පළමු