කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ළදලු මුකුලු

ලස්සන නිලඹරේ පාවෙයි සුදුසු වලා
ගුවනේ සරස සි‍යොතුන් සිය දෙතටු සලා
බබලයි තුරුලතා හිරුරැස් පතිත වෙලා
නව නව ළදලු මඳ නල හා මුකුලු කළා

• ඇම්. ඩී. ඇම්. ප්‍රැන්සිස් දොළහේන


රෑ වන වදුල

අවරගිරින් ඉර නෑගම් යනකොට
සැඳෑ වෙළ වියන රතුවෙනවා
අඳුර වැටී රුක් සෙවණැලි යටකොට
නිල් දිය කඳ රත් පැහැ වෙනවා..

ආලෝකය නිවිලා අඳුර ගලන විට
තුරු වදුලේ නිල් පැහැ මැකිලා
අඳුරේ සෙවණැලි රටා මවන විට
ගොම්මන් කළුවර පැතිරෙනවා...

රසවත් ගොදුරක් ඩෑ ගෙන හෙමිහිට
සවස වන වදුලෙ සැඟවෙනවා
සඳ එළියෙන් දුර පාර අසාගෙන
රෑ යාමේ කුස පුරවනවා..

කළුවර අරණට සඳ දිය වැටුණම
රන්පාටින් තුරු බැබළෙනවා
වනයේ ගිජිදුන් පවස නිවන්නට
ගං ඉවුර දිගේ ගාටනවා...

ගගනේ නෙක තරු දිලී නිවෙන විට
තුරු මුදුනේ මල් පූදිනවා
ලෝකයා නොදකින ලොවේ අරුම බව
වන වදුලේ රෑ සැඟවෙනවා....

• සී. පී. අයිරාංගනී


කිරි කුරහන්


හේනේ කුරක්කන් පැළ ටික වැඩෙන තුරා
වැටකොළු පිපිඤ්ඤා එළවළු හැදෙන තුරා
දඬුවැට පුරා ලී දඬු ටික තිබෙන තුරා
මල් පැල රකිමි රෑ දාවල තිබෙන තුරා

ගහ මුදුනේ තිබෙන මේ පැල් කොටය මගේ
විසිතුරු බවක් පෙන්වයි පරිසරය දිගේ
දාවලටත් වඩා රෑ මේ අතර වගේ
කරදර වැඩියි සිවුපාවුන් හතර දිගේ

ගහ පාමුල තිබෙන රෑ ගිනිමැලය සරුයි
ලබු කැටයේ වතුර පවසට සිසිල කරයි
බැදුමට හාල් මැස්සන් රස සුවඳ කරයි
බත් පත ලිහන තුරු සිත ඉවසුමට බරයි

ඉරබටු තරුව රෑ අහසේ පායනවා
සපුමල් කැකුලි ගේ ඇතුළේ ලත වෙනවා
පාළුව කාන්සිය සිත තුළ රජ වෙනවා
මගෙ ගී හඬින් ඇගෙ සිත කුල්මත් වෙනවා

කුරක්කනේ බණ්ඩිය මෝරන කලට
පායා නැඟෙයි පුන්සඳ කවදත් ලෙසට
තෙල් මල් අරන් හේනේ අස්වනු කිරට
පූජා කරමු පන්සල් ගොස් තේ රජුට

• ආරිය භද්‍රජිත් ලියනගේ


මල් දරුවෝ

සිරිලක සතර අත සුපිපුණ වනමල්ය
නැණ ගුණ පිරුණු කල ඒ මල් මනකල්ය
සිහියට නැඟෙන විට සොම්නස සුවිසල්ය
හිත අද්දරට ළංවුණු මල් සල්මල්ය

දහස් පෙති පිච්ච සුවඳයි හතර වටේ
දහස් ගණන් මල් පිපිලා නෙත’ග ගැටේ
වතුසුදු සිනා උතුරනවා පඳුරු වටේ
හැම තක්සලාවම මල් උයනක්ය රටේ

කටු තිබුණට රෝස සුවඳයි හැමදාම
දුටු දුටුවනගෙ සිත පුබුදයි පැහැයෙන්ම
සිටු මැදුරකට වුව ගැළපෙන ගුණදාම
කටු ඇන ගන්න ඕනෑ නැහැ නෙළුවාම

අරලිය, ඉද්ද, සේපාලික යායක්ය
පස් පියුමින් සුසැදි නිල්දිය සිසිලක්ය
හදවත පුබුදු වන පිවිතුරු සුවඳක්ය
සුවඳින් පිරී යන මල් හිත සුවයක්ය

