ළමයින්ගේ පුංචි තාත්තා! | සිළුමිණ

ළමයින්ගේ පුංචි තාත්තා!

කුලදේව වස පානය කොට මිය ගියේ ය. වෛද්‍ය වාර්තාවෙහි සඳහන් වූයේ ඇසිඩ් පානය කිරීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දිය වී මරණය සිදු වි ඇති බවය. මරණයට හේතුව පැහැදිලි ය. එහෙත් වස පානයට හේතුව කිසිවකු දැන සිටියේ නැත. ගෙදර ඇත්තෝ පවා තුෂ්ණීම්භූතව බලා සිටියෝ ය.

ගිය ඉරිදා අප්පුහාමිගේ කඩේ ළඟදී ඔහු මට මුණගැසිණි. ඒ වන විට කුලදේව බීමත් ව සිටි අතර දෙපැත්තට වැනුණේ ය. ඔහු එදා පුදුමාකාර ලෙස කතා කරන්නට ද පටන් ගත්තේ ය.

“මහත්තය ඩිංගිත්තක් ඉන්නව ද? මට චුට්ටක් කතා කරන්ට ඕනෑ!”

“කුලදේව උන්නැහැ බීල නේද? ඇයි මේ විදිහට බොන්නේ!?”

“ඉස්සර මං කට හරියෙ තිබ්බෙ නෑ! ඒ වුණාට ඒක මෝඩකමක්. බොන තරමට සැනසීම වැඩී!”

“කවුද එහෙම කියන්නෙ? තමුන් හොඳට ම රැවටිලා!”

“මහත්තය උගත් මිනිහෙක් නේද? හොඳයි මට කියන්ට; ඉඩමක්, කුඹුරක් ගෑනියක් සින්නක්කරේට නැති මිනිහකුගෙන් වැඩක් තියෙනව ද? ඌ නිකම් පඹයෙක්!”

“ඉතින් ඔය සේරම ජාති කුලදේව උන්නැහෙට තියෙනව නේද?”

කුලදේව සිනාසුණේ ය. හොඳට ම සිනාසුණේ ය. හූ කියමින් සිනාසුණේ ය. පපුව පළල් ශක්තිමත් මිනිසකු විහිළුකාරයකු සේ සිනාසෙන විට එහි ඇත්තේ විකෘති විලාසයකි. කුලදේව එකවර ම සිනහව නවත්වා යළි කතා කරන්නට පටන් ගත්තේ ය.

“මහත්තය දන්නව ද? මට බේත් කොටන තුවක්කුවක් තියෙනවා!”

“විනෝදෙටත් එක්ක දඩයම නරක නෑ!”

“මං ඒකෙන් කළවැද්දෙක්, මී මින්නෙක්, හාවෙක්, ඉත්තෑවෙක් වාගෙ සතෙක් එළාගන්නවා! ඒ වුණාට මහත්තයා ඒක කිසි කමකට නැති තුවක්කුවක්!”

“ඇයි එහෙම කියන්නේ!?”

“ඒ බම්බු තුවක්කුවෙන් තමන්ට ම වෙඩි තියාගන්ට බෑ!”

“පුදුම කතාවක්නෙ!?”

“පුදුමයක් නෑ මහත්තයා බේත් කොටන්ට පටන් ගන්නකොට තිබුණු අදහස බේත් කොටල ඉවර වෙනකොට නැති වෙනවා!”

කුලදේව යළිත් සිනා සෙන්නට පටන් ගත්තේ ය. සිනහවත් සමඟ ඔහුගේ විශාල දෑස් සිහින් වන අතර මුහුණෙන් උමතු බවක් පළවෙයි. කුලදේව බරපතළ මානසික පීඩනයකට ගොදුරු වී ඇතැ’යි මට සිතිණි.

“කුලදේව උන්නැහැට ගෙදර මොනව හරි ප්‍රශ්න තියෙනව ද?”

“පිස්සුද මහත්තයා වැස්සට කලින් උළු මාරු කරනවා

පීලි ශුද්ධ කරනවා! ඊට පස්සේ වහින තරමට හොඳා!” (යාන්තමට සිනාසෙයි.)

