නන්නාඳුනන්නෝ | සිළුමිණ

නන්නාඳුනන්නෝ

දුලාජ්ට පොඩි කාලෙ ඉදලම තිබුණෙ පත්තර කලාව ගැන පිස්සුවක්.... 88 - 89 භීෂණ කාලෙ 8 වසරේ හිටපු නිසා පත්තරයක් කියවන්න හැතැප්ම දෙකක් විතර දුර කඩයකට යන්න පුරුදු වෙලා හිටියා. කඩේ තිබුණෙ සිරිමාගම ගම මැද. ඒ සති මැද බදාදාට නිකුත් කෙරුණ අද ලංකාවෙ ජනප්‍රියම පත්තරයක් කියවන්න....

භීෂණය අවසන් වීමත් සමඟම ඔහුගේ ආසාව ඉෂ්ට කරගන්න නොගත් උත්සාහයක් නෑ, ලිපි ලියනවා. කවි ලියනවා. නිසදැස් ලියනවා. ඒ සියල්ලත් පත්තරවල පළවෙනවා. කවදා හෝ පත්තරකාරයෙක් වෙනවා කියන හීනයත් එක්කම හිටපු දුලාජ් අවුරුදු කිහිපයකට කලින් ගමෙන් පිට වුයේ එක්තරා පුවත්පතක ආධුනිකයකු ලෙස සම්බන්ධවිමේ අවස්ථාව ලද බැවින්.

ගමෙන් කොළඹට එන ඔහු පත්තර කලාවට ආධුනික කොලුගැටයෙක් වුවද වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නෙ ලංකාවෙ නමගිය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් එක්ක.

දුලාජ් අවුරුද්දෙන් අවුරුද්ද වෘත්තීය පරිණතභාවය දියුණු කර ගන්නවා. ලංකාවේ ප්‍රසිද්ධ යැයි සැලකෙන මාධ්‍යවේදීන්ගේ ඇසුර ඔහුගේ ජීවිතය අලුත් කරනවා. තමන්ගෙ පුද්ගලික ජීවිතයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔහු කැපකරන්නෙ ඉතාම සුළු වෙලාවක්. තමන්ටම කියා නිෙවසක්, ස්ථීර රැකියාවක්, කසාදයක් ආදී මේ සියල්ල පසුපසට දමමින් ඔහු සිය රැකියාවට මුල්තැන දෙන්නෙක් බවට පත්වෙන්නේ ඔහුටත් නොදැනීමයි.

නිමක් නැති කැපිලි කෙටිලි හමුවේ දුලාජ් බොහෝ ඉවසිල්ලෙන් තම ගමන යන්න හිතා ගන්නවා. විවාහයක් ගැන නොසිතා හිටපු දුලාජ්ට කුමාරි හමුවෙන්නෙත් පත්තර රස්සාව නිසාමයි. රස්සාව නිසා කිව්වට කුමාරි පත්තරකාරියක් නෙමෙයි. හැම සති අන්තයකම කෝච්චියෙන් ගමට යන දුලාජ්ට කුමාරි හමුවන්නේ කෝච්චියෙදී. දිගු කොණ්ඩය සිහින් මුහුණ, දිගු ඇස් දුලාජ්ගේ හිත ගන්නේ දුලාජ්ටත් නොදැනිමයි. මනමාලකමක් හිත නොතිබුණද දුලා ඒ ඇස් දෙක දිහා බලා හිටියේ වශී වෙලා වගේ. එක පිට සති අන්ත කිහිපයක් හමුවුණ දෙදෙනාගේ කතාව දුර දිග යන්නේ ජීවිතයේ ලොකු වෙනසකට මුල පුරමින්. වැඩිහිටි ආශිර්වාදය ලැබ දුලාජ් කුමාරිගේ අත ගන්නේ එක් වෙසක් මාසෙක. එහෙට මෙහෙට පැද්දි පැද්දි තිබූ තමන්ගේ ජීවිතේ පටන් ගත්තේ කුමාරිගේ පැමිණිමත් එක්ක කියලා දුලාජ් තනිවම හිතූ වාර අනන්තයි. දුව, පුතා සමඟ ගෙවන ජීවිතයේ සොදුරු බව මනින්න මිම්මක් හොයා ගන්න දුලාජ් හැම විටම වෙහෙසුණා. මේ හැම සතුටක් සොම්නසක්ම අකා මකා දමමින් සිටි යුගයකයි කොවිඩ් 19 පළමු රැල්ල එන්නේ. ඒ මොන රැල්ල තිබුණත් රැකියාවට යන්නට දුලාජ් අමතක ක‍ළේ නැහැ.