• කුසුමා වර්ණසූරිය


මන්දිරය

හිරිකඩට ඉඩ නොදෙන ලෙස කවුළු වැසෙනවා
ගොර සපුන් ගෙට එතැයි වට පවුරු බඳිනවා
බිතු පියැසි ඉහළ නැඟ සඳ එළිය සොයනවා
ඔබ පැතූ මා පැතූ මැඳුර ගොඩ නැඟෙනවා

ඒත් මගෙ හිත ළඟට කළුවරක් ඇදෙනවා
මාත් පොඩි පුතුත් ළඟ ඒ අඳුර රැඳෙනවා
‘තාත්තේ’ කියා පුතු හීනෙනුත් අඬනවා
ආත්මය ගිනි අරන් වගේ මට දැනෙනවා

කතාවක් නැතිව දින හත අටක් ගෙවෙනවා
ඉතාමත් දුකින් දුරකතනයත් තැවෙනවා
පුතාටත් අමුත්තක් දැනෙන බව හැඟෙනවා
පතා සෙත් ඔබ නමට බෝ සමිඳු පුදනවා

විටින් විට පොඩි පුතා කඩුල්ලට දුවනවා
වටින් කළුවර වෙද්දි මටත් තනි හිතෙනවා
කටින් කට කන නුහුරු කට කතා ඇහෙනවා
පිටින් නොපෙනෙන බියක් තනි හිතට දැනෙනවා

බිංදුවෙන් බිංදුවට කඳුළු පෙළ ගැහෙනවා
දැන් හැඬේවිද බියෙන් පිටි අතින් පිසිනවා
කන් රිදෙන කටකතා හුස්ම හිර කරනවා
මන්දිරය ඉරි තලා යයිද සැක සිතෙනවා

• සාලිය ගුණවර්ධන


සියැටල්ට


වන වදුලු මහා ගස් අතර මැද
වින කටින යෝධ මිනිසුන් ගැනද
හෙණ ගහන ගිගුම් දෙන නින්නාද
කන සිඹියි මිතුර අදටත් නිබඳ...

බැනර් නම් පෝලිමට කලු සුදුව
කටර් ඇත චේන් ෂෝ හඬ නළුව
බටර් රස පෙන්වලා වටකෙරුව
විතර්කය, මහා පුටුවල බොරුව...

පොළොවෙ හැමබිම් වලම කළු හෙළුව
කෙරුවෙ බිම සමතලා නිරතුරුව
හෙලුවෙ සියැටල් ඔබයි උඩුකුරුව
මැරුවෙ උන් අපි නෙමෙයි ගුරු තරුව...

සරු කැලෑ පීරමින් දෙවන වද
දරු අඹුවො හඬන හඬ ඇහෙනවද
දිරූ ගස් කොටන්වල අතර මැද
විරුව! ඔබ අද සොවින් නිදනවද....

අහෝ! මිත ලොවමැ අද අනාථයි
රසෝගයෙ වනස්පති විනාශයි
මහෝගයෙ මිතුරුකම් උලාකයි
ඔහෝ, ඔබැ අහස සේ අනන්තයි...

• කීර්ති එස්. කුමාර


ගොයම ඉකිබිඳියි

ගැබ්බර වූ ගොයම් මව
ගෙවුණ පසු දෙසතියක්,
වැදුවාය පුත් රුවනක්
දරුවා අංග විකලය
අත් රිකිලි කඩා වැටී
අස්ථි දියව ගොස්
ඉතිරිව ඇත හම් පොත්ත
පෝෂක නොමැතිව

• සිරිල් බදුගේ


ගෙදර වරෙන්

හොඳට මැදලා ඔප දමාපූ
පිත්තල මල් පෝච්චි දෙක
කර දෙපැත්තේ බරට බරේ
දකුණූ අතේ බුලත් හෙප්පු..

අප්පච්චි එක්ක උඹත්
හරි හරියට වෙළදාමේ
ගොම්මන් අඳුරේ කිමිදී
ගෙට ගොඩවෙයි හාමතේම..

අතේ කරේ තෙල් ගාද්දි
හිනැහෙන නුඹෙ පුංචි මූණ
දුක කියැවෙන නුඹේ ඇස්දෙක
මැවී පෙනෙයි මට තාමත්...

“ඉස්කෝලේ කොල්ලන් මට
‘පිත්තලයා‘ ඒ මදිවට
‘බුලත් තට්ටුවා‘ කියලා
හූ කියනවා අම්මේ“...

