නමස්කාර පාඨයෙන් ආරක්ෂාව සලසා ගන්න | සිළුමිණ

නමස්කාර පාඨයෙන් ආරක්ෂාව සලසා ගන්න

ලොව ඇති බලවත්ම වචන පාඨ‍ෙයන් දෙලොවම ජය ගත හැකි බව දන්නවාද? 
‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...’ 

මේ නමස්කාර පාඨයට ජීවිතවල යස ඉසුරු, සැප කැන්දන මහා බලයක් තිබේ

මෝ - සාතා ගිරි නම් යක්ෂයා තම විමානයට යාමට අහසින් ගමන් කරද්දී, බුද්ධ ගයා ශීර්ෂයට ඉහළින් ගමන් කරන්නට තෙවරක් උත්සාහ කොට නොහැකි වුණ විට ඒ ගැන විමසා බැලුවේය. එවිට අප මහා බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටින බව දැන ගත්තේය. බුදුරජාණන් වහන්සේගේ (බුදු ශීර්ෂයට උඩින් ගමන් කිරීමට සමත් කිසිවෙකුත් මේ තුන් ලෝකයේම නැත.) මේ දුටු යක්ෂයා තුෂ්ණිම්භූතව "නමෝ" කියා නමස්කාර කළේය. "න" යනු නරකය හා පාපය වළක්වන බැවින් "‍මෝ" යනු නිවන් මඟට හෙවත් මොක් පුරයට පමුණුවන බැවින් මෙම අරුත ගැබ් කොට "නමෝ" කියා වන්දනා කරන ලදී. මේ බුදුරදුන්ට කෙනකු වන්දනා කළ මුල්ම වචනය එය ලෙස සැලකේ.

තස්ස - සියලුම සත්වයන් හට මෝක්ෂය, නිවන ළඟා කරදෙන මාර්ගය පෙන්වා දෙන. පෙරුම් පුරන කාලයේ පටන් ලෝක සත්ත්වයා වෙත පතළ අසීමිත කරුණාවෙන් ක්‍රියා කිරීමත් කෙරෙහි පැහැදුණු රාහු අසුරේන්ද්‍රයා "තස්ස" කියා නමස්කාර කරන ලදී.

භගවතෝ - සියල්ලන්ගෙන්ම උත්තම වූ හා සියල්ලන්ගේම කෙළ පැමිණි හෙයින්ද සංසාර චක්‍රය සිදලූ හෙයින්ද ස්වකීය ඥානයෙන් සියල්ල අවබෝධ කළ බැවින් සතර වරම් මහරජ දරුවෝ "භගවතෝ" කියා තෙවනුව නමස්කාර කළහ.

අරහතෝ - සකල කෙලෙස් මූලයන් සිඳ බිඳ දැමූ හෙයින් ‘අර‘ - යනු කෙසේ ද ‘හතෝ‘ යනු සිඳීම ද කියැවේ. පුරින්දද හෙවත් ශක්‍රදේවේන්ද්‍රයා "අරහතෝ" කියා සිවු වෙනුවත් නමස්කාර කරන ලදී.

සම්මා සම්බුද්ධස්ස -

මිනිසුන්, දෙවියන් බඹුන් ඇතුළු සකල ලෝක සත්ත්වයාගේම ගෞරවයට, වන්දනාවට, පූජාවට ‍ශ්‍රේෂ්ඨතම, උතුම්ම බව සනාථ කරමින්

(තවත් බොහෝ අරුත් ඇත) සහම්පතී නම් මහා බ්‍රහ්මයා සම්මා සම්බුද්ධස්ස කියා අවසානයට නමස්කාර කළේය. මෙම නමස්කාර පාඨය මුල්වරට කියා ලොවුතුරු බුදු පියාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ආරාධනා කරන ලද්දේ සහම්පති මහා බ්‍රහ්මයා විසින් බව ධර්මයේ සඳහන් වේ.

මෙවැනි බලගතු වචන එකතුවක් බෞද්ධයන් වන අප සසර පුරාවට අසන්නට කියන්නට ලැබෙන්නේ මේ බුද්ධ කල්පයේදී හා මේ මනුෂ්‍ය දිවියේදී පමණක් බව සිතට ගෙන ඒ තුළින් ලබාගත හැකි ආශිර්වාදය, ආරක්ෂාව, දියුණුව, රෝගා පීඩාවලින් වැළකී සිටීම සඳහා පිහිට ලබා ගැනීමට කටයුතු සිදු කළ යුතුය.

‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 
වම්මා කරද්ධ ගසමො අම්බුභතො නතො සස්ස තස්ස 
සතෝ තම්බු භග නම්මා අස්සද්ධතො වමො සරහස්ස 
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස‘ 
ඒතේන සච්ච වජ්ජේන හෝතු (තෙ) ජය මංගලං 
ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝග විනස්සතු 
අවසානයට ‘තෙ‘ අනුන්ට කියන කලටත් 
‘මේ‘ තමන්ට කියනා කලටත් යොදාගන්න.

සියලු පිළිවෙත් ඉටු කර ගැනීමට ප්‍රථම ඉස් සෝදා නා පිරිසුදු වී ද ශරීරය සුවඳවත් කොට පිරුවට ඇඳිය යුතුයි. නිදහස් තැනක නැඟෙනහිර බලා බිම (එරමිණිය ගොතා) වාඩිවන්න. නවගුණ වැලත් අතට ගෙන දණහිස් දෙක උඩ දෙඅත් තබා අල්ලා උඩු අතට තබා ගත යුතුයි. කොන්ද ඍජුව තබාගෙන හොඳින් හුස්ම ගෙන සිත එක අරමුණක තබා ගන්න. ඉහත සඳහන් බලගතු නමස්කාර පාඨයේ අරුත මෙනෙහි කරමින් දහස්වර - (1000) අඛණ්ඩව කියවා ගත යුතුයි. සිත සමාධි ගත කර ගතහොත් ප්‍රතිඵල බලවත්වේ. මෙම පිළිවෙත දින 7ක් නොකඩවා කළ යුතුයි. ඉතා පිරිසිදුව නිර්මාංශව කළ හැකි නම් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. දින 7 පූර්ණ වීමෙන් ඔබ බලවත් පුද්ගලයකු බවට පත්වේ. ඔබ වටා සුවිශේෂ බලයක් හා මානසික ශක්තියක් ඇති බව ඔබටම දැනෙනු ඇත. මෙම ශක්තිය ඔබගේ ශක්තියක් නොවන බව හා විශ්ව ශක්තිය හා බුද්ධ බලය බව සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි.

මස්, මාංශ, පිළී වර්ග, මත්වතුර, දුම්වැටි ආදියෙන් හැකිතරම් වැළකී කටයුතු කළ යුතුයි. සම්පූර්ණයෙන් වෙන්විය හැකි නම් වඩාත් ගුණයි.

ධාන්‍ය වර්ග, එළවළු, අල වර්ග, පලා වර්ග, කිරි, පලතුරු පමණක් ආහාරයට ගැනීමෙන් ධාරණ ශක්තිය තවත් වැඩිදියුණු වේ.

දෙසඳුන් ගලගා (සුදු හඳුන් - රත්හඳුන්) කෑලි ගෙන පිරිසුදු කළු ගලක අතුල්ලා උරච්චි කර ගන්න. කුඩුවර්ග ගන්න එපා. දහස්වර පිරිත්කර නඩු හබවලට තිලක තබා යනු මහත් ජය ඇතිවෙයි. ‍රන් තැඹිලි තෙල් පිරිසුදුව සිඳ පිරිත් කර (නමස්කාර ගාථාව) ළඟ තබා ගන්න. තිලක දී යන්න මහා බලයක් ඔබ වටා ගොනුව සුරැකේ.

හොඳ පිරිසුදු හඳුං කූරුවලට දහස්වර මතුරා ළඟ තබාගෙන යාන වාහන වලට උදේ කාලයේ ගමන් යාමට ප්‍රථම නමස්කාරය සිහි කරමින් දල්වා දුම් අල්ලන්න.

නිවාසවලට හා ව්‍යාපාරික ස්ථාන වලටත් මෙසේ කිරීම ගුණදායකයි.