සති අන්තයේ ගෙදර යන දුලාජ් සදුදාට කොළඹට එන්න බස් එකකට නගින්නට පාරට බහින්නෙ පාන්දර හතරට. එදත් දුලාජ් සුපුරුදු විදිහටම පාරට ආවා.

තවත් එක් සදුදා දිනයක දුලාජ් පාරට ආවේ පාන්දර හතරට. ඒ කොළඹ බලා යන බස් රථය බලාපොරොත්තුවෙන්.. කොළඹ යන බස් රථය දුලාජ් නැතිදාට ඉදිරියට ඇදෙන්නෙ ඉබි ගමනින් බව රියැදුරු නිමල් නිතර කියන කතාවකි. සුපුරුදු විදිහට කොළඹ බස් රථය බලාපොරොත්තුවෙන් හිටපු දුලාජ්ට කොරෝනා පළමු රැල්ල මතකයට ආවෙ පාරට ඇවිත් විනාඩි ගණනක් ගියාට පස්සේ.

“අද නම් බස් එකක් එන හඬක්වත් ඇහෙන්න නෑ....“ යටි සිතින් මුමුණ මුමුණ මහ පාරේ කාලය ගෙවමින් හිටියා. වටෙන් පිටෙන් එළිය වැටීගෙන එනවිට දුලාජ් තව තවත් නොසන්සුන් වුණා. රැකියාවට කෙසේ හෝ යා යුතු යන මතයේ සිටි දුලාජ් පාර පුරා කලබලෙන් ඇවිදින්නට වුණා. හිතේ නොසන්සුන්කම මැද්දෙම ඔහුට මේ වෙලාවට කොළඹ බලා පිටත් වන පුලතිසි දුම්රිය ගැන මතකයට ආවා.

ඒ වෙනකොට පුලතිසි දුම්රිය කොළඹට ධාවනය කරන්න පටන් අරගෙන යන්තම් මාස කිහිපයයි. ඒත් ස්ටේෂන් එකට යන්න කිලෝ මීටර් 10ක් විතර දුර නිසා කරන්නේ කුමක්ද කියා ඔහුට එකවරටම සිතුණෙ නැති තරම්.

හතර වටින් ඇසෙන බල්ලන්ගේ සද්දය, කාක්කන්ගෙ කෑ ගිසිල්ල, රැහැයියන්ගෙ ඇඬියාව... ඒ මදිවට ස්පීකර් සද්දෙ... එක ගෙදරක පිරිත්, තවත් ගෙදරක බණ, තව තැනෙක හේවිසි හඬ..එක එක ශබ්ද මැද්දෙන් පැමිණි මෝටර් සයිකලයක් ඇවිත් දුලා ගාවම නතර කළා. මේ මොකක්ද වුණේ කියලා දුලාජ්ට හිතා ගන්නවත් බැරි වුණා.

“මහත්තයා මට කලාවැව ස්ටේෂන් එකට යන්න ඕනෙ.... පුළුවන් නම් පාර කියනවද?” ඒහඬ දුලාජ්ගේ කල්පනාව බිදලා දැම්මා.

“ කලාවැව ස්ටේෂන් එකද? ... ඔතනින් හැරිලා දිගටම යන්න.. එතකොට කලා ඔය හම්බවෙනවා... එතන පහු කරලා යනකොට කලාවැව් බැම්ම උඩට යන්න පුළුවන්... එතැනින් දකුණට දාලා වැව අවසානයේ තුංමං හන්දියෙන් වමට හැරිලා මීටර් 800ක් විතර යනකොට ස්ටේෂන් එක”.

