සමාජ යථාර්ථය නිර්මාණ ඇසුරේ චිත්‍රණය කරන නිර්මාණවේදියා | සිළුමිණ

සමාජ යථාර්ථය නිර්මාණ ඇසුරේ චිත්‍රණය කරන නිර්මාණවේදියා

ක් එක් ලේඛකයන් ගේ ජීවිතයේ වන යම් යම් දෑ අපට කියන්නේ ඇයි දැයි අපට ගැටලුවක් ඇති වීමට ඉඩ ඇත. ඒත් මේ හැම ලේඛන දිවියක ම ඔබට, මට ගන්නට බොහෝ දෑ තිබේ. ජීවිතයේ සියලු අත්දැකීම් එක් අයකුට ලබා ගත හැකි නොවේ. එයට එක් ජීවිත කාලයක් නොව මුළු සංසාරය ම වුව මදි ය. ඒ නිසා ම ලේඛකයාට අත්දැකීම් ගන්නට අනෙක් අයගේ ජීවිතවලට එබෙන්නට සේම අවට පරිසරයේ සිදුවන බොහෝ දෑ ගැන සවිඥානික වෙන්නට සිදු වෙනවා ම ය. මේවා අප අහුලා ගත යුතු ම ය; ඒ අපේ ජීවිත ලියකම් කර ගන්නට ය. 

ප්‍රතිභාව, වාසනාව ගොඩනැ‍ඟෙන්නේ හෙමිහිට ය. ඒත් එය සර්වකාලීන ය; සර්වභෞමික ය. ඒ ප්‍රතිභාව මුළු මහත් මිනිස් වර්ගයා ම ආදරයෙන්, ගෞරවයෙන් රැක ගන්නා ධනයක් වන්නේ ඒ ප්‍රතිභාව විසින් අත්පත් කරදෙන දේ නිසා ය. මහාචාර්ය සෝමරත්න බාලසූරිය නිර්මාණකරුවා ද එවැනි ප්‍රතිභාවෙන් යුත් නිර්මාණකරුවෙකි. හේ කෙටිකතා, නවකතා ඇතුළු සාහිත්‍ය නිර්මාණකරණයේ විවිධ ඉසව් ස්පර්ශ කරන්නේ ය. කරත්තය හා වප්මඟුල එහි කූටප්‍රාප්ති නිර්මාණ ය. ඔහුගේ නව්‍ය නිිර්මාණ එළැඹුම මුක්ති නවකතාවයි. ඇල්බෙයා කැමූ ප්‍රංස බසින් ලියන ලද කෙටි නවකතාව සිරිල් කොනෙලි විසික් ඉංග්‍රීසි බසට 'THE OUTSIDER' 'ඔහු පිටස්තරයා' නමින් පරිවර්තනය කරන්නේ එහි රස නුසුන් නොකර ය. ආගම් මුවාවෙන්, සම්මතය මුවාවෙන් ජීවිත වංචාවේ යෙදෙන්නන් ලෝකය පුරා බහුල ය. ඒ වංචාවෙන් තොර මර්සෝ වැනියකුගේ ජීවිතය තම ජීවිතය හා එක් කර සිතන්නට තරම් පෙලඹවීමක් ඇති කළ මහාචාර්ය බාලසූරිය කළ පරිවර්තනය තරුණ පිරිස් වැළඳ ගත්තේ ආදරයෙනි.

ඔහු සිය අවට පරිසරයේ ඇති දෑ හා තමා අත්විඳින දෑ නිසා කම්පනයට පත්වෙන්නේ ය. ඒ කම්පනය විසින් නිර්මාණය කරන දෑ එකල සමාජ, ආර්ථික හා සංස්කෘතික ජීවිතයේ කැඩපතකි. වප්මඟුල ලියන්නට කලින් හේ ඒ පරිසරයේ සුන්දරත්වයෙන් නොව එහි යථාර්ථයෙන් රිදුණු සිතැති ව එය අනාගත පරම්පරාව වෙනුවෙන් ලියා තබන්නේ ය. එය ඉංග්‍රීසි බසට පරිවර්තනය වෙන්නේ ඒ සර්වකාලීන හා සර්ව භෞමික ගුණය නිසා ය. එකල සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිධූරය දැරූ මහාචාර්ය මිනිවන් පී. තිලකරත්න වප්මඟුල නවකතාව ගැන බෙහෝ ප්‍රසාදයෙන් කතා කළේ ය. ඒ වප්මඟුල පවත්නා නවකතා අතර හැරවුම් ලක්ෂයක් බවත් එය අන් නිර්මාණකරුවන් ස්වකීය නිර්මාණකරණයට ආදර්ශයක් සේ ගත යුතු බවත් ය.

