සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

සංජී කාරියවසම්

කෘතිය - ගොළු හීන
කර්තෘ - සංජී කාරියවසම්
මිල - රුපියල් 300 පිටු - 96
කර්තෘ ප්‍රකාශනයකි
විමසිම් - 0777384760

සංජී කාරියවසම්ගේ පළමු කාව්‍ය සංග්‍රහය ගොළු හීනය. මේ එහි එන කවි කිහිපයකි. ජීවිතේ තනිකම පාළුව මඟහරවා ගැන්මට ලියූ කවි එකතුවක් සේ පෙනුණද මේ කවි අතර ආදරය ප්‍රේමය සොහොයුරු පෙම, ආදි මෙන්ම මානවීය බැඳිම් මත දිගහැරි අති බව හැගේ.

වර්තමානයේ සියල්ල තිරණය කරන්නේ මාධ්‍ය හා යුටියුබ්, මුහුණු පොත ආදි නව සන්නිවේදන ක්‍රමයැයි කීමේ වරදක් නැතැයි හැගේ. අද වන විට පුංචිම දරුවාත් නැළැවෙන්නේ දුරකථනය අතට දුන් විටය .
සන්නිවේදන මෙවලම් වලට ඇබ්බැහි වී සිටින දරුවන් අතර මේ පරිසරයට ගහකොළට ඇල්ම බැල්ම ඇති දරුවන් සිටින්නේ කලාතුරකිනි. ඔන් ලයින් අධ්‍යාපන ක්‍රම ඇරඹිමත් සමඟ දරුවෝ නව සන්නිවේදන තාක්ෂණය සමඟ ගැටීම මේ ගැටුමට හේතු වේයැයි හැඟේ.

කෙසේ වෙතත් එවන් ගැටුම් අතරේ උනත් පුංචි දුවට පුතාට පරිසරය. ගහකොළ විඳින්න බාලවිය නිදහසේ ගෙවන්න යැයි කියා දෙන අයුරකි මෙයින් අපට හැඟෙන්නේ.
මාතෘකාව ‘දුවේ පුතේ නුඹටයි මේ‘.

ලතා මඩොලු යට සියොතුන් ගීත ගයන විට
පුතේ එපා හිරි හැරයක් කරන්න කිසි විට
දුවේ තියා පාදය ඒ ගයනා තාලෙට
හෙමිහිට නැටුමක් නටන්න තණ පලසේ සිට...

ගහකොළ මල් අතරේ සරා ගෙවන්න ජීවිතේ
චූටි කුරුලු කැඳලි කඩන්නට නොගොසින් පුතේ
පොද වැස්සට යාන්තමින් තෙමෙන්න මගෙ පුතේ
සොබා දහම හරි සොඳුරුයි විදින්න ජීවිතේ...
වයිවාරණ අරුමෝසම් කතාවලින් පිට
අපිට ලෝකයක් තියෙනවා බලන්න හෙමිහිට
සොබා දහම තුරුලු කරන් ඉන්නා තරමට
දුවේ පුතේ රකිවී නුඹ දෙවියන් සැමවිට

වර්තමානයේ දකින්නට ඇති ඛේදජනක සිදුවීම් අතර එකකි දරුවන් විසින් දෙමාපියන් නොසලකා හැරිම. එය අද පවතින සමාජ ක්‍රමය තුළ බහුලව දැකිය හැකිය.
උගත්කම ඇත්තන් ළඟ මනුස්සකම නැතැයි ඇතැමුන් කියන්නේ මෙවැනි සිදුවීම් හරහාය. වර්තමාන සමාජයේ ජීවත් වන්නවුන් තුළින් ගිලිහීයන මිනිස්කමේ තරම අපට වැටහේ.
“මව මහ මඟට දැමු දියණියට“ යන හිසින් ලියැවුණ කවිය මෙබන්දකි.

*රැළි වැටුණ මහලු වුණ නුඹේ දෑතින් ඇඳන්
කඩමාලු ඇඳුම් පොදියත් කිහිල්ලේ ගසන්
මහමඟට දමා මව රෝද හතරේ රියෙන්
දියණියක් දිව ගියේ පෙර දිනක ඉක්මන්...

නුඹේ කැත කුණු ඇඟේ ගෑ වුණත් නැ කැතක්
මවට නෑ දරුවෝ බර වුණේ කිසි දිනෙකවත්
මහමඟට මව දමා යන්න පෙර එක් වරක්
හැරි බලපන් දුවේ කඳුළු පිරි ඇගෙ නුවන්...

ඇගෙ නෙතින් වැටෙන හැම කඳුළක්ම සිරකරන්
ඇය සොයයි තවම නුඹේ රුව එයිද මඟබලන්
දිනෙක නුඹේ මව නුඹට දුන්නාට සමාවක්
දෛවයෙන් ලැබෙනු ඇත නුඹට නිසි දඬුවමක්..

ආධුනික කවියකුගේ බොහෝ කවි තමන් පසුබිම් කරගෙන, තමන් විඳි අත්දැකිම් ඔස්සේ ගොඩනැගී ඇත. ඒ කවි ඔවුන්ගේය.
නමුදු ඒ කවි අතරද ඇතැම් කෙනකුට තමන්ගේ මෙන් විදිය හැකි අත්දැකිම් සහිත කවි අපට හමුවේ. එවන් කවිද ගොළු හීන අතර අපට හමු වේ. ඇයට යා හැකි දුර බොහෝය. කෙනෙකුගේ හදට දැනෙන අයුරින් අන් අත්දැකීම් වුව තමන්ගේ මෙන් ලිවීමේ හැකියාව මේ නවක කිවිදිය සතුව ඇතැයි ඇගේ නිර්මාණ විදීමේදී හැඟේ.

Comments