නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු සටනේ අසිපත | සිළුමිණ

නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු සටනේ අසිපත

පවුලේ ඡායාරූපයක්. වමේ සිට පළමුවැනියාට සිටින්නේ ඇන්ටන් මාකස් ය.

- වෘත්තීය සමිතියක් හැදුව නිසා මුල්ම රස්සාවෙන් එළියට
- මාක්ස්වාදය සහ කම්කරු පන්ති ගැන බාලා තම්පෝගෙන් උගත් අපූරු පාඩම්

විප්ලවවාදී දේශපාලනයෙන් සහ කම්කරු සටන් තුළින් ජීවිත පන්නරය ලැබූ ඇන්ටන් මාකස් අට දෙනකුගෙන් යුතු පවුලක පස්වැනියා ලෙස රත්මලානේදී උපත ලැබීය. පියා දුම්රිය සේවකයකු වූ බැවින් මුලින්ම ඔවුන්ගේ පදිංචිය වූයේ රත්මලාන දුම්රිය නිවාස ය.

“මම ඉගෙන ගත්තේ ගල්කිස්ස ශාන්ත මරියා විද්‍යාලයෙන්. පාසල් කාලේදි මම ඒ කාලේ තිබුණු විප්ලවවාදී දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම මුලින්ම රැකියාවට බැඳෙන්නේ මෝටර් කාර්මිකයෙක් විදිහට පෑලියගොඩ නවලෝක ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශයට. එහිදී අපි ලංකා සම සමාජ පක්ෂයට සම්බන්ධ වෙලා වෘත්තීය සමිතියක් හැදුවා. නමුත් පාලනාධිකාරිය වෘත්තිය සමිතිය හදන්න මුල්වූ මම ඇතුළු සියලු දෙනා රැකියාවෙන් ඉවත් කළා. නිකම්ම ඉවත් කළා නෙවෙයි, අපිට දෙන්න පුළුවන් සියලු වධහිංසා දීලායි ඉවත් කළේ. මැරයෝ දාලා අපිට ගැහුවා. වෘත්තිය සමිතියෙන් අස්වුණේ නැත්තම් මරණවා කියලා තර්ජනය කළා. ඒත් අපි අස්වුණේ නැති නිසා අන්තිමට රැකියාවෙන් අස් කළා. ඒ සිද්ධියෙන් පස්සේ අපි බලාපොරොත්තු වුණා වෘත්තිය සමිතිය අපේ නඩුව සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. නමුත් අපි හිතපු විදිහේ මැදිහත්වීමක් වුණේ නැහැ. ” 

ඒ සිදුවීම හිතට යම් කලකිරීමක් ගෙන ආවද එයින් පසු වෘත්තිය සමිති පිළිබඳ යථා ස්වරූපය අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලැබුණු බව ඇන්ටන් මාකස් කීවේය.

“ඒ වෙනකම් අපි ඉගෙන ගෙන තිබුණේ වෘත්තිය සමිති කියන්නෙ එක තැන ඇවිදින දේකට මිසක් වෙනසක් කරන්න සූදානම් නැති දේවල් කියලයි. නමුත් කම්කරුවෙක් විදිහට මමත් වෘත්තිය සමිතියක් පිහිටුවලා ඒ මර්දනයට මුහුණ දෙද්දි වෘත්තිය සමිති ගැන සොයා බලන්න මටත් වුවමනාවක් ඇතිවුණා. රැකියාව අහිමි වුණාට පස්සේ මම ලිවර් බ්‍රදර්ස් සමාගමට සම්බන්ධ වුණා. ඒ වෙද්දි අපේ දේශපාලන ව්‍යාපාරයේ හිටියේ කීපදෙනයි. අපේ නායකයෝ සේරම හිරේ හිටියේ. ඔවුන් මුදවාගැනීමේ වුවමනාවක් අපිට තිබුණා. ඒ කාලේ අපිට දැනගන්න ලැබුණා සී.එම්.යූ එකේ නායකයාව සිටි බාලා තම්පො සහෝදරයාගේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය ගැන. අපි බාලා තම්පො සහෝදරයා එක්ක සම්බන්ධ වෙලා ඒ ව්‍යාපාරයේ වැඩ කරගෙන ගියා. එතකොට තමයි අපිට තේරුණේ කලින් දේශපාලන ව්‍යාපාරය අපට උගන්වා තිබූ දේවල් සහ ප්‍රායෝගික තත්ත්වය අතර ලොකු වෙනසක් තිබෙන බව.”

