඇඟයිමක් ලැබුණා. අපේ නෙත් FM එකටත් සම්මාන 5ක් ලැබුණා. දැන් විශ්වාසයක් තියෙනවා ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ඇත්තටම දක්ෂතාවයට ඇඟයීම් කරන තැනක් කියලා.

 

Comments