‘වප්මඟුල ලියැවෙන කාලයේ රාජ්‍ය උත්සව රාශියක් විශාල ධනස්කන්ධයක් වියදම් කරමින් ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය ඇති කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් පටන් ගත්තා. එකක් තමයි වප්මඟුල. ඒකෙදි වුණේ රාජ්‍ය නායකයා එක් ගමක්, එක් ප්‍රදේශයක් දියුණු කරන්න ඕන කියන අදහසින් රටේ ඉන්න ග්‍රාම සේවා නිලධාරීන්, ඉංජිනේරුවෝ, දේශපාලඥයන්, සංඝයා වහන්සේලා මේ සියලු දෙනා ඒකරාශී කරලා යම් යම් ව්‍යාපෘති ආරම්භ කිරීම. ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, විවිධ අවශ්‍ය කාර්මිකයන් ආදියත් සහභාගී කර ගනිමින් මේක රට පුරා ක්‍රියාත්මක කළා. කාන්තාවන් එහෙමත් මේකට සහභාගී වුණා. මේවට හේතුව වතුර නැතිකමවත්, කුඹුරු වගා කිරීමට නොහැකි වීමවත් නොවෙයි; ළමයි වැඩිය හැදීම කියලා පවුල් සංවිධාන හදලා එක එක පෙති දෙන්න පටන් ගත්තා.

මේවට සහභාගී වුණු කම්කරුවන් හා වෙනත් වෘත්තිකයන්ට වුණත් විවිධ ප්‍රශ්න තිබුණා. ගම දියුණු කරනවා කියලා ගමේ තිබුණු කැලෑ කැපුවා. ලයිට් දෙනවා කියලා ඒවා කෙරුණෙත් නෑ; තාර දානවා කිවුවට ඒව කළෙත් නෑ. ඔය වගේ ගැමි ජනතාව නංවනවා කියලා දේශපාලඥයාගේ සිට ග්‍රාමසේවක දක්වා ගැමියා රැවැට්ටූ ආකාරය තමයි වප්මඟුල ඔස්සේ මම ලිවුවෙ‘ බොහෝ දෙනෙක් දැන හෝ නොදැන රැවටෙති. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රැවටීම්වලට ලක් වූ ජනතාවක් අද දක්වා ම සංවර්ධනය නොවන රාජ්‍යයක ජීවත් වෙන්නේ ඒ නිසා ය. ඡන්දය ගන්නට ගමට එන දේශපාලඥයන්ට නැවත ගම මතක් වෙන්නේ ඡන්දය ළං වූ විට ය. එසේත් නැති නම් මේ වැනි ව්‍යාපෘති ඔස්සේ විවිධ ආකාරයෙන් මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදවලට ජනතාව නතු කර ගැනීමට ය. මේ සියල්ල කෙරෙහි නිර්මාණකරුවා සංවේදී ය. මහාචාර්ය බාලසූරිය ග්‍රාමීය ජනතාවට සිදුවුණු අසාධාරණය ගැන සවිඥානික වන්නේ හද පත්ලෙන් නැඟෙන රිදුම නිසා ය. ඒ රිදුම හේ අකුරු කර අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නේ ය. ගොවි ජනපද ඇතුළු විවිධ ව්‍යාපෘති නිසා අසාධාරණයට ලක් වූ ජනතාව වෙනුවෙන් ඔහු වප්මඟුල ලියමින් තමාට හැකි අයුරෙන් සාධාරණයක් ඉෂ්ට කිරීමට උත්සාහ ගන්නේ ය. 