ඒ වන විට බාලා තම්පෝ ලංකා සම සමාජ පක්ෂයෙන් ඉවත් වී විප්ලවීය මාක්ස්වාදය නමින් පක්ෂයක් පිහිටුවාගෙන තිබිණි. බාල­ා තම්පෝගේ දේශපාලන අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගි වීමෙන් මාක්ස්වාදය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්නට ඇන්ටන් මාකස්ට හැකිවිය.

“බාලා තම්පො සහෝදරයාගෙන් තමයි මම නියම මාක්ස්වාදී දේශපාලනය ගැන වගේම කම්කරු පන්ති සහ වෘත්තීය සමිති ගැනත් ඉගෙන ගත්තේ. බාලතම්පෝ සහෝදරයා සමඟ ඇතිවුණු අවබෝධය මත ඔහු මට ආරාධනා කළා සී.එම්.යූ එකේ වැඩ කරන්න. ඒ අනුව මම ලිවර් බ්‍රදර්ස් එකෙන් ඉවත් වෙලා ලංකා වෙළෙඳ සේවක සංගමයේ සේවයට බැඳුණා. මුලින්ම මාව බඳවගත්තේ සාමාන්‍ය සේවකයෙක් විදිහට. වෙළෙඳ සේවක සංගම් මූලස්ථානයට යන අය ගැන අවබෝධයෙන් ඉන්න එක තමයි මගේ රාජකාරිය වුණේ. ටික කාලයක් යනකොට මාව නොයෙක් වැඩවලට යෙදෙව්වා.”

ඇන්ටන් මාකස් පළමු වරට වැඩවර්ජනයක අත්දැකීම ලබාගන්නේ 1974දී ගෝල්ෆේස් හෝටලයේ පැවති වැඩවර්ජනයෙනි.

“මට කරන්න තිබුණේ වැඩවර්ජනය තියෙන ස්ථානයට ගිහින් ඒ ගැන තොරතුරු වාර්තා කිරීමයි. ගෝල්ෆේස් හෝටලයේ වැඩ වර්ජනයෙන් පස්සේ මාව ඇසෝසියේටඩ් මෝටර් වර්ක්ස් කියන සමාගමේ තිබුණු වැඩවර්ජනයකට යැව්වා පුහුණුවක් ලබාගන්න. ටික කාලෙකින් මාව සී.එම්.යූ එකේ කාර්මික අංශයේ සහායකයෙක් විදිහට බඳවා ගත්තා. ඒකේ ප්‍රධානියා හැටියට හිටියේ වර්නන් විජේසිංහ සහෝදරයා. බාල තම්පෝ සහෝදරයා එක්ක වැඩකරමින් ලබාගත් දැනුම සහ පුහුණුව මගේ වෘත්තීය සමිති ජීවිතයට විශාල පන්නරයක් වුණා. 1980 ජූලි වැඩවර්ජනය ඇති වුණේ ඒ කාලේ එජාප රජය ගෙන ගිය මර්දනයට එරෙහිවයි. ඒ වර්ජනයට වෘත්තීය සමිති 17ක් සම්බන්ධවෙලා හිටියා. ජූලි මාසයේ කොළඹ ස්ටේඩියම් එකේ ඉතා තීරණාත්මක සමුළුවක් තිබුණා. සී.එම්.යූ එක හරහා අපිත් එයට සම්බන්ධ වුණා. රාජ්‍ය අංශයේ කම්කරුවන් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා සී.එම්.යූ වැනි පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතියකින් වර්ජනය සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙද්දි මම සංගමයේ විධායක කාරක සභාවට තේරී පත්වෙලා හිටියේ. නමුත් සංගමයේ මහා මණ්ඩලය අවසන් මොහොතේ ගත් තීරණයකට අනුව සී.එම්.යූ එක වැඩවර්ජනයට සහභාගි වුණේ නැහැ. ආණ්ඩුව වර්ජනය සම්පූර්ණයෙන්ම මර්දනය කළා. 40,000කට පමණ රැකියා අහිමි වුණා. ඒ තත්ත්වය මත අපි සී.එම්.යූ නායකත්වය විවේචනය කළ නිසා අපි අතර යම් හැලහැප්පීම් සිදු වුණා. අවසානයේ නායකත්වය මාව රැකියාවෙන් නෙරපුවා. ”