වාවන්නෑ හිතට පුතේ මං
මං අඬනවා දෙතුන් දොහේ
එහෙම වුණත් මගෙ කොල්ලා
ලොකු තැනකට යන්න ගියේ
ඒ ඇදකම් මඟහැරලා....

උඹ දැන් ලොකු මහත්තයෙක්
“ හොරාට උඹ ගස් කැපුවලු
දවසම උඹ ලී මෝලෙලු
ඉස්කෝලෙට වැඩක් නෑලූ“

ගමෙන් ඈත ඉස්කෝලෙක‍
අහල පහළ එක එකාලා
කතා කියනවා නුඹ ගැන....
කවුරු කොහොම කිව්වත්
උඹ මගෙ පොඩි කොල්ලා තවම.

• අනුලා රූපසිංහ


දියණියනි

නෑදෑයෙක් මිතුරෙක් නැති විලසට
මේ කුටියෙහි තනිවී රෑවෙන විට
අඳුර සමඟ මගෙ තනිවුණ මනසට
ඔබ දුවගෙන එනවා...

තරුමල් ආකාසේ බබළන විට
පුන්සඳ කුටියට එබී බලන විට
මරු ගෙන ගිය ඔබෙ රුව සිහිවීමට
දෑස පළා ලේ කඳුළු ගලනවා...

අපි කළ කී දේ මතකෙට එන විට
ආගිය තැන් සිත තුළ ඇඳෙනා විට
මගෙ හිත ඈතට ඈතට යන විට
නිදිමත හැංගෙනවා...

අද මා ළඟ නැති ඔබ ගැන සිහිකොට‍
මැරුණු අතීතය පණ ගැන්වෙන විට
මේ මහ රෑ මගෙ හද වැළපෙනු දැක
මුළු ගෙය දෙදරනවා...

• ඇම්. ප්‍රේමා වෑදණ්ඩ


පැරෑලියෙන් බැස ගිය හිරු සඳ

සොඳුරු මිනිසෙකු අඳුරු වතුරට පැරෑලියෙදි එදා තෙමුණා
දුම් කකා ආ යකඩ යකුටත් අහෝ! ලෝදිය වතුර පෙවුණා
රුදුරු - සුන්දර මුහුද දෙදරා මහ විපතක් ඇවිත් සිඳුණා
අඳුරු යුගයක් යළි නොඑන්නට පැතුම් මතුරමු අපිත් මුමුණා

හෙළ කලා කෙත හඬා වැලපී සරස්වතියගෙ කෙරෙන යැදුමයි
ඔබේ ගුණ කඳ වැනිය නොහැකිය පෑන - පැන්සල ගොළුව ඉඳුමයි
ශිල්ප අහසේ එළිය විහිදූ ගුරු පියේ ඔබ ලොවට සඳුමයි
දැයේ උත්තම සිරිමතාණෝ අතුරුදන් වූ අයුරු පුදුමයි

පැරෑලියෙ ඔබ සැඟවිලා ඇත රොඳ බැඳී අපි සෙවිය යුතුය
ගුණ කඳාණෙනි, පුන් සඳාණෙනි ඔබට මොක් පුර ඉසුරු සතුය
කෙරුණු සේවය පල දරන විට අද නොවේ එහි අගය මතුය
නෙළා දුන් මල් කැකුළු අතුවල සුවඳ කවුරුත් විඳිය යුතුය

• කුරුකුලසූරිය මැදගෙදර


තෑගි බෝග ගෙන ආ සඳ

පුතේ උඹයි
උඹෙ බිරිඳයි
දරුවොයි
ඉඳින විසල් ගෙට
පායන පුන් සඳ
මහලු මඩමටත්
පායා එයි අද...

පළමු වතාවට
බලන්නෙ මං අද
බලපං මඩමට
පායන ලස්සන
මීට කලින් උඹ
දැක නැති විදියට....

කිරි පැණි කවි ගී
තෑගි බෝග හෙම
ඇයි මට මෙපමණ
ගෙන ආවේ සඳ?..

• කේ. පී. ඩබ්ලිව්
ප්‍රියන්ත ජයලත්


උපන් බිම රැක ගන්න පුතුනේ

පොවා ගත රුහිරු කර සවිබල
හෙළා ඩා බිඳු ගල් කොරියෙදී
බලා සිටියෙමි පොවා සිප් කිරි
රකින’යුරු නුඹගේ උපන් බිම....