දීර්ඝ නිහැඬියාවකට පසු මහාචාර්ය සෝමරත්න බාලසූරිය නිර්මාණකරණයට එළැඹෙන්නේ මුක්ති නවකතාව රචනා කරමිනි. එය පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම පැසසුමට හා අවධානයට ලක් වෙන්නේ ය. ලංකාවේ පැවති භීෂණකාරී වාතාවරණය සමයේ මධ්‍යම පාන්තික පුවත්පත් කලාවේදියකුගේ ආත්ම කථනයක් ලෙසින් ඉදිරිපත් වෙන එය මහාචාර්ය බාලසූරිය වසර 15 ක් පමණ තිස්සේ ලියන්නකි. මනුෂ්‍ය හෘදයක භීතිය පැතිර යාමත් එයට ගොදුරු වූ පුද්ගලයාගේ සුවිශේෂ හැසිරීම්, සිතුම් පැතුම් හා හැඟීම් ආදියත් ඉතා සියුම් ආකාරයට විග්‍රහ කිරීමට හේ සමත් වී තිබේ.

‘ සමාජය යමින් පවතින්නේ ඉතා ම ආගාධයකට. සියල්ල විකුණාගෙන යනවා; දේශීය නිෂ්පාදන ගණන් ගන්නෙ නෑ; ඒවා ගැන හොයන්නෙ නෑ. ඒවට ආධාර උපකාර කරන්නෙත් නෑ. වාණිජ්‍ය පන්තියකට විතරක් ණය දෙනවා. පොහොසත් මිනිහා පොහොසත් කරන්න උත්සාහ කරනවා. මේ ප්‍රෝඩා නොකර ස්වභාව සෞන්දර්යය අපට දීලා තියෙන මේ වස්තු රැක ගන්න, වර්ෂාව, මහ පොළොව, සංස්කෘතිය මේවා ආපහු ඔප් නංවලා ගන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්න ඕන කියලා මම විශ්වාස කළා. ඒක ගොඩනඟන්න අමාරු දේශපාලකයන් නිසා. ඒ අය මේ සමාජය කෑලි කෑලිවලට කඩා දාලා තියෙනවා. සිංහ කොඩියෙ ඉදල සියලුම ජන කොට්ඨාශ කෑලි කෑලිවලට කැඩුණා. ජාතීන් වෙන් කරලා ඉස්කෝල හැදුවා. ඒ අයට වෙනම පහසුකම් හැදුවා. ඉස්සර මේ හැමෝම එකට හිටියෙ. මේ සමාජයේ මුල් අතහැරලා සමාජය අවුලකට පත් කළා. ඒ අවුලෙන් ගොඩ එන්න නම් මේ දූෂණ නවත්තලා මේ බටහිරෙන් ගන්න ව්‍යාපෘති නතර කරලා දේශීය කර්මාන්ත නිෂ්පාදන දියුණු කරලා රටට ධනය ගේන්න පුළුවන්. රට ඒකෙන් සශ්‍රීක කරලා, ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන්න පුළුවන් කියන සංකල්පය තමයි මට මුක්ති ලියන්න බලපෑ හේතු කාරණය‘

මරණ වරෙන්තුව හිස මත ලියැවුණු මිනිසකුගේ මනසේ නැගෙන සිතිවිලි දහරාවක් විසින් මෙහෙය වෙන අතිශය සංකීර්ණ මනෝ මූලික කතාවක් මෙහි අන්තර්ගත ය.

ධනේශ්වර ක්‍රමයේදී සත්‍යය, සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නා වූ කුමන හෝ මනුෂ්‍යයකු මුහුණ දෙන පීඩක යථාර්ථයෙන් පාඨක හද-මනස සසල කෙරෙන ආකාරය මෙහි නිරූපිත ය. හැඟීම් සමඟ මුසු ව එන මෙකී යථාර්ථ ඥානය එවැනි සමාජ ක්‍රමයක් ලෝකයෙන් මුලිනුපුටා දැකීමේ අවශ්‍යතාවෙන් අනුප්‍රාණය ලබයි. මිනිසකුට මිනිසකු ලෙස ජීවත් වීමේ විමුක්ති කාමය මුක්ති ඔස්සේ දැල්වෙන ආලෝකයයි.

