මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සාහිත්‍යවේදියා නිතිඥ ඇස්.ජී. පුංචිහේවා | සිළුමිණ

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සාහිත්‍යවේදියා නිතිඥ ඇස්.ජී. පුංචිහේවා

මාතර හෙළ හවුල් මහමුළුවේදී ඒ මහා හඬ පෞර්ෂය කාය පෞර්ෂය හඳුනාගත් සත්හැවිරිදි. එස් ජී පුංචිහේවා පසු කාලයකදී ඒ පෞරුෂය හිමි අභීත දේශප්‍රේමී උත්තම ගුණාංගද හඳුනා ගත්තේය. ඒ මහා පුරුෂයා කුමාරතුංග මුනිදාසයන්ය. ඔවුන් එදා දුටු ඒ සිඟිත්තා නම් පසු කලෙක ඔහුගේ ලක්මිණි පහන සුබස සඟරා පෙන්වූ මඟ ඔස්සේ පෙරට ඇදී ගියේ නිවැරදි බසින් අදීන ලේඛකයකු බවට පත්වුයේය. එස්. ජී. පුංචිහේවා නම් වූ විදුහල්පතිවරයකු ගුරුනායකයකු, ගත්කතුවරයකු, භාෂා පරිවර්තකයකු, ලේඛකයකු, මානව අයිතිවාසිකම් සුරකින්නකු ලෙස පමණක් නොව නීතිඥයකු ලෙස කටයුතු කළ අදටත් ඒ කටයුතු වල නියැළෙන ඔහු පිළිබඳ සෙවීමේ අරමුණින් පසුගියදාක අප එස්. ජී. පුංචිහේවා සොයා පන්නිපිටිය රුක්මලේ නිවෙසට ගියෙමු.

වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටිය ද ඔහුගේ උපන්ගම වන්නේ මාතර තොටමුණ නම් වූ ග්‍රාමයයි. සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා පුංචිහේවාය. 1933 වසරේ මාර්තු මාසයේ 12 වැනිදා උපන් ඔහු මේ වන විට අසූ හය වැනි වියේ පසුවන්නේය. සිය බාලකාලයත් පාසල් වියත් සිහිකරමින් පුංචිහේවා පැවසුවේ මෙවැන්නකි.

“මගේ පියා තේදිරිස්. මව වී. ඇල්. පුංචිහේවා. අපේ ගම පිහිටා තිබුණේ නිල්වලා ගඟ මුහුදට වැටෙන තැන. මේ ගම්මානය ධීවර ගම්මානයක්. ගමේ තිබුණ ප්‍රධානම ලක්ෂණය තමයි දුප්පත්කම තොටමුණ කියන ගමේ කලහකාරයේ හිටියා. නමුත් කලාවත් තිබුණා. මගේ තාත්තා ඒ කාලේ හැටියට පාසලේ 8 පන්තියේ විභාග සමත්වූ මොනිටර් ගුරුවරයෙක්. නමුත් ඔහු සේවය කරමින් සිටිය විදුහල්පතිතුමා සමඟ රණ්ඩුවක් වෙලා ගුරුකම අත්හැරලා ආව කෙනෙක්. ඉන් පස්සේ තාත්තා මැනිලාවේ තමයි ඉඳලා තියෙන්නේ මැනිලා රටේ සේවය කරමින් කලක් හිටපු තාත්තාට භාෂාවන් ගණනාවක් කතා කිරීමට පුළුවන්. නමුත් ඔහු ලංකාවට පැමිණියාට පසු නාඩගම් ශිල්පියෙක් ලෙස කටයුතු කරලා තියෙන්නේ. මගේ මව අකුරු ලියන්න, කියවන්න දන්නේ නැහැ. තාත්තා නාඩගම් ගුරුවරයෙක් වගේම ධීවර කර්මාන්තයෙත් යෙදිලා තියෙනවා. ඔහු ඔරු හදනවා, ඒ හදන ඔරුවලම නැඟිලා මුහුදු රස්සාවටත් ගිහින් තියෙනවා. ඒ වගේම මද්දල සංගීත භාණ්ඩය හදනවා. සංගීතයත් සපයනවා. ඉංග්‍රීසි හොඳින් කතා කරනවා. මිනිස්සුන්ට හරි පුදුමයි මගේ තාත්තා ගැන. මිනිස්සු ගරු කරනවා. ගමට හිටපු උගතෙක් විදිහට තමයි ඔවුන් මගේ තාත්තාට සැලකුවේ. මම අදටත් හිතනවා තාත්තාගේ ආභාසය තමයි අපිට තියෙන්නේ කියලා. හේතුව තාත්තා භාෂාවට හරිම දක්ෂයි. චතුරව ඉංග්‍රීසි කතා කරනවා. මට හිටියේ එක අක්කා කෙනකුයි අයියලා පස්දෙනකුයි.