එහෙත් සංගමය වටා එක්රැස් වී සිටි පෞද්ගලික අංශයේ සේවකයන් අතරමංකිරීමේ අදහසක් ඇන්ටන් මාකස් තුළ නොවීය. 1982 පෙබරවාරි 13 වැනිදා සාමාජිකයන් 17 දෙනකුගෙන් යුතු කාර්මික ප්‍රවාහන සහ පොදු කම්කරු සංගමය උපත ලබන්නේ එබැවිනි.

“ලංකාවේ පෞද්ගලික අංශයට සම්බන්ධ වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට අනුබද්ධ නොවිය යුතුයි, එම වෘත්තිය සමිති හාම්පුතුන්ගෙන් සහ ආණ්ඩුවලින් ස්වාධීන විය යුතුයි යන්න මම දැඩිව විශ්වාස කරනවා. අපේ වෘත්තීය සංගමයට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ලොකු ආකර්ෂණයක් ලැබුණා. 1978න් පසුව බිහිවුණු අලුත් කර්මාන්තශාලාවල සේවකයන් බොහෝ දෙනෙක් අපේ සංගමයේ සාමාජිකත්වය ගත්තා. නමුත් බොහෝ හාම්පුතුන් අපේ සංගමය වෘත්තීය සංගමයක් විදිහට පිළිගත්තේ නැහැ. ඒ අනුව අපිට පළවැනි වර්ජනය පවත්වන්න සිදුවුණා. 1982 දෙසැම්බර් මාසයේ ඒකල පොලිටෙක්ස් ගාමන්ට් සමාගමේ සේවකයන් 600ක් එක්ක අපි වර්ජනය ආරම්භ කළා. එවකට පවැති ආණ්ඩුව තමන්ගේ ආයු කාලය දීර්ඝ කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට හදිසි නීතිය දමා තිබූ පසුබිමකයි අපි ඒ වර්ජනයට සහභාගි වුණේ. ගාමන්ට් එක ඉදිරිපස තිබූ වත්තක අපි පැවැත්වූ රැස්වීම නීති විරෝධියි කියලා පොලිසිය සේවකයන් වට කරලා දැඩි ප්‍රහාරයක් එල්ල කළා. කීප දෙනෙක්ම රෝහල්ගත කරන්නත් සිදුවුණා. මම, අපේ වෘත්තිය සමිතියේ භාණ්ඩාගාරික සහෝදරයා, පොලිටෙක්ස් ගාමන්ට් එකේ වෘත්තීය සමිතියේ ලේකම් සහ සභාපති සහෝදරියන් දෙදෙනාව පොලිස් අත්අඩංගුවට ගත්තා. අපි හතරදෙනාම මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළත් සාමාජිකයන් වර්ජනය දිගටම ගෙන ගියා. මාසෙකට පස්සේ අපි වර්ජනය ජයග්‍රහණය කළා. අපේ වෘත්තිය සමිතියත් පිළිගත්තා. මම රිමාන්ඩ් එකෙන් නිදහස් වෙලා එන දවසේ ජා ඇළ කම්කරු කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. රාත්‍රී 7ට ඒක ඉවර වෙලා එළියට එද්දි එවකට සිටි කම්කරු ඇමැතිවරයාගේ දේශපාලන සඟයන් සහ මැරයන් අපිව වටකරලා පහර දුන්නා.”

වෘත්තීය සමිති ජීවිතයේ කටුක, අසීරු අවස්ථා සිහිකරමින් ඇන්ටන් මාකස් කීවේය. එවකට පැවැති ආණ්ඩුව මහ කොළඹ ආර්ථික කොමිසම, වෙළෙඳ කලාපවලට කම්කරු නීතිය අදාළ නැති බව කියමින් ගෙන ආ පනතට විරුද්ධව විශාල අරගලයක් ගෙන යෑමට කාර්මික ප්‍රවාහන සහ පොදු කම්කරු සංගමය කටයුතු කළේය.

