අපේ කාලයේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ | සිළුමිණ

අපේ කාලයේ පත්තරකාරයා දයාසේන ගුණසිංහ

මා අත අපූරු කෘතියක් වෙයි. හද දවන, තවන මතක ගොන්නක් එහි දියැවී තිබේ. එක ම අකුරක හෝ ආලේපිත බවක් නැත; ඇත්තේ මානව දයාර්ද්‍ර බවෙන් පිරිපුන් සහෘදයකු ගැන මතක සටහන් ය. කෘතිය පොදු ජනයාගේ පත්තරකාරයා ය. කතුවරයා දෙනගම සිරිවර්ධන ය. පොදු ජනයාගේ පත්තරකාරයා යන සහෘදය හැඳින්වීමෙන් අමතන ඒ සොඳුරු මාධ්‍යවේදියා දයාසේන ගුණසිංහ ය. අප ජීවත් වෙමින් සිටින්නේ පරමාදර්ශ හෝ අපේක්ෂිත වටිනාකම් සහිත වූවන් සුලබ ලෝකයක නොවේ. බොහෝ ප්‍රාමාණිකයන් නිහඬ ය. හොඳට හෝ නරකට බොහෝ දෙනෙක් කට අරින්නේ නැත. එසේ සිටින්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට දෙන පිළිතුර විටෙක කම්පා කරන සුළු ය; තවත් විටෙක තිගස්සවන සුළු ය. බොහෝ දෑ කර නිහඬ ව නොව නිහඬ වීමට බලපෑම් කරන සමාජයක අන් යමක් බලාපොරොත්තු වීමට ද නොහැකි ය.

මිනිසුන් වෙනුවට මිනිස් සෙවණැලි බහුල සමයෙක අවර රසිකත්වය මතුකර ගැනීමට මානව සමාජය වෙත ආලෝක ධාරා නිකුත් කළ අපූරු මානව හිතවාදී පුවත්පත් කලාවේදි­‍ෙයක් හා නිර්මාණකරුවෙක් ගැන ලීවීම ම අඳුරු සමාජයක ආලෝක පුංජයක බලාපොරොත්තු දල්වන්නකි. ඔහු බහුතර ප්‍රාමාණිකයන් මෙන් නිහඬ ව සිටියේ නැත. ස්වකීය අවැතුම් පැවතුම් හා අධ්‍යයන පරාස සියල්ල ඔහු වෙන් කළේ වඩාත් හෘදය සංවේදී ලෝකයක් දකිනු රිසිනි. ඒ සියල්ල ම කිරීමට ඔහුට තිබුණේ ආදරය පිරුණු හදවතක් පමණී. ඒ පිරුණු හදවත සෑම ඇසිල්ලක ම ක්‍රියාත්මක වූයේ වඩාත් සුපෝෂිත සංවේදී මිනිස් වගක් නිර්මාණය කිරීම වෙනුවෙනි. ඔහු ලියූ ලිපියක තිබූ වදනක් කලක් පටන් මගේ සිතේ ඇත්තේ පුවත්පත් කලාවේදියකු සතු උපහාසය හා නිර්මාණශීලීත්වය කෙතරම් ද යන්න ගැන පිරුණු යමක් ඉතිරි කරමිනි.

“වානරයා හා නරයා අතර ඇත්තේ එකම අකුරක වෙනසක් වුවද වානරයකුට වඩා නරයකුට නෑකම් කීම ආත්මාභිමානයට හිතකර වෙයි.” 

අප මේ කියන පුරුෂාර්ථ දෙස බොහෝ උපහාසයෙන් හා සාහිත්‍යයෙන් බලන හේ භාෂාවේ අධිපතීත්වය දරන අයුරු විශ්මයජනක ය. පුවත්පත් කලාවේදියෝ බොහෝ වෙති. එහෙත් මෙවන් පුවත්පත් කලාවේදීන් ඇත්තේ අතළොස්සකි. නිර්මාණකරුවකු, ලේඛකයකු වශයෙන් ඔහු සතු දැනුමේ පරිමාව අප මවිත කරවන සුලු ය. මාධ්‍යවේදියකු සතු විය යුතු නිදහස් නිවහල් චින්තනය ඔහුගේ වෘත්තිය ජීවිතයට එක් කළ ප්‍රභාව අපමණ ය. එතැනින් නොනැවතුණු ඔහු පුවත්පත් කලාවේදියකු සතු විය යුතු ඉහළ ම වටිනාකමෙන් බොහෝ පූර්ණ ය. ඒ පොදු ජනයා වෙනුවෙන් සිය පෑන මෙහෙයවීමේ සුදුර්ලභ ගුණයයි. මේ සියල්ල ම එක්තැන් වූ අපූරු නිර්මාණ ලිවිසැරියකින් ගුණසිංහ චරිතය සුපෝෂිත ව තිබිණි.