තමන්ටත් මේ ගමන්ම ස්ටේෂමට යන්න තිබුණා නම් හොදයි නේද කියලා දුලාජ්ට හිතුණේ තරුණයා බයිසිකලය යළි පණගන්වනවත් සමඟමයි.

“මල්ලි මල්ලී... පොඩ්ඩක් ඉන්න“.

“මල්ලියා මටත් ස්ටේෂන් එකට යන්න ඕනෙ... කොරෝනා නිසා අදත් කොළඹ බස් නෑ වගේ.... මාවත් දාගෙන යනව ද බං...“ දුලාජ් ඇහුවේ බොහෝම අසරණ විදිහට.

“යමු යමු...“ආගන්තුකයා එහෙම කිව්වේ යතුරු පැදියේ පිටුපස අසුන දෙස බලමින්. දුලාජ් කඩිනමින් යතුරුපැදියට නැග්ගා... හිස් ආවරණ ගැන හිතන්න දෙයක් නෑ.. මේ පාන්දර මොන පොලිස්ද... දුලාජ්ට එහෙම හිතුණා.

කිලෝ මීටරයකටත් වඩා වැඩි දුරක් යමින් සිටියද නාඳුනන තරුණයා හාවක් හූවක් නැතිව බයිසිකලය පදවයි. මේ “මල්ලි“ ගේ කිසිම කතා බහක් නැහැ. ඔහුගේ සිතට ඒ නිහඬ බව අඩුවක් කියලා දැනුණා. මංවත් කතාකරලා බලන්න ඕන එහෙම හිතපු දුලාජ් හඬ අවදි කළා.

“මල්ලි කොහෙ ඉදලද මේ පාන්දර“

යතුරු පැදිය වේගය වැඩි නිසා ඔහුට හඬ නොඇසෙනවා ඇති. තරුණයාගෙන් උත්තරයක් නැති තැන දුලාජ් ට හිතුණා. නමුත් නාදුනන තරුණයා අධික වේගයෙන් යන බව ඔහුට දැනුණා. කරන්න කිසිම දෙයක් නැති නිසා බොරුවක් කියා ඔහුගේ ගමන් වේගය අඩු කිරීම දුලාජ්ට තිබුණු එකම විකල්පය විය.

“මල්ලී ඉස්සරහා ලොකු වංගු දෙකක් තියෙනවා. පන්සලට මෙහායින්... පොඩ්ඩක් හිමින් යමුද?“ කරන්නම දෙයක් නෑ... හයියෙන්ම කනට ළං කරලාම දුලාජ් කෑ කෑගැහුවා.

“ආ හරි හරි....“ පළමු වංගුව පසුකර දෙවෙනි වංගුව ගන්නකොටම... ආපසු අර භයානක ගතියක් ඇඟට එන බව දුලාජ්ට දැනුණා.

“මල්ලි කොහෙ ඉදලද එන්නෙ. මොකද මේ පාන්දරින් කලාවැව ස්ටේෂන් එකට යන්නෙ... කවුරු හරි එක්කන් එන්නද?“

දුලාජ්ගේ එකම ප්‍රශ්නයකටවත් තරුණයාගෙන් පිළිතුරුක් නොවීය. ඒ වන විට කලාඔයත් පහු වෙලා... “මල්ලි ඔන්න අලි මාරුවෙන තැනක් තියෙනවා... පොඩ්ඩක් හිමින් යමු“

“අලි... අලි... අලි ඉන්නවා ද?“

“ඔව්... ඔව්... හැමදාම අලි මාරුවෙන තැනක් තමයි මේ“ ඒ දුලාජ් ඇඟට පතට නැතිව එහෙම බොරුවක් කියලා දැම්මා.

“කොහෙ ඉදන්ද මල්ලි මේ පාන්දරම එන්නේ“ දුලාජ් ආයෙමත් ඇහුවා.