“එහෙනං ළමයින්ගෙ මොනව හරි හුටපටයක් ද? දැන් කාලෙ ළමයි හරි අකීකරුයි!”

“පුංචි එව්වො මොනවද දන්නෙ මහත්තයා! උන් මට පුංචි තාත්තා කියනවා! උන්ගෙ හිතේ දෙයියො ළමයි දෙනව කියල නෙවැ!”

“කුඹුරට හරි, ඉඩමට හරි නඩු තියෙනව ද?”

“නෑ මහත්තයා, කුඹුරත් අයියගෙ. ඉඩමත් අයියගෙ, ගෑනිත් අයියගෙ මං කිසිම දෙයක් නැති පිස්සෙක්!”

“ඒක ඉතින් අපේ පළාතෙ සිරිත නෙවැ, සහෝදරයො එකට ඉන්න කොට පවුල දියුණු වෙනවා!”

කුලදේව ඒ පාර අඬන්නට පටන් ගත්තේ ය. ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන තව ම තරුණකමේ ලකුණු ඇති කුලදේව හොටු සූරමින් හැඬුවේ ය. ඒ දර්ශනය ජුගුප්සාජනක ය. මට කුලදේව මඟහැර යෑමේ වුවමනාවක් ඇතත්; දැන් එය කළ නොහැකි ය. එක අතෙකින් ඔහුට කවුරුන් හෝ කෙනකු සවන් දිය යුතු ව තිබේ.

“මං මළ පොතේ අකුරක් නො දන්න මිනිහෙක් බව ඇත්ත. ඒ වුණාට මාත් මනුස්සයෙක්! මටත් වුවමනාවල් තියෙනවා!’

“අකුරු නො දන්න මිනිස්සු කොච්චර ඉන්නව ද කුලදේව උන්නැහැ”!?

“අකුරු සෑස්තරේ දැනගෙන හිටිය නං අඩු ම ගාණෙ බණ පොතක්වත් කියවන්ට තිබුණා. මං පටාචාර කතාවට හරි ආසයි!”

“ඇයි ඉතින් ගලේ පන්සලට ගෙහුං බණ අහන්ට පුළුවන් නෙවැ!”

“ගලේ පන්සලට ගිය ගමන් උපාසකම්මල දිහා බලාන ඉන්ට හිතෙනවා! උන්දැලගෙ යටිපතුල දැක්කත් මං උද්දාමයට පත්වෙනවා! ඒකත් පවක් නෙවැ!”

“කුලදේව උන්නැහැ ඕනෑවට වඩා හිතනවා! විකාර නවත්තල ටිකක් සංසුන් වෙන්ට බලන්ඩ!”

“මහත්තය කියන්නෙ ජීවිත කාලෙ පුරාවට ම ඉවසන්ට කියල නේද? හැබෑව මට මැරෙන්ට වෙන්නෙත් එහෙම තමා!”

කුලදේව ඒ පාර හැඬුවේ නැත. සිනාසුණේ ද නැත. ඒ වෙනුවට ඔහු ඈත බලාගෙන සිටියේ කලකිරුනු ස්වාභාවයකින් ය.

ඔහු ඉතා සංසුන් ව යළිත් කතා කරන්නට පටන් ගත්තේ ය. කුලදේවට එකවර අපූරු හඬක් හා උච්චාරණයක් ලැබී තිබිණි.

“මහත්තය යුක්තිය කියන්නෙ සමාන විදිහට බෙදල දෙන එක නේද?”

“ඔව් ඒක ඇත්ත!”

“සතියට දවස් හතයි! හත දෙකට බෙදන්ට බැරි නිසාවෙන් අයියට හතරයි මට තුනයි!”

“දැන් මොකද වෙලා තියෙන්නෙ?”

“මහත්තය අයිය දවස් හතේ ම ගේ ඇතුළෙ මං දවස් හතේ ම එළියෙ! මාස ගණන් බලා හිටියා! අයියා ඇතුළෙ! මං එළියෙ! මහත්තය මට කෙළින් උත්තරයක් දෙන්ට!..... ඒක හරි ද?”

මට එදා උත්තරයක් දී ගත නොහැකි විය. අදටත් ඒ සඳහා උත්තරයක් මා ළඟ නැත.

Comments