පුවත්පත් කලාවේදියකුගේ ජීවිතයේ නම ගිය තීරු ලිපි රචකයකු වීම සිහිනයකි. ඒ සඳහා අවැසි සමාජ, ආර්ථික, දේශපාලන දැනුමට දයාසේන ගුණසිංහ ලේඛකයාට මුවහත් භාෂාවකින් ලැබෙන ආලෝකය නොමඳ ව තිබුණේ ඔහුගේ සතත්‍යාභ්‍යාස ක්‍රියාවලිය නිසා ය. හේ නිරන්තර යාවත්කාලීන දැනුමෙන් සංගෘහිත ලේඛකයෙකි. සෑම ඉරිදාවක ම රට කලඹන උකුස්සා ඔහු ය. රටේ සිදු වෙන දූෂණ, වංචා මගඩි උකුස්සාට මඟ හැරුණේ නැත. උකුස්සාගේ උකුසු ඇසට හසුවීමේ බියෙන් බොහෝ දෙනෙක් සිය හොර මගඩි ගැන දෙපාරක් සිතූ බව ඇත්තකි. අද ඔහු සිටියා නම් කෙතරම් වටින්නේ ද යන්නට අටුවා ටිකා අවැසි නැති තරමට හේ වියත් නොවියත් ජනයා අතර හදවතේ ලැගුම් ගත් පුවත්පත් කලාවේදියකු විය. ඔහුගේ තීරු ලිපි පුවත්පතේ අලෙවියට තීරණාත්මක ව බලපෑ බව නොරහසකි. උකුස්සා, රයිගම්රාල, භූත රිපෝටර්, රණරාල, සංගුරාගේ සංවාද, මට හිතෙන හැටි, සකල කොළඹ යන තීරු ලිපි සංග්‍රහ ඊට කදිම උදාහරණ ය.

1936 ජුනි 13 වැනිදා මහගමදී උපන් දයාසේන ගුණසිංහ හැදුණේ වැඩුණේ ඉංගිරිය රයිගම් කෝරළයේ ය. පියාගේ නම ජෝගිරිස් ගුණසිංහ වන අතර, මව ආර්. ඒ. සෝමාවතී ය. ඔහුට සහෝදරියන් තිදෙනෙකි. ඒ මාලිනී, නීතා හා චන්ද්‍රා ය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු ද්වියිතික අධ්‍යාපනය ලබන්නේ ආනන්ද ශාස්ත්‍රාලයෙනි. ඉනික්බිති ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ ඔහු සිය ප්‍රථම රැකියාව ලෙස මාතර රාහුල විද්‍යාලයේ තෙවසරක පමණ කාලයක් ගුරුවරයකු ලෙස සේවය කළේය. අනතුරුව ලේක්හවුස් ආයතනයේ 'සිලෝන් ඩේලිනිව්ස්'' පත්‍රයේත් සිළුමිණ පත්‍රයේත් කර්තෘ මණ්ඩලවල සේවය කළේය. 1981 දී දිවයින පුවත්පත ආරම්භ කරන විටම එහි ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස හේ ලේක්හවුසියෙන් නික්ම යන්නේ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ ආරාධනයක් පරිදි ය. 1967 පෙබරවාරි 9 වැනිදා අලවලගේ මල්ලිකා කුසුමලතා සමරනායක සමඟ විවාහ දිවියට ඇතුළත් වන ඔහුට දරුවන් හතර දෙනෙකි. ඒ සොනාලි, සඳුන්, හර්ෂ හා වත්සලා ලෙසිනි. චරක, භානු, චිරදිප්, මනුරි, ලක්කිත, චෙනුලි යනුවෙන් ඔහුට මුනුපුරු මිනිබිරියන් 6කි.

ඔහු ග්‍රන්ථකරණයට ප්‍රවිශ්ට වෙන්නේ 1974දී රන් තැටියක කඳුළු නමැති කාව්‍ය සංග්‍රහය පළකරමිනි. සිය පළමු කාව්‍ය සංග්‍රහයෙන් ම රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙන දයාසේන ගුණසිංහ ඊට පසු ද තවත් දෙවරක් රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙන්නේ ය. ඒ කැනල් පාරේ නිශාචරයෝ වෙනුවෙන් 1986දී ද, කේතුමති හෝටලයේ රාත්‍රියක් වෙනුවෙන් 1990දී ත් ය. පත්‍ර කලා ජීවිතයේ හේ ස්වර්ණමය මිනිසෙකි. ජනතා ආකර්ෂණය හා ආදරය දිනූවෙකි. ඒ නිකම් ම ලැබුණක් නොවේ. ඔහු නිරන්තරයෙන් සමාජ අසාධාරණය වෙනුවෙන් ජනතා වේදිකාවේ හඬ නැඟුවේ ය. එනයින් ම අදීන පුවත්පත් කලාවේදියකු ලෙස අබිසෙස් ලද්දේ ය. ආරූඪ නාමවලින් නිර්මාණකරණයේ යෙදුණ ද ඔහුගේ ලිපි දකින්නකු ඒ ලියන ලද්දේ ඔහු බව දැනෙන තරමට හේ සිය අනන්‍යතාව ගොඩනඟා ගෙන සිටියේ ය. මූලික වශයෙන් පුවත්පත් කලාවේදියකු වුව ද ඒ හා සමගාමී ව ඔප්නැංවුණු සාහිත්‍ය ලෝකයක් ද ඔහුට විණි. ඒ ලෝක දෙකේ ම සුරු ව සැරූ ඔහු ගේ ලකුණ අද ද ආලෝකයකි. 