මුලින්ම පාසල් ගියේ නූපේ, සී. සී. පාසලට. ඒ කියන්නේ ‘සිලෝන් චර්ච්’ පාසලට. එය මිෂනාරි පාසලක්. මම අවුරුදු දහය වන විට සිංහල ජ්‍යෙෂ්ඨය සමත්වෙලා මහා මන්තින්ද පිරිවෙනට ඇතුළු වුණා. ඒ පිරිවෙනේ ප්‍රාචීන පණ්ඩිත විභාගයට ඉගෙන ගත්තා. පාලි සංස්කෘත ඉගෙන ගත්තා. ඔය කාලෙම තමයි පිරිවෙනේ ඉංග්‍රීසි මාධ්‍ය පාසල ආරම්භ කළේ. මම පිරිවෙනේ සිංහල මාධ්‍ය පාසලෙන් අස්වී ඉංග්‍රීසි මාධ්‍ය පාසලට ඇතුළත් වුණා. කෙසේ හෝ 1950 වෙද්දි ජ්‍යෙෂ්ඨය සමත්. 1955 වෙද්දි ඉංග්‍රීසි මාධ්‍යයේ ජ්‍යෙෂ්ඨ විභාගයත් සමත්. අපේ කා‍ලයේ හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දුන්නා. ඉංග්‍රීසි අධ්‍යාපනයත් සමඟ අපට සමාජයට හොඳින් මුහුණ දීමට හැකියාව ලැබුණා. ඉගෙන ගන්න කාලේ අඩුපාඩු තිබුණා. නමුත් අයියලා විවාහ වී සිටියත් මට උදව් උපකාර කළා. ඒ කාලේ මම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වී තිබුණ නිසා මට බැංකුවක රස්සාවකට යන්න තිබුණා. නමුත් බැංකුවක රැකියාව කරන්න හිතක් තිබුණේ නැහැ. මගෙ කැමැත්ත තිබුණේ ගුරුවරයෙක් වෙන්න. ඒ යුගයේ ගුරුවරයෙක් වෙන්න නම් සල්ලි වියදම් කරන්න ඕන. ඒකටත් මට වත්කමක් නැති නිසා මං ඒ අදහසත් අතහැරියා.”