“වෘත්තීය සමිති එකතු වෙලා උපරිමාධිකරණයේ ඒ පනත අභි‍යෝගයට ලක් කළා. අධිකරණය ඒ වගන්තිය ඉවත් කරන්න තීන්දුව දුන්නා. මට මතකයි පාර්ලිමේන්තුවේදී එවකට අගමැති ජේ. ආර් කිව්වා “අපි අධිකරණයට ගරු කරලා ඒක කරනවා. නමුත් අපි දන්නවා වැඩේ කරන හැටි” කියලා. ඒ කාලේ තිබුණ මර්දනය කොයිතරම්ද කියනවා නම් කටුනායක ස්ටාර් ගාමන්ට් එකේ සේවිකාවක් මගේ ජීවිතය නමින් ලියූ කවි පන්තියක් පත්තරේක පළවුණාම ඊට පහුවදාම ඒ සේවිකාව අස්කළා. අපි වහාම ඒකට මැදිහත් වෙලා ලෙකු උද්ඝෝෂණයක් කළා. ඊට මැදිහත් වූ ජාත්‍යන්තර වෘත්තීය සමිති ජේ.ආර් ව විවේචනය කළේ “මේක තමයි නියම ත්‍රස්තවාදය” කියලයි. ඒ නිසාම අර සේවිකාව වැටුප් සමඟ සේවයේ පිහිටුවන්න ආණ්ඩුවට සිදු වුණා. අපි මුලින්ම ජයග්‍රහණය කළ ජාත්‍යන්තර උද්ඝෝෂණය එයයි.

ඒ කාලේ නිදහස් වෙළෙඳ කලාප පාලනය වුණේ මහ කොළඹ ආර්ථික කොමිසම යටතේයි. ඒකෙන් නිකුත් කළ උපදෙස් මාලාවෙන් හැම හාම්පුතකුටම දැනුම් දීලා තිබුණා ඒකාබද්ධ උපදේශන සභා පිහිටුවන්න කියලා. එය අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සම්මුතීන්ට පටහැනි නිසා ඊට විරුද්ධව අපේ වෘත්තීය සමිතිය දිගින් දිගටම කටයුතු කළා. 1994දී එජාප ආණ්ඩුව අහෝසි වෙලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ආවට පස්සේ 1995දී ඒකාබද්ධ උපදේශන සභා අහෝසි කරලා සේවක සභා පිහිටෙව්වා. එහිදී සේවකයන්ට අවස්ථාව ලැබුණා තමන්ගේ රහස් ඡන්දයෙන් ඒ සභාවට නියෝජිතයන් පත්කරන්න. නමුත් සේවක සභාවලිනුත් අපේක්ෂා කළේ වෘත්තීය සමිති හැදෙන එක වැළැක්වීමයි. ප්‍රතිපත්තියක් හැටියට අපි සේවක සභා පිළිගත්තේ නැති වුණත් වෘත්තීය සමිති ගොඩනඟන්න අපි සේවක සභා පාවිච්චි කළා. සේවක සභාවලට පත්වූ නියෝජිතයන් ගෙන්වලා පුහුණු කරලා දැනුම ලබාදීලා සේවක සභා ඒකාබද්ධ කමිටුවක් හැදුවා. ඒ හරහා ක්‍රමාණුකූලව සේවක ප්‍රශ්නවලට මැදිහත් වුණා වගේම වැඩවර්ජනවලටත් සම්බන්ධ වුණා. බොනවෙන්චා කියන හොංකොන් සමාගමක් සේවකයෝ 6,000ක් එක්ක වහලා දාන්න සූදානම් වූ අවස්ථාවේ අපි ලොකු උද්ඝෝෂණයක් කළා. අවසානයේ හොංකොන් වෘත්තීය සමිතිය සමඟ සාකච්ඡා කරන්න වෘත්තීය සමිතියේ ලේකම් සහෝදරිය සමඟ මමත් හොංකොන් ගියා. අන්තිමට ආයතනය වහන්නෙ නෑ කියලා සමාගම තීරණය කළා. එස්.ජී. අයි නමින් ඒ ආයතනය තාමත් තියෙනවා”