දිවයින කතුවැකිය බලන්නට එදා පත්තරය ගත් අය අපට හමු වී තිබේ. වරක් එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන කියා සිටියේ තම ආරක්ෂාව තමා සලසා ගත යුතු බව ය. 1986 ජුනි 01දා දිවයින පුවත්පතට කතුවැකියක් ලියමින් දයාසේන ගුණසිංහ අභීත ව කියා සිටියේ ‘තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු යැයි ද කීම කිසිදු වගකීමකින් තොර ප්‍රකාශයක් බවත් එබඳු නපුංසක ප්‍රකාශයක් මේ රටේ ඉතිහාසයේ මින් පෙර කිසිදු අවස්ථාවක නිකුත් වී ඇති බවක් අපි නොදනිමු‘ කියා ය. එතරම් අදීන ව පෑන මෙහෙය වූ පුවත්පත් කලාවේදීන් වෙත් නම් ඒ අතළොස්සකි. ලියූ සිය ගණනක් ලිපි අතර සෑම ලිපියක ම පොදු ජනයාට ඉගෙන ගන්නට යමක් තිබිණි. ඒවා ඇතුළත විවේචන, රසවින්දන පමණක් නොව දැනුම ද මනාව සංග්‍රහ වී තිබිණි. අසීමිත මානව දයාව ඔහුගේ ලිපිවලින් විශද වන්නේ යම් පමණ ද ජීවිතය ද ඒ හා සමාන ව දයාවෙන් යුක්ත වීය. ශෝකය ශෝකයක් ව පාඨක හදවතේ නින්නාද කිරීමට තරම් හෘදයාංගම ලේඛනයක් ඒ නිර්මාණවල විණි. ‘රන් තැටියක කඳුළු‘ කාව්‍ය සංග්‍රහයේ එන මේ කවිය දෑසට කඳුළු නොඋණා තවමත් කියැවීමට නොහැකි යැයි මා පැවසුවහොත් ඔබ ඊට විරුද්ධ නොවනු ඇත.

මා පමණි ඔබ කැටුව ආවේ 
මම ද යමි දියණියනි, 
මොහොතකින් සඳ ඒවී තනියට 
රන් තැටිය පුරවා කඳුළින්.... 

මිය ගිය දියණියගේ තනියට රන්තැටියක් වන් සඳ ඉතිරි කර පියා නික්ම යන්නේ දරාගත නොහුණු ශෝකයෙනි. ඒ ශෝකය අපේ සිතට ද දනවන්නේ අප නෙත් කෙවෙණි අග ද කඳුළු මතු කරමිනි. සිහිසුන් අම්මා ද වත්තම් කර ගනිමින් පියා පිට ව යන්නේ සෞම්‍ය සඳ ගැන විශ්වාසයෙනි. ඒ විශ්වාසය අපේ ජනශ්‍රැතික වටිනාකම් ඔස්සේ ශෝකී අරුත් දනවමින් ජීවිතයේ යථාර්ථය සමඟ බැඳෙයි. එතරම් සංවේදී වෙන්නට මේ කවියාගේ සිතේ කෙතරම් මානව දයාවක් තිබෙන්නට ඇත් ද?

දයාසේන ගුණසිංහ කියන්නේ අදීන මෙන්ම සංවේදී නිර්මාණකරුවෙකි. කැනල් පාරේ නිශාචරයෝ, කේතුමතී හෝටලයේ රාත්‍රියක් හා මරණයේ හෝරාව ඔහු විසින් රචිත කෙටිකතා සංග්‍රහ ය. රන් තැටියක කඳුළු (1974) නොවඳිමි සිදුහත් (1983) දොරමඬලාව (1991) ඔහුගේ කාව්‍ය සංග්‍රහ ත්‍රිත්වයයි. පරිවර්තකයෙක් ලෙස ඔහු ලැබූ ජනප්‍රසාදය ද ඉමහත් ය. පොදු මිනිසාට ඔහු දැක් වූ ආදරය චිනුවා අචෙබේගේ “මෑන් ඔෆ් ද පීපල්” කෘතිය පරිවර්තනයෙන් පෙනේ. අචෙබේගේ නිර්මාණ දිවිය ගුණසිංහ චරිතයට සමපාතී දැයි සිතේ. අසීමිත මානව දයාව යැයි කියුව ද ඔහුගේ නිර්මාණ හුදු වැළපීමක් නොවේ. 