“අයියෙ මම රත්මලානෙ ඉදලා එන්නෙ... ඊයෙ රෑ 11ට තමයි එහෙන් පිටත් වුණේ...හරි මහන්සියි අයියෙ....“

තරුණයා එහෙම කිව්වේ බොහෝ විඩාබරව. තරුණයා එකදිගට කතා කරන්නට ගත්තේ තමන්ගේ අලි කතාවෙන් පසුව නේදෑයි සිතුණ දුලාජ්ට හිනාවක් ගියා. කොහොම වුණත් තරුණයාගෙන් වචනයක් දෙකක් අහ ගත්තනෙ... දැන් අවුලක් නෑ... දුලාජ් එහෙම හිතමින් සතුටු වුණා.

නොසිතූ විදියට යළිත් තරුණයා බයිසිකලයේ වේගය වැඩි කළා

“මල්ලි මොකක් හරි හදිස්සියක් ද?“ දුලාජ්ට එහෙම ඇසුණේ ඉබේටමයි.

“මල්ලි පඬුරක් දාලා යමුද?“ තඩවර දේවාලය පෙනෙන මානයේදී දුලාජ් තරුණයාට කිව්වා. නමුදු ඊට කිසිම ප්‍රතිචාරයක් නොදුන් තරුණයා බයිසිකලයේ වේගය තවත් වැඩි කළේය.

“ කමක් නෑ වැඩට යන්න පුළුවන්නෙ... මේ මනුස්සයා හමුනොවෙන්න අදත් ගෙදර... රටම වහලා වාහනත් නෑ... .“

“මල්ලි ඔතනින් වමට හරවන්න... දැන් ස්ටේෂන් එක ළඟයි...“

තරුණයා යතුරුපැදියෙ වේගය අඩු කරයි. වමට හරවයි...

“මොකෝ කවුරු හරි ස්ටේෂන් එකෙන් එක්කන් යන්නද මල්ලි යන්නෙ.....“

පෙරටත් වඩා මෝටර් සයිකලයේ වේගය අඩුවන බව දුලාජ්ට දැනුණා. ..

“නෑ අයියෙ... මට ස්ටේෂන් එකට තමයි යන්න ඕනේ.....“

“හරි හරි... තව පොඩි දුරක් යන්න තියෙන්නේ. අපි හෙමින් යමු...

නමුදු තරුණයා වේගය අඩුකරන්නේ නැත. ස්ටේෂන් එක පෙනි පෙනී දුලාජ් “මල්ලි ඇතුළටම යනව ද? මෙතැන නතර කරනවා ද“ කියා ඇසුවේ මහ හඬින්. ප්‍රතිචාරයක් නැති වුවද තරුණයා බයිසිකලය නතර කළේය. ඈතින් පෙනෙන ස්ටේෂම ඉස්සරහ පොලිස් ජීප් රථයක් නවතා තිබෙනු අඬ අඳුරේ වුවද දුලාජ් දුටුවේය. පොලිස් ජීප්රිය දුටු සැනින් දුලාජ්ගේ හිත ගැස්සුණේය.

“මල්ලි මට හෙල්මට් එකක් නෑනෙ.. මෙතැනින් මාව දාන්න

මල්ලි ඔයා මට ලොකු උදව්වක් කළේ.. දැන් පුලතිසිය එන්න ළඟයි... මම මෙතැනින් ඇතුළට යන්නම්...තැන්ක්යු මල්ලි... තැන්ක්යූ“ දුලා නාදුනන යතුරුපැදිකරුට ස්තූතිය කර දුම්රිය පලට ඇතුළුවීමට පය ඉක්මන් කළේය

දුම්රිය ස්ථානයට ඇතුළුවෙන තැනට යනවත් සමඟම ස්ථානාධිපතිවරයා දුලාජ් හඳුනා ගත්තේය.

“ගුඩ් මෝර්නින් අයියෙ... පුලතිසිය මඟ එනවා. “ ස්ථානාධිපතිවරයා කීවේය

දුලාජ් ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ටිකට්පතක්ගෙන වහාම පදික වේදිකාවට ඇතුළු විය.... මගීන් දහයක් දොළහක් දුම්රිය පොළේ රැඳි සිටිනු දුලාජ් දුටුවේය.

