BOI පාල­ක­යන් කෝටි ගණ­න­කට විදලා | Page 2 | සිළුමිණ

BOI පාල­ක­යන් කෝටි ගණ­න­කට විදලා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ තනතුරුවලට ඇමැතිමණ්ඩලය නොමඟ යවමින් බඳවා ගැනීම් සහ කෝටි ගණන් මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන්නැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉකුත් සිකුරාදා ඉල්ලා සිටියේය.

අධ්‍යක්ෂවරුන් පිරිසක් ඉල්ලා අස්වී ඇත්තේ මෙම මහා පරිමාණ දූෂණ හා අවභාවිතාවන් හෙළි වීම හේතුකොට ගෙන බවද එම වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

මෙසේ අවභාවිතා කර ඇති මුදල රුපියල් කෝටි 600කට අධික වන අතර එයට අමතරව බොන්ස්ටන් උපදේශක ආයතනයට විවිධ කාර්යයන් සඳහා ගෙවීමට සැලසුම් කර තිබූ මුදල රුපියල් කෝටි 1,300කට ආසන්නය.

ඇමැති මණ්ඩලය නොමඟ යවමින් සුදුසුකම්ලත් සේවකයන් නොමැති බව හඟවා මසකට රුපියල් 250,000සිට රුපියල් 775,000ක් දක්වා අධි වැටුපකට සේවක සේවිකාවන් 29 දෙනකු බඳවා ගෙන ඔවුන්ට ප්‍රවාහන දීමනා ලෙසින්ද රුපියල් 120,000ක් බැගින්ද ලබා දී තිබේ. ඒ අනුව මසකට ඔවුන් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට වඩා මුදලක් වැයකර තිබේ. විශේෂයෙන්ම 2017 වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 1,710ක් වූ ආයෝජන ප්‍රමාණය 2018 වසරේ මිලියන 2,367 දක්වා ඉහළ නැඟ ඇත. 2019 වසරේ පාස්කු ප්‍රහාරය මධ්‍යයේ වුවද ඇමරිකන් ඩොලර් මිලියන 1,189 ක අගයකට එය තබා ගැන්මට එකල අධ්‍යක්ෂ මණ්ඩලය සමත්ව තිබේ. එහෙත් වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල පාලන සමයේ එනම් 2020 වසරේ එම ආයෝජන ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 687ක් දක්වා විශාල ලෙසින් අඩුවී ඇති අතර කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර සිටම එම පරිහානිය සිදුව තිබෙන බව වෘත්තීය සමිති පෙන්වා සන්ධානය පෙන්වා දෙයි. එම අගය මේ වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 389ක් දක්වා පහත වැටී තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දූෂණ වංචාවන් හෙළි කළ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සුරැකීමේ සංගමය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වාණිජ කර්මාන්ත හා සේවක ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය, සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමය, විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය හා නිදහස් සේවක සංගමය ඇතුළු සමිති ගණනාවක්ම ඇතුළත්ය.

 

Comments