දයාසේන ගුණසිංහ කෙතරම් මානවවාදියකු වුව ද ඔහුට ද සමහර පලිගැනීම් නොතකා හැරීම් ආගන්තුක වූයේ නැත. ඒවා සිහින් සිනහවකින් මඟ හරින්නට තරම් පිරුණු සිතක් ඔහු සතු වූයේ ය. ජීවිතය තිබෙන්නේ පලි ගැනීමට නොවන බවත් පලි ගැනීමට තරම් කාලයක් ජීවිතයට නැති බවත් හේ හොඳාකාරව ම දැන සිටියේ ය. තමන්ට කෙනෙහිලිකම් කළ අය දෙස පවා ඔහු ගේ බැල්ම නොවෙනස් වූයේ එබැවිනි. ජීවිතයේ ඔහුට ලැබුණු වටිනා ම දායාදය වූයේ ද නන් ක්ෂේත්‍රවල නිපුණ සද්ජන ඇසුර ය. දුර්ජන ඇසුර නොතකා හරින්නට තරම් ඒ සද්ජන ඇසුර ඔහු සිතට ආලෝකය එක් කළේ ය. බොහොමයකගේ ඇසුර ඔහුගේ දිවියට ආලෝකයක් වන්නට ඇත. 

සුරංගනා කතා වෙනුවට ජනතාව වෙනුවෙන් ලියූ හා කියූ දෑ නිසා පොදු ජනයා අතර ඔහු අමරණීය වීම වැළැක්විය නොහැක්කකි. භාෂාවේ අධිපතිත්වය මැනවින් දැන සිටි හේ එයින් සුරුවිරුකම් පෑවේ හුදු තමා වෙනුවෙන් නොවේ. මහජනතාව සූරාකනු දැකීම තරම් ඔහුගේ සිත සසල කරනු ලැබූ අන් යමක් නොවී ය. ගැඹුරු, නිහඬ සිතක නැඟි අදීන බව හේ ක්‍රියාවෙන් ඔප්පු කළේ එකක් කියා එකක් ලියා; හදවතේ තව දෙයක් තියෙන බොහෝ අයට ජීවිතාදර්ශයක් වෙමිනි.

ජීවිතය කෙටි ය. ඒ කෙටි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා පිරිස අල්ප ය. බොහෝ අය කාලය වැය කරන්නේ අනවශ්‍ය දෑ වෙනුවෙනි. බොහෝ ලේඛකයන් ලියන්නේ තමන්ගෙන් විය යුතු යුතුකම පිළිබඳ සවිඥානිකත්වයෙන් නොවේ. එවන් ලොවක ජීවිතයේ නියමාර්ථය වටහා ගත් නිර්මාණකරුවෙක්, පුවත්පත් කලාවේදියෙක්ගේ නික්ම යෑම හුදු වචනාර්ථයක් පමණී. හෘදය සාක්ෂියට එකඟව පොදු ජනයා උදෙසා වැඩ කළ අදීන පත්තරකාරයන් පිළිබඳ මතකය යළි - යළිත් මතු වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි ය. එවන් අතිශය දුර්ලභ නම් අතර ප්‍රමුඛ නාමයක් වන්නේ දයාසේන ගුණසිංහ ය. ඔහු වියෝවෙන් රිදුණු සිතැති රත්න ශ්‍රී විජේසිංහ කවියා අපූරු කවියක් ලියන්නේ ය.

පරමල් පෙති විසුළ බිමක දස දහසක් දෙනා නිදන 
සොහොන් ගෙයින් ඔබේ සුසුම කළු දුම් වී ඉහළ නැඟිණි 
ඔබේ කවි සිතට උල්පත වී එදවස නැඟි පුරහඳ 
නොඒවිද ඉතින් මෙතැනට රන්තැටිය පුරා කඳුළින ...

පුරහඳ දුවට පමණක් නොව ඔහුට ද පාළු කපනු ඇත. ඔහු නැති පාළුව පාඨක රසික අපට ය. ඒ තමන්ගේ ජීවිතය ගැන නොසලකා අනුන්ගේ ජීවිත රැකි මිනිසකු පිළිබඳ හෘදයාංගම බැඳීමෙනි.

Comments