අධික ලාභ ලැබීමට උදේ - සවස දින 7ක් වරකට දහස්වර බැගින් පුරවා අෂ්ඨ ගන්ධ ධූපය සකසා මේ ගාථාව සිහි කරමින් නිවසට හා ව්‍යාපාරික ස්ථානයට මැණික්, රත්තරන් ලාභ ඇති තැන්වලට දුම් අල්ලන්න. මස් මාංශ විකුණන්නේ නැති සාධාරණ ව්‍යාපාර වලට දුම් ඇල්ලීමෙන් උසස් ශීඝ්‍ර දියුණුවක් ඇති කෙරේ.

අෂ්ඨගන්ධ ධූපය සාදාගන්න හැටි පසුගිය ලිපියේ සඳහන් කොට ඇත.

අධික රුධි පීඩනය හා ලේ සම්බන්ධ සියලු රෝගා හා දෝෂ වලට නෙළුම් අල හා කොල්ලු එකට දමා සුප් එකක් සාදා ලුණු නොදමා මෙම ගාථාවෙන් 108 වර මතුරා දින 7ක් නොකඩවා දෙන්න. පුදුම ගුණයක් ඇති වෙයි.

•නිවාසයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් සම්පූර්ණ ආරක්ෂා කර ගන්නා ක්‍රමය

නොඉඳුල් රන්තැඹිලි තෙල්, නොපෑගුණු වැලි, තිරිවාන ගල්, යබර, වීදුරුකටු, කුඹුරු ඇට, පස්ලෝ කටු, ඇත්රූප.

මේවා පිරිසුදුව ගෙන පංචෝපකාර සහිත මල් අසුනක් සාදා ඒ මත මේ සියල්ල තබාගන්න.

ගේ සතර කොණ මල් පැල් සතරක් සාදා ඒවාට මල්, පහන්, සුවඳ පූජා කරන්න. මල් වර්ග 4ක් ගෙන එක් වර්ගයක් එක පහන් පැළකට වන සේ පූජා කරන්න. පිරිත් නූලක් වටේට ඇද එහි අවසන් කෙළවර මල් අසුනට රැගෙන එන්න.

බුද්ධ වන්දනාව සිදුකොට තුන් සූත්‍රය 3 වර බැගින් 9 වරක් වනසේ සජ්ඣායනා කරන්න. ඉන්පසුව මෙහි සඳහන් ගාථා රත්නය 1000 වර බැගින් වරු 3ක් පිරිත් බල පිහිටුවා ගන්න. මෙසේ බලපිහිටුවා ගත් ද්‍රව්‍ය කුඩා මුට්ටි වලට අසුරා නිවසේ සතර කොණ අට කොණ නොපෑගෙන ලෙසට තැන්පත් කරන්න. පස්ලෝකටු හා රන්තැඹිලි තෙල් කුඩා කුප්පිවල අසුරා වහලේ හතර කොණ අට ‍‍කොණ එල්ලන්න. මස්, මාංශ කිලි පලා වර්ග , මත්පැන් භාවිතා කිරීම මෙම ස්ථානවලට රැගෙන ඒම පවා අවැඩ සිදුවෙයි.

නිවෙස්වලට ඉඩම්වල අරක්ගෙන සිටින භූත ගෙවල් යකුන් පලවා හැරීම සඳහා පස්තෙල් වලට මෙම ගාථාවෙන් පෙර සඳහන් වත්පිළිවෙත් පුරවා දහස්වර බැගින් දින 3ක් බලගන්වා රාත්‍රියේ සියලු පහන් නිවා දමා නිවසේ ගේමැද හෝ ඉඩමේ හතර වට මෙම තෙල් දමා පහන් දල්වා තබන්න. රාත්‍රී 9න් පසුව කළ යුතුයි.

පහන ගිනි ගැනීමට ඉඩ දෙන්න එපා. තෙල් තිර අවසන වන විට දිය ස්වල්පයක් ඉස පහන් නිවා දමන්න.

දින 7ක් නොකඩවා කළ යුතුයි.

නමස්කාර පාඨයෙන් හා ගාථා රත්නයෙන් කළ හැකි හාස්කම් බො‍හෝමයක් තවදුරටත් ඇති බැවින් මෙම ලිපියෙන් එය අවසන් කළ නොහැකිය. නමස්කාර පාඨයෙන් කළ හැකි හාස්කම් හා රතන සූත්‍රයෙන් කළ හැකි හාස්කම් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

වල්පොළ සද්ධානන්ද හිමි

Comments