එය එසේ නමුදු පුංචිහේවා සිය අරමුණ කරා යන්නට පසුබට නොවූවාය. ඉවසිල්ලෙන් බලා සිටි පුංචිහේවා අවස්ථාව පැමිණි විට ගුරු අවසාන විභාගයට පෙනී සිටියේය. විභාගයෙන් සමත්වීමත් සමඟ ඔහුට ඔහුගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම ගැන අපමණ සතුටක් දැනිණි. “අවසාන විභාගයෙන් සමත්වුණ මට අනුරාධපුර නොච්චියාගම රළපනාව ගොවි ජනපදයේ පාසලක ගුරුපත්වීමක් ලැබුණා. ඒ 1957 අවුරුද්දේ. පාසලේම ළමයි හිටියේ ළමයි තිස්පහයි, පන්ති හතයි. ගුරුවරු දෙකයි. මගේ ගුරු වෘත්තියට ලැබුණ පඩිය රුපියල් දෙසිය හැටහතරයි. ඒ මුදලින් යම් මුදලක් ගෙදරටත් යවලා, කෑම බීමටත් ගෙවලා, මට අවශ්‍ය පොතපතත් අරගෙන යම් මුදලක් අතේ ඉතිරි කරගන්නත් පුළුවන්කම තිබුණා. මම ගුරු වෘත්තියෙන් අපමණ සතුටක් ලැබුවා. පුංචි දරුවොත් එක්ක සේවය කරන එක මට ලොකු සතුටක්. මං ඒ දරුවන්ට ගහන්න බණින්න ගියේ නෑ. දරුවොත් සමඟ සහයෝගයෙන් වැඩ කළා. මගේ බාලවියේදි මගේ අම්මා මැරුණා. අම්මා නැති වෙන‍කොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති. මගෙ ලොකු අයියා සිරිසේන පුංචිහේවා. ඔහු සේවය කළේ ත්‍රිකුණාමල වරායේ. ඔහු මට ඉගෙන ගන්න උදව් කළා. අයියා කොමියුනිස්ට්කාරයෙක්. ඒ වගේම දක්ෂයි. මම දේශපාලනයට යොමුවුණේ අයියා නිසා.

පාසල් වියේ සිටම කොමියුනිස්ට් දේශපාලනයට ඇල්ම දැක්වූ පුංචිහේවා, ඊටත් පෙර හෙළ හවුල් රැස්වීම්වලට යන්නට හුරුව සිටියේය. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තත් සිංහල භාෂාවට වැඩි ඇල්මක් නැඹුරුවක් දැක්වීම නිසා සිංහල භාෂාව, හෙළ හවුලේ හවුල්කරුවන් පැවැත්වූ රැස්වීම්වලට සහභාගි වන්නට ඔහු වැඩි ඉඩක් යොදා ගත්තේය. රළපනාව ගමේ පාසලේ උගන්වන සමයේම 1959 - 1900 අතර කාලය බලපිටිය ගුරු විද්‍යාලයේ ඉගෙන ගැනීමට පුංචිහේවාට අවස්ථාව ලැබිණි. ඒ කාලය අවසන්ව යළිත් අනුරාධපුර, මැදවච්චිය, හේරත්හල්මිල්ලෑව විද්‍යාලයට පත්වීම ලැබ සේවයට පැමිණෙන පුංචිහේවාගේ ගමන් මඟ යළිත් වෙනස් වන්නේ පොත් කියවීමෙනි. “මම අනුරාධපුරයේ ඉන්න කාලේ අනුරාධපුර මහජන පුස්තකාලයට ගියා. මට හිතෙන විදිහට ඒ කාලේ කොළඹ මහජන පුස්තකාලයටත් වඩා අනුරාධපුර පුස්තකාලයේ පොත් තිබුණා. මම හැම සති අන්තයකම පුස්තකාලයට යනවා. පුස්තකාලයේ තිබිලා මට හමුවුණා ඛලිල් ජිබ්රාන්ගේ පොතක්. මම ඒ පොත මිනිස් අසිරිය නමින් සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඒ එක්කම කියවන්නට ලැබුණා අධ්‍යාපනය හා ජීවිතයේ වැදගත්කම ගැන කියැවෙන ක්‍රිෂ්ණමූර්ති ලියූ කුඩා පොතක්. මම ඒ පොතත් පරිවර්තනය කළා. විශේෂයෙන්ම ඒ පොත කියවීමෙන් මගේ ජීවිතය වෙනස් වුණා. මේ සියලු දේවල් කරගෙන යන අතරතුර තමයි ඩඩ්ලි සේනානායක ආණ්ඩුව පත්වුණේ. මගේ මිත්‍රයෙක් හිටියා ඔහු ගම් සභාපති කෙනෙක්. ඩඩ්ලි අගමැතිවීමත් සමඟම මට යන්න වුණා අම්පාර මද්දුම බණ්ඩාර විද්‍යාලයට. අවුරුදු එකහාමාරක් දෙකක් පමණ මම එහි සිටියා. එවකට අධ්‍යාපන ඇමති ඊ. ඇම්. ඊරියගොල්ල මහත්මයා. ඒ කාලේ මාරු කළ ගුරුවරු ගිහින් තමන්ගේ දුක කියලා මාරුව හදාගත්තා. මගේ මිත්‍රයා වූ ගම්සභාපති මට කතා කරලා කිව්වා ‘එන්න මා එක්ක යන්න, මම කතා කරන්නම් ඔබේ මාරුව නතර කරගන්න’ කියලා. නමුත් මම ඊට කැමති වුණේ නැහැ. මම මාව මාරුකර යැවූ පාසලේම සේවය කළා. 1971 අවුරුද්දේ තමයි නැවත කොළඹට පැමිණියේ. ඒ කාලේ වන විට මම විදුහල්පති ශ්‍රේණිය ලබා සිටියේ. කලක් සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළා. ඉන්පසු අංගොඩ රාහුල මහා විද්‍යාලයේ සේවය කළා.”