පලා පැහැයෙන් දිදුළ පින්බිම
ගිනි අවුළුවා රත් පැහැය නංවා
දිවි රකිනු වස් තිබූ වාකඳ
ඔක්සිජන් ටැංකියට සීමා
ගලා ගිය දිය දහර පිවිතුරු
සිරකර බෝතලයකට...

සැරූ රිසි සේ සතා සිවුපා
කුසේ සිට හිමි වී තිබූ දිවි
අහිමි කරනට
පිපෙන්නට ආසන්න මල්පෙති
තලා පොඩිකර

දොරක් පාසා දිරූ රූකඩ
කිසා ගෝතමිය මෙන් සොයා යනු
අබමිටක් නොව
නිවසක් රෝගියකු නොවසන....

කුකුසකි මා සිත උපන්
පෙව් සිප් කිරි
වැරදිලා දෝ...

• නන්දනී සුමනවර්ධන


කත්යූෂා

ඇපල් ෆෙයාර්ස් ගස් ඵලබරව නෑවිලා
මේ ගං ඉස්මත්තේ මීදුමක් පාව යන්නේ
කත්යුෂා දැන් එහි ආවේ...

කඳු බෑවුමෙන් වට ගං ඉවුරේ සිට
රාජාලියකු ගැන ගී ගයන්නී
පෙම් හසුන් රැකෙන බව ගයන්නි
පෙම් හසුන් රකින බව කියන්නි...

ගීතය පියඹා යනු මැනව
ඈ වෙතින් සුබ පැතුම් - ගෙන යනු මැනව
මේ මිහිරි හඬ ගෙන යනු මැව
දේශය රකින ඔහු වෙතට යනු මැනව..

මේ සරල කෙල්ල ඔහුට සිහි වුණාවේ
මවු බිම ඔහු වෙතින් සුරැකුණාවේ
දේශය ඔහු රකින අයුරින්ම
අත් නොහැර රකින්නී
ප්‍රේමය කත්යූෂා ..

රුසියාවේ සදාතනික විරෝදාර කාන්තා චරිත කත්යුෂා නම් වන්නිය. ලෝක ප්‍ර්‍රකට ප්‍රේමණිය ජන ගීයක් වන ‘කත්යුෂා‘ දෙවැනි ලෝක යුද සමයේ දී වලෙන්තිනා බතිෂෙවා විසින් මුල්වරට ගයන ලදී.

රුසියානු බසින් සිංහලයට පරිවර්තනය 
• තනුජා ධර්මපාල


සේරිවාණිජ

අයෙක් ඇති බඩු සඟවති
කෙනෙක් වැඩි මිල විකුණති
සොයන්නට කිසිවකු නැති
බොර දියේ බැස හිතුමතේ
බාගෙන නොවේ - ඉහගෙන කතී...

රන්තලිය මිලදී අරන්
කච්චපුට එතෙරට ගිහින්
මෙතෙර සිට කෑගැසුව මුත්
සේරිවාණිජ මැරුණේ නෑ...
ඌ - අදත්, සූරා බලයි
දුප්පතුන්ගේ මැටි තලිත්...

• එම්. ආර්. ශාන්ත කුමාර


හුස්ම

සද්ධන්ත
ශරීර කූඩුව
තුළත්
කෙසඟ
ශරීර කූඩුව
තුළත්
ඇත්තේ
එක සමාන
හුස්ම පොදක්
නොවෙද....?

• ඇම්. ඩබ්ලිව්
අනුර ශාන්ත පීරිස්


සැළලිහිණිය

ඇළ දොළ කෙත ගමේ පිං කොත
කවියගේ සිත කළේ විකසිත
මල් සුවඳට ලස්සන කට
කුල කුජන හි රස කවියට

ආදරයට වියෝවකට
වෙන වෙනසට හැක කවියට
සිහිනිඟකට ලැසි ගමනට
ඇස් කොනකට නෙත් කවියට

සුබ ගමනට සිනහව කට
සමුගැනුමට උණු කඳුළට
මල් යහනට කටු පඳුරට
ගැරහුම හැම හුරු කවියට

කව් සිළුමිණ ලියවුණ තැන
නුඹ සිටිය ද පරිගණකය‍
නුඹ නැතුවට කම් නැත මට
හුරු පන්හිඳ එයි සුරතට

රාහුල හිමි ලියවුණ විට
ගෙන ගිය මිත සැළලිහිණිය
මේ ගී රැස ලියවුණ පත
ගෙන දිය යුතු ඇඟෙ දෝතට

• නන්දසිරි වැලිගමගේ

Comments