පදික වේදිකාව අසල ද පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. මීටරයක් දෙකක් ඉදිරියට ගිය දුලාජ්ට පසුපසින් සුදු ඉටි කොළයකින් වැසූ දෙයක් පදික වේදිකාව මත තිබෙනවා ඇස ගැටිණි.

ඔහුට එය ප්‍රහේලිකාවක් විය. ආපසු දුම්රිය ස්ථානාධිපතිවරයා ළඟට ගිය දුලාජ් “මොකක්ද වහල තියෙන්නෙ“ යනුවෙන් විමැසීය.

“ඊයෙ හවස පුලතිසිය කොළඹ ඉදල එන ගමනෙදී මනුස්සයෙක් හැප්පිලා... මහවට මෙහායින් තමයි වැදිලා තියෙන්නෙ. ඒ බොඩි එක තමයි ඔතැන තියෙන්නෙ...“

“ඊයේ හවස... ඉතිං තාම බොඩි එක මෙතැන ඇයි...පොලීසියෙන් මේක හොස්පිට්ල් එකකට හරි මල් ශාලාවකට හරි ගෙනියන්නෙ නැත්තෙ....“

“කියල වැඩක් නෑ...ඊයෙ රෑ ඉදලම වාහනයක් නෑ... ඇම්බියුලස් එක කැඩිලාලු...

දුලාජ්ට සුසුමක් නැඟිණි. ඔහු දුම්රිය පොළේ එහෙටත් මෙහෙටත් ගියේ අරමුණක් නැතිවය. තමන්ට මදක් එහායින් සිටි පොලිස් උපපොලිස් පරීක්ෂකවරයාට ළං වු දුලාජ්...

“එස්. අයි. මහත්තයා මොකෝ මේ බොඩි එක එළිවෙනකල් ම මෙතන. කොහෙ මනුස්සයෙක් ද මේ“ කියා විමසීය.

“මනුස්සයා හිරිපිටිය කියන ගමේ.. ඒ කියන්නෙ කුරුණෑගලට මෙහා... මිනිහා දුම්රියට වැදිලා තියෙන්නෙ මහව පසු කරාට පස්සෙලු... අපි මෙයාගෙ ඥාති කවුරු හරි එනකල් මේ තවමත් බලනවා... ආවෙ නැත්තන් ඉතුරු ටික කරනවා... දැන් එළිය වැටෙනවානෙ...“ යැයි පිළිතුරු දුනි.

ඒ එක්කම ජැකට් එකක් දා ගත්තු, හෙල්මට් එකක් අතින් ගත් කෙනෙක් පදික වේදිකාව මත තියෙන ඉටි කොළය උස්සලා බලනවා දුලාජ්ගෙ නෙත ගැටිණි...., පුලතිසි දුම්රිය ස්ටේෂම දෙසට එන හඬ දුලාජ්ට ඇතීන් ඇසේ. දුලාජ් ජැකට් එකක් ඇගලා සිටි කෙනා ළඟට ළං විය. මේ ඉන්න කෙනා මාව ස්ටේෂන් එකට ගෙනත් දාපු මල්ලි විය යුතුයි. පාන්දර වුණත් ඒ මල්ලිගෙ හැඩරුවවත්, ජැකට් එකේ පාටවත්, හෙල්මට් එකේ හැඩරුවක්වත් ඔහුට නොපෙනිණි. ඒ මන් ද යත් බයිසිකලයට නැග්ගේ කට්ට කළුවර අඳුරේ බැවිනි. ඇස් වලින් කඳුළු ගැලුවා හැර ඒ මල්ලිව හදුනගන්න ඉරියව්වක් දැක්කෙ නෑ... දුලාජ්ගෙ සිතට දුක සිතුණි.

ඉටි කොළය උස්සා බලන තරුණයාගේ මුහුණ කළු වී... දෑස් කඳුළින් පිරී තිබිණි.