ජනතාව අතරට විප්ලවය ගෙන යාමට පුංචිහේවා දායක විය. විප්ලවීය කණ්ඩායමේ නිල පුවත්පත වූ ගිනිපුපුර පුවත්පතේ සංස්කාරක කණ්ඩායමේද ඔහු සිටියේය. එකල තරුණයක් අතර බොහෝ ආදරයට පිළිගැනීමට ලක්වූ පුංහේවාගේ පෑන් තුඩින් ලියැවුණ වැකියක් විය. ඒ නම් “විප්ලවය යනු වර්තමාන ධම්මපදයයි“ යන්න

ගුරුවරයකු ලෙස සේවය කළ පුංචිහේවා ඒ වන විට ලේඛන කලාවට ද පිවිස සිටියෙකි. ඔහු ලියූ ලිපි ආදිය ඇත්ත පුවත්පතේ පළවන්නේය. එමෙන්ම ඔහු එකල ඇත්ත පුවත්පතේ නිත්‍ය ලේඛකයකු විය. උපමා කතා, දේශපාලන ලිපි, තීරු ලිපි ආදි සියල්ලක්ම ඇත්ත පුවත්පතට ලීවේය.

“මම ඇත්ත පත්තරේට ලියන්න පටන් ගත්තේ අම්පාරේ ඉන්න කාලේ. මම ලියන ලිපි තැපෑලෙන් යවනවා. ඒවා පළවෙනවා. කොළඹට ආවාට පසු ඒ ලියවිල්ල වැඩි වුණා. ඒ කාලේ මොනතරම් වටින ලිපියක් වුණත් ගෙවීම් අඟල් ගාණට. අඟලට ශත 27යි. ඒක සුළු මුදලක්. නමුත් මම මිල ගැන හිතුවෙ නැහැ. ලිව්වා. ඇත්ත පත්තරේ අපූරු මිත්‍ර සමාගමක් තිබුණා බී.ඒ. සිරිවර්ධන (කර්තෘ), සුරත් අම්බලන්ගොඩ (උපකර්තෘ), සිරිලාල් කොඩිකාර හා මම තමයි ඒ මිත්‍ර සංගමයේ හිටියේ. ඇත්ත කාර්යාලය ඉදිරියේ ගහක් යට ඉඳගෙන අප කතාබහ කරනවා. මේ කතාවට හැමදේම අන්තර්ගතයි. රටේ තත්ත්වය, සාහිත්‍යය, උපහාසය එක රස ගුලාවක්. සිරිලාල් කොඩිකාර මහතාට හොඳ දැනුමක් තිබුණා ජාතක කතා පොත, බුදු දහම, සංස්කෘතිය ගැන. ඔහුට හොඳ ඉවසීමක් තිබුණා. දවසක් මට මතකයි සුරත් අම්බලන්ගොඩ කුමකට හෝ සිරිලාල්ට බැන්නා. සිරිලාල් සද්ද නැතිව අහගෙන ඉඳලා ‘බොහෝම ස්තුතියි” කිව්වා. සුරත් පුදුම විදිහට නිහඬ වුණා ඒ ඇසිල්ලේ. මේ මිත්‍ර සමාගම නිසා මගෙ දැනුම වැඩිවුණා. එය මට හොඳ පන්නරයක් වුණා. සෝවියට් සාහිත්‍ය ගැන හදාරන්න කියවන්න ලැබුණෙත් ඔය කාලෙමයි. මේ කාලේ තමයි කවුරු හෝ ගිහින් වීරසිංහ මල්ලිමාරච්චිට කියා තිබෙන්නේ කොමියුනිස්ට් පක්ෂය සම්බන්ධව තිබූ බැඳීම. මට මතකයි එකම ලැයිස්තුවෙන් ගුරුවරු දාහතරක් මාරු කළා. ඒ දාහතරෙන් දහතුනක්ම මල්ලිමාරච්චි ගාවට ගිහින් මාරුව හදාගත්තා. නමුත් මම ගියේ නෑ. මම මට දුන්න පාසලට ගියා. ඒ 1978 අවුරුද්දේ. පාසල තිබුණේ හම්බන්තොට ප්‍රදේශයේ. 