ඇන්ටන් මාකස් පවසන්නේ කම්කරු අයිතීන් දිනාගත් අභිමානයෙනි. නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමය ලියාපදිංචි වෘත්තීය සංගමයක් බවට පත්වන්නේ 2000 ජනවාරි මාසයේය. ඒ සංගමය සමඟ නිදහස් වෙළෙඳ කම්කරු සංගමය සහ කාර්මික ප්‍රවාහන පොදු කම්කරු සංගමය ද පැවතුණි. එම සංගම් දෙකම එක්කොට නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය බිහිවන්නේ 2003දීය. ඇන්ටන් මාකස් මෙන්ම එම සංගමය ද රටේම කතාබහට ලක්වන සිදුවීම සිදු වන්නේ 2011 වසරේ මැයි මාසයේදීය.

“එදා තිබුණු ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පනත ගෙනාවම පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් ලැබෙන එක ගැන අපි විරුද්ධ වුණේ නැහැ. නමුත් එහි බරපතළකම තේරුණේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සෙයි. කැබිනට් මණ්ඩලයට ගෙනාව පනතේ තිබුණේ කැමති අයට ඒ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වෙන්න පුළුවන්, අකමැති නම් අවශ්‍ය නැහැ කියලා වුණත් පාර්ලිමේන්තුවට ගෙනා පනතේ තිබුණේ හැම සේවකයෙක්ම ඒකට දායක වෙන්න ඕනෑ, නමුත් විශ්‍රාම වැටුපක හිමිකම් කියන්න පුළුවන් අවුරුදු 10කට පස්සෙ කියලයි. ඒකට විරුද්ධව විශාල සේවක විරෝධතාවක් ඇතිවුණා. මාස තුනක් සැලසුම් කරලා අන්තිමට 2011 මැයි 24 වැනිදා අපි එක් දින විරෝධතාවක් පවත්වන්න තීරණය කළා. කටුනායක විරෝධතාවේදී හතළිස් දාහක් පමණ සේවක සේවිකාවන් පාරට බැහැලා ඒ පනත එපා කිව්වා. මැයි 26 වැනිදා හිටපු කම්කරු ඇමැති ගාමිණි ලොකුගේ පැහැදිලි පොරොන්දුවක් දුන්නා පනත ක්‍රියාත්මක කරන්නෙ නෑ කියලා. නමුත් මැයි 30 වැනිදා මොකද වුණේ? එදා තමයි රොෂේන් චානකව මැරුවේ.”

ඇන්ටන් මාකස් ඒ අඳුරු මතක දිගහැරියේ සන්තාපයෙනි.

“එදා පොලිසිය වැඩපළවල්වලට ගිහින් සේවකයන්ට පහර දුන්නා. ඒ අරගලයට කිසිම සම්බන්ධයක් නැති රොෂේන් චානක තරුණයා පොලිස් වෙඩිපහරට ලක්වෙලා මිය ගියා. විශාල පිරිසක් පොලිසියෙන් ගුටි කාලා තුවාල ලැබුවා. සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරුද්ධව සේවකයන් 14ක් වෙනුවෙන් අපි උපරිමාධිකරණයේ නඩු දැම්මා. ඒ නඩුවට ලංකාවේ ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් නොමිලේ පෙනී හිටියා. අධිකරණය තීන්දුවක් දුන්නා පොලිසියේ මැදිහත්වීම මත සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන නිසා වන්දි ගෙවන්න කියලා. නමුත් අද වනතුරුත් සතපහක් ගෙවලා නැහැ. නමුත් සංගමයක් විදිහට එදා අපේ මැදිහත් වීමෙන් සේවක අර්ථසාධක අරමුදල රැකගන්න හැකිවීම ගැන ආඩම්බර වෙනවා”

ලබන වසරේදී නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ හතළිස් වැනි සංවත්සරය යෙදේ. සම ලේකම් තනතුර හොඹවමින් සංගමය මෙහෙයවන ඇන්ටන් මාකස් තිදරු පියෙකි. මේ වන විට 74 වැනි වියේ පසුවන ඔහු සංගමයේ සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් එදා මෙන්ම අදත් ක්‍රියාකිරීමට පසුබට නොවෙයි.

Comments