“මේ අර මල්ලිම විය යුතුයි. ඒත් කොහොමද මෙතන කතා කරන්නෙ... උදව්වක් කරන්නවත් වෙලාවක් නැත. කතාකරන්නත් අපහසුයි. ඒත් මේ තරුණයා තමන්ට කළ උදව්ව අමතක කර දැමිය නොහැකිය.

“ඔයා නේද රත්මලානෙ ඉදලා ස්ටේෂන් එක හොයාගෙන දැන් ආව මල්ලි. මමත් දාගෙන ස්ටේෂන් එකට ආවෙ... මොකෝ මේ....“

තරුණයාගේ කඳුළක් ටොක් ටොක් ගා ඉටිරෙද්ද මතට වැටෙයි. ...

“මහත්තයා.. මෙයාගෙ තාත්තා තමයි මේ අනතුරින් මිය ගිහින් ඉන්නෙ... මෙයා දැන් ආවෙ....“ ඒ ඉගිය පොලිස් නිලධාරියාගෙනි.

දුලාජ්ට ඈතින් පුලතිසිය එන හඬ ඇ‍ෙසන්නට විය.

දුලාට ගේ සිත දෙගිඩියාවෙන් පෙළිනි. තමන් දුම්රියට ගොඩවිය යුතුය. නොගියොත් කොළඹ යන්නට වෙනත් ක්‍රමයක් නැත. එහෙත් තමන්ට උදව් කළ නාදුනන තරුණයා මෙහි තනිකර යන්නට ද බැරිය. ඇම්බියුලන්ස් රථයක් එන හඬ ද ඈතින් ඇසෙන්න විය. සියල්ල දම්වැලක් ලෙස සිදු වුව ද කරපු උදව්වට කෘතවේදීත්වයත්, තරුණයා මේ වෙලාවෙ පත්ව ඇති අසරණකමත්, නිසා වචනයක් හෝ කතා කළ යුතුයි දුලාජ්ට සිතුණි. ඔහු ඉක්මනින් තරුණයා වෙත දිව ගියේය.

“මල්ලි මම යන දුම්රිය එනවා... පුළුවන් දෙයක් දුම්රිය ස්ථානාධිපති හරහා කරලා දෙන්නම්. මෙන්න මගේ අංකය කියමින් ඔහු තරුණයා අත තම දුරකතන අංකය සටහන්ව ඇති කාඩ් පතක් තබා සෙමෙන් ඉදිරියට ඇදෙන පුලතිසියේ එල්ලුණේය.

සියල්ල සිදුවන්නට ගතවූයේ විනාඩි ගණනකි. කොළඹ බලා එනවිට විඩාව සංසිඳුුවාලන්නට මුහුණු පොත හෝ වීඩියෝවක් බලමින් වෙනදට එන දුලාජ් දුම්රිය අසුනක් මත ගල්ගැසී සිටියේ කිසිවක් සිතා ගත නොහැකි පරිද්දෙනි. “පව් අර කොල්ලා ඔළුවෙ මොන තරම් ප්‍රශ්න ගොඩක් මැද ගමනක් ආපු කෙනෙක් ද?..“

ඔහු සැණෙකින් නෑඟීි සිටියේය. ඉදිරියේ ඇති දුම්රිය ස්ථානයෙන් බැසගත් දුලාජ් හනි හනිකට පාරට ආවේය. මහ මාර්ගයට පිවිසි ඔහු ත්‍රිරෝද රථයක් සෙව්වේ නොඉවසිල්ලෙනි. ඔහුගේ වාසනාවට මෙන් පිම්මේ පැමිණි ත්‍රිරෝද රිය මදක් ඉදිරියට ගොස් නතර කෙරිණි. දුලාජ් දිව ගොස් එහි වාඩි විය.

කොහාටද රියැදුරු පිටුපස බලමින් විමැසිය

“කලාවැව ඉස්ටේෂමට“ එසේ කියූ දුලාජ් දිගු සුසුමක් හෙළුවේය.

ප්‍රියන්ත බිබිලදෙණිය

Comments