1980 මහ වැඩවර්ජනය ආවා. මමත් එයට සම්බන්ධ වුණා. එයින් මගේ රස්සාව නැති වුණා. මම කල්පනා කළා දැන් මොනවද කරන්නේ කියලා. ඒ අනුව තමයි මම අතරමඟ නතර කර තිබූ නීතිය යළි හදාරන්න පටන් ගත්තා. නීති උපාධිය සමත්වී දිවුරුම් දුන්නා. ඔය කටයුතු කෙරීගෙන යන අතරේ ‍ලෝක කම්කරු සංවිධානය මෙහෙට නියෝග කළා අපේ රැකියා නැවත ලබාදෙන්න කියලා. මට යළිත් රස්සාව ලැබුණා. එවර ලැබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පාසලකට. වසර කිහිපයක් උගන්වා මම ගුරු වෘත්තියෙන් ඉවත් වුණා. ඉන් පස්සේ 1988 - 1989 කාලය මම හොරණ උසාවියේ නීතිඥයකු ලෙස කටයුතු කළේ. 1989 වන විට රටේ පැවැති කලබලත් එක්ක හොරණට යන්න කරදරයි. මඟ මිනී පුච්චලා තියෙනවා. පාන්දර අඳුරේ යන්න එන්න බෑ. ඒ නිසා මම කොළඹ උසාවියට මාරු වුණා. 1981 අවුරුද්දේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළා. මෙයින් අපට විශාල මුදලක් ලැබුණේ නෑ. සුළු මුදලක් ලැබුණා. විදේශවල ඉන්න මිත්‍රයෝ තමයි මුදල් එව්වේ. මම කවදත් මුදල් පසුපස හඹා ගිය කෙනෙක් නෙමෙයි. මම කොමියුනිස්ට් පක්ෂයේ කටයුතු කළේ. නමුත් මම ඒ පක්ෂයෙන් ඉවත් වුණා. ඒ කාලේ ඉන්දික ගුණවර්ධන කඩුවෙල ආසනයේ හිටියේ. ඔහුට පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න දුන්නේ නෑ. ඔහු ස්වාධීනව වැඩ කළා. ඒ නිසා පක්ෂය අපව අස්කළා. ඇත්තම කිව්වොත් පක්ෂයෙන් අස්වුණා නෙමෙයි අස්කළා කිව්වොත් නිවැරදියි. නමුත් මම හිතන්නේ අපි ඔවුන්ව අස්කළා කියලා. මම මුදල් උපයන්න නීති වෘත්තිය යොදා ගන්නේ නැහැ. සංවිධානයෙන් මට මසකට රුපියල් 10,000 ලැබුණා.”