ප්‍රතිභාව මතුවන්නේ කොතනකින්දැයි කියා කිව නොහැකි වුවත් එයට බලපෑම් කරන්නේ ගිනිය නොහැකි, සිතිය නොහැකි තරම් සරල හා සූක්ෂ්ම දෙයකැයි සිතේ. ඔබ විඳ තිබෙනවා ද දෙහි මලේ සුගන්ධය. දෙහි තිබෙන්නේ යුෂ ගන්නට මිසක් මල් පුදන්නට නොවේ යැයි ඔබ කියන්නට ඉඩ ඇත. එහෙත් යුෂ පමණක් ම ගැන සිතන බහුතරය අතරේ දෙහි මලේ සුන්දරත්වය දකින එක් දෙනෙතක් අයිති හදවතකට ප්‍රතිභාව නෑකම් කියන්නේ ය. ඔබ දෙහි මලේ සුවඳ විඳ තිබේ දැයි මා ඇසුවොත්... ඔබ මොහොතක් කල්පනා කර බලාවි. අප කොතෙක් සුන්දර මල් සිඹින්නේ ද? එහි මුදු සුමුදු පෙති අතගාන්නේ ද? එහි සියුම් බව විඳින්නේ ද? එහෙත් මේ මුදු සුමුදු මල්වලට වඩා දෙහි මල වෙනස් බව දන්නේ ඔබ ඒ ගැන අවබෝධයෙන් සිටියා නම් පමණී. දෙහි මල් කැකුළු වල සුවඳ ළංවී උරා බොන්නට බැරි බව දන්නවා ද? ඒවා දෙහි ගස වටාත් අවටත් වෙළී පවතී. ළං ව පිච්ච මල් සුවඳ විඳින්නා සේ දෙහි මල් වල සුවඳ විඳින්නට නොහැකි බව මා දැන ගත්තේ කිහිපවාරයක් උත්සාහ කිරීමෙන් අනතුරු ව ය. අනතුරුව මම මඳක් ඈතින් සිටගෙන දෙහි මලේ සුවඳ විඳින්නට පෙලඹුණෙමි. සුවඳ විලවුන්වලට ගත නොහැකි වූ ඒ අනර්ඝ සුවඳ මට දැනෙන්නට පටන් ගත්තේ මඳක් ඈතින් සිට මා එය විඳි විට ය.

එනිසා ම ප්‍රතිභාව විසින් අපූර්ව කරන ලද සමහර සාහිත්‍ය කෘති කියවන විට මට දැනෙන්නේ; මතක් වෙන්නේ දෙහි මලේ සුවඳ ය. ඒවා විඳිය යුත්තේ ද මඳක් ඈතින් සිටගෙන ය; සරල ව ම කියන්නේ නම් කාලයේ විනිශ්චයට ඉඩදීමෙන් අනතුරු ව ය. කලා කෘතියකට නිසි වටිනාකම, ඇගයීම, විනිශ්චය ලැබෙන්නේත් එය නිවැරදි ව පොළෝතලයේ ස්පර්ශ වන්නේත් කාලයාගේ ඇවෑමෙන් ය. මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ නිර්මාණ ද එසේ ම ය.

සෝමරත්න බාලසූරිය නිර්මාණකරුවා දශක ගණනාවක් තිස්සේ මේ සමාජයේ විවිධ පැතිමාන සිය නිර්මාණාවේශය දල්වාලීමට යොදා ගනී. හේ ස්වකීය හුදෙකලා අත්දැකීම් නිර්මාණ සඳහා යොදාගනු වෙනුවට සමාජය සියුම් ව නිරීක්ෂණය කිරීමට යත්න දරයි. ප්‍රංසයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් ඔහු පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළේ ය. බොහෝ ඇසූපිරූ තැන් ඇති ව විවිධ මාන ඔස්සේ සිය සිතිවිලි ධාරාව පෝෂණය කරගන්නා ඔහු යහපත් සමාජ ක්‍රමයක් වෙනුවෙන් නිරන්තර නිර්මාණ ඔස්සේ අරගල කරන්නෙකි. සිය නිර්මාණාවේශය අවුළුවන සමාජ යථාර්ථය කෙරෙහි බෙහෙවින් සවිඥානික මහාචාර්ය බාලසූරිය විවේක බුද්ධියෙන් යුතුව නිර්මාණ කාර්යයේ යෙදෙන නිහඬ පඬිරුවනකි.

Comments