විශ්වාසනීයත්වය’ වටහාගත හැකි ද? | සිළුමිණ

විශ්වාසනීයත්වය’ වටහාගත හැකි ද?

“යම්කිසි පුද්ගලයකුගේ චර්යාධර්මයන් (behavior) නොහොත් ඔහු හෝ ඇය කියන කරන දේවල් ගැන හෝ ප්‍රමාණවත් භක්තියක් හෝ ඇදහීමක් හා පිළිගැනීමක් ඇත්නම් ඒ පුද්ගලයාගේ ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ විශ්වසනීයත්වය (Credibility) යනුවෙනි” යන ප්‍රකාශය සන්නිවේදන අධ්‍යයනයට සම්බන්ධව කර ඇත්තේ කතුවරයන් තිදෙනකු විසින් සම්පාදනය කරන ලද Main Currents in Mass Communications යන කෘතියේ හතරවන පරිච්ඡේදය වන The communicators (සන්නිවේදකයෝ) යන්නයි. ඒ පරිච්ඡේදය ලියා ඇත්තේ වොරන් කේ. ඇගී (Warren K. Agee) නමැති විද්වතාණන් විසිනි. අනිත් දෙදෙනා නම් ෆිලිප් එච්. ඕල්ට් (Phillip H. Ault) හා එඩ්වින් එමරි (Edwin Emery) ය. කෙතරම් තාක්ෂණික වශයෙන් සන්නිවේදනය පුළුල් වී ගොස් ප්‍රබල මාධ්‍ය ලෝකයක් නිමැවී ඇතත් ඒ පිටුපස සිටින්නේ දැනුමෙන් හා පළපුරුද්දෙන් පිරිපුන් සන්නිවේදකයකු හෝ සන්නිවේදන මණ්ඩලයකි.

සන්නිවේදන ක්‍රියාදාමයේ විශ්වසනීයත්වය මේ පුද්ගලයා මත හෝ පුද්ගල මණ්ඩලයක් මත රැඳී ඇති බව සාධක පෙන්නුම් කිරීම මෙහිදී වැදගත්වන බවට නිදසුන් රැසක් සපයා ඇත.

“අසවල් බලතල දරන අසවල් පුද්ගලයා මෙසේ කීය” යනුවෙන් ප්‍රකාශ කොට, ඒ ප්‍රකාශය මීළඟ දක්වතොත් සැබැවින් ම ඒ ප්‍රකාශය පිළිගැනීමට ශ්‍රාවක හෙවත් සමස්ත ග්‍රාහක මණ්ඩලයේ (audience) කී දෙනෙක් සූදානම් වී ඇත්ද?

“ඒ ප්‍රකාශය අපට පිළිගැනීමට පුළුවන් කමක් නැහැ” යනු එක් ග්‍රාහක මතයක් විය හැකිය. තවත් ග්‍රාහක මතයක් වන්නේ,

“ඒ ප්‍රකාශය අපට පිළිගැනීමට පුළුවන්”

“එපමණක් නොව, අපි ඒ ප්‍රකාශයට නතු වෙමු.”

“අපි ඒ ප්‍රකාශය, සත්‍ය ප්‍රකාශයක් ලෙස පිළිගනිමු.”

මෙකී ප්‍රතිචාර මත (Response Opinions) ‘විශ්වාසනීයත්වය’ යන සංකල්පය කෙමෙන් ගොඩ නැඟේ.

“සන්නිවේදන අධ්‍යයනයේදී මෙකී විශ්වසනීයත්වය මාධ්‍ය ගතවන්නේ කෙසේද යන්න පළමුව හඳුනාගත හැකිවන්නේ ග්‍රාහක මත පරිශීලනය කිරීමෙනි” යි පවසන වොරන් කේ. ඇගී මහතා මෙසේ ද පවසයි.

“මාධ්‍යයක පවතින බලය (Media Power) රැඳී පවතින්නේ විශ්වාසනීයත්වය මතය. එය පැති කීපයකට විහිදුණු සංකල්පයක් වශයෙන් වටහාගත යුතු ය. එක් පැත්තක් නම් ග්‍රාහකයාට ඇහෙන හා පෙනෙන දේ අනුව ඇතිවන්නාවූ එක්තරා භක්තියකි. (Faith) මේ භක්තිය හේතු කොටගෙන එම මාධ්‍යය කෙරෙහි නොදැනීම තමන්ගේ අවනත බවත් (attraction) ඇතිවේ. මේ අවනත බව කෙමෙන් ලැදිකමක් බවට පත්වේ. මේ ලැදිකමේ ප්‍රතිඵලයක් වශයෙන් ‘ලෝලත්වය’ ග්‍රාහක චර්යාව වෙනස්වීම සිදුවන්නේ මානසික ලැදිකමක් ලෙසිනි. මෙය විටෙක ග්‍රාහක ඇබ්බැහියක් ලෙසින් ද සැලකේ. විටෙක මාධ්‍ය සැලසුම්කරුවන් මේ මානසික තත්ත්වය වටහාගන්නේ ඉල්ලීමකට සරිලන සැපයුමක් දෙන ආර්ථික විද්‍යා න්‍යායක් ලෙසිනි. එම මාධ්‍ය සැපයුම විවරණය කර ඇත්තේ මාධ්‍ය සංදේශ ජාලය (Media Message Network) විකිණීමක් වශයෙනි. ලොව පුරා ප්‍රචලිත ‘Top of the Pops’, ‘Pop Song’, ‘Pop Star’, ‘Pop Ratings’ යන යෙදුම් භාවිතයට පැමිණ ඇත්තේ ඉල්ලීමට සරිලන සංදේශ සැපයුම පාදක කොටගෙන ය. එහි අතුරුඵලයක් වශයෙන් එකී මාධ්‍ය කෙරෙහි ජනිතවූ විශ්වසනීයත්වය එක් දිගටම පවත්වාගෙන යාමට අතිරේක රුකුලක් ද ලැබේ. තවත් සාධකයක් වශයෙන් පෙන්නුම් කෙරෙන්නේ කෙමෙන් ග්‍රාහක මණ්ඩලවල බිඳ වැටීම් ඇතිවීමය. එය කෙසේ සිදුවන්නේ ද?

ඇතැම් සාමාජික සාධක (Social factors) මත මාධ්‍ය පාලන අධිකාරියේ බිඳවැටීම සිදුවිය හැකි ය. නිදසුනක් වශයෙන් නාසි මාධ්‍ය පාලනය (Nazi Media Control) කෙමෙන් යුදෙව් ඝාතනය (Jew genocide) බලවේගවලට අනුකූලව විශ්වාසනීයත්වයෙන් පිරිහෙන්නට විය. මේ හේතුවෙන් මුලින් විශ්වාසනීයත්වය පැවැති මාධ්‍ය සන්දේශ කෙරෙහි කෙමෙන් විශ්වසනීයත්වය මැකී යන්නට විය. මේ නිදසුනට වඩා ප්‍රබලවූ සමාජ සාධක පවා යම් යම් රටවල සමාජ ඉතිහාසය පෙන්නුම් කරනු ඇත

Comments