ලේඛන කලාවට දැඩි ඇල්මක් දැක්වූ පුංචිහේවා චීන ලේඛකයකු වූ ලූ ෂුං ව සිංහල ලේඛකයාට හඳුන්වා දෙන්නට මුල් වූවෙකි. ලූ ෂුං පිළිබඳ ඔහු මුල්වරට ඇත්ත පුවත්පතට ලීවේය. එස්. ජී. පුංචිහේවාගේ භාෂාවේ ඇති ප්‍රබල රිද්මය ලූ ෂුංගේ මතවාදයේ දෝංකාරයට මනාව ගැළපුනි.

හැමවිටම මුදලට නොව තම යුතුකම, කළ යුතු සමාජ මෙහෙවරට මුල්තැන දුන් පුංචිහේවා සැමවිටම උත්සාහ දැරුවේ මේ සමාජයට, උදව් ඇවැසි අයට උදව් කිරීමටය. 

ගුරුවෘත්තියේ සිටින අතරම ඔහු 1972 වසරේ විවාහ දිවියට එළැඹෙන්නේය. ඒ කාලේ වන විට දෙදෙනාම සිටියේ එකම පාසලේය.

“මගේ නෝනාගේ ගම රුක්මලේ. අපි පාසලේදි දැන හඳුනා ගත්තේ. මගේ දේශපාලනය, මම කරන කියන දෑ හැමදෙයක් ගැනම ඇය දන්නවා. ඇය සුමනාවතී පෙරේරා. අපි පදිංචි වෙලා ඉන්නේ ඇයට පවුලෙන් ලැබුණ ඉ‍ඩමේ. ජීවිතයේ මහා බලාපොරොත්තු නොතිබුණ අපි අතට මුදල් ලැබෙන විදිහට නිවෙස හදාගත්තා. අපට දියණියක් ඉන්නවා. දුව සරෝජා පුංචිහේවා. අපට මුනුපුුරෙක් හා මිනිබිරියක් ඉන්නවා. බිරිඳ ඒ කාලේ සිටම මා ලියන දේවල් කියවනවා. ඇය පාසල් වියේ දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. මමත් පාසල් වියේදි ෆුට්බෝල්, වොලි‍බෝල්, පිහිනුම් ක්‍රීඩා කළා. මගේ පියා හිටියේ ගමේ. අවුරුදු 96ක් ආයු විඳ මිය ගියේ. සහෝදරයන්ගේ දරුවෝ ඉන්නවා. මම පොතපත ලිව්වේ බොහෝම කැමැත්තෙන් ආසාවෙන්. මට ඕන වුණේ මේ සමාජයට යමක් කියන්න. එහෙම නැතිව ප්‍රසිද්ධියටවත් ජනප්‍රිය වෙන්නටවත් මම කිසිවක් ලිව්වේ නැහැ. මේ වන විට මම පොත් හතළිහක් පමණ ලියා තිබෙනවා. ඒ පොතපත අතරින් බොහෝ කෘති ලියැවී තිබෙන්නේ මානව හිමිකම් පිළිබඳව.”

ජාතික ඇඳුමට මුල්තැන දුන්, වෘත්තීය නීතිඥයකු වන, දිගුකලක් පාසල් ගුරුවරයකු ලෙස කටයුතු කළ, පක්ෂ දේශපාලනයේ නියුතු වූ විශිෂ්ට ලේඛයකු වන එස්.ජී. පුංචිහේවා නම් වූ මේ විද්වතා මෙතරම් සරල වූ‍‍යේ කෙසේද?

“ඒ කාලේ නීතියට ලොකු තැනක් තිබුණා. මම මුල ඉඳලම ජාතික ඇඳුම ඇන්දේ. කොහොමත් කලිසම් කෝට් ඇඳලා උසාවි යන අයට වඩා නැෂනල් ඇඳලා උසාවි යන අයට ඒ යුගයේ හොඳ පිළිගැනීමක් තිබුණා. මට අදටත් මතකයි මගේ මුල්ම පාසලට ගිය අවස්ථාවේ සිදුවුණ දෙයක්. මට එය අදටත් අමතක කරන්න බෑ. එදා මම පන්තියේ ගුරු පුටුවේ වාඩිවෙලා නම් ලකුණු කරනවා. පොඩි එකෙක් එතැනට ඇවිල්ලා එතැන තිබුණ පොත පෙරළනවා. මට හිතුනේ මේ පොඩි එකාට මේ පොත පෙරලන්න වැඩක් නෑනේ කියා. මම එකවිටම කිව්වා “හා හා අල්ලන්න එපා” කියලා. පොඩ්ඩා මගෙන් අහනවා “එහෙනම් මහත්තයා අල්ලන්නේ” කියලා. ඒ දරුවා එහෙම ඇහුවා ම මම කඩා වැටුණා. ඒ පොඩි එකා මගෙ අහංකාරකම නැති කළා. පොඩි ළමයි හරිම අව්‍යාජයි. මං එයාගෙන් පාඩමක් ඉගෙන ගත්තා. අනිත් දේ තමයි මගේ ගුරු ජීවිතයේදි කියන්ට ලැබුණ හොඳම කවිය. එය ලියා තියෙන්නේ රැපියෙල් තෙන්නකෝන් මහත්මයා. ඔහු ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට ගිහින් ඇවිල්ලා පසුව ගුරු වෘත්තියට ආව කෙනෙක්.

මේ එතුමා කියූ කවියක්.

නිසිදේ ඉගෙන ගන්නට මඟ කියා නොදී 
බැටදේ තමුන් කළ කළ දේ යයි වැලකී 
කොවිටේ බලය එනවා නම් නුවණ ඇදි 
මෙරටේ ගොනු පඬිදුන් වනු ඇත ළඟදි

මට මේ කවිය බොහෝම ආස්වාදයක් ගෙන දුන්නා. දැනට අවුරුදු හැත්තෑවකට උඩින් ලියැවුණ කවියක්. නමුත් එයින් නීතිය, සමාජය, හැම දේ ගැනම කියැවෙනවා. අපේ කාලේ පාසල් දරුවන්ට ටියුෂන් තිබුණේ නෑ. ගුරුවරු බොහෝම කැපවීමෙන් දරුවන්ට ඉගැන්නුවේ. අදටත් මට කතා කරන දරුවෝ ඉන්නවා.“ එස්. ජේගේ ඇසුර ලබමින් බිහි වූ තවත් ලේඛකයන් දෙදෙනකු සිටියේය. ඔවුන් ගැන ද මතක් නොකරම බැරිය. එක්කෙනෙක් නැසීගිය පියසේන කහඳගමගේය. අනෙක් කෙනා නම් දෙනගම සිරිවර්ධනයන්ය. ජීවිතය මුදලට යට නොකළ නීතිය මුදලට නොවිකිණූ පුංචිහේවා බොහෝ සරල දිවිපෙවත් ගත කරන්නෙකි. වරෙක ඔහු තම ඇසේ ශල්‍යකර්මයක් කිරීම සඳහා තමන්ට තිබූ වාහනයද විකුණා දැම්මේය.

පුංචිහේවා මේ ගෙවන්නේ තම දිවියේ අසූඅට වැනි වියයි. නමුදු ඔහු තවමත් ක්‍රියාශීලීය. පොතපත ලියන්නේය. පුවත්පත්වලට ලියන්නේය. එමෙන් ඒ හා සම්බන්ධ දේශන ආදියට සහභාගි වන්නේය. “මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. තවමත් මට ලියන්න පුළුවන්. නිකරුණේ කාලය ගෙවා දමන්න බෑ. මගේ නිවසේ ඇති මේ පොතපත කියවමින් මම දවස ගෙවනවා. අලුතින් පොතක් ලිවීමට අදහස් කර සිටිනවා.” සමුගන්නා මොහොතේ ඔහු පැවැසුවේ එවැන්නකි.

ඡායාරූප - රුවන් ද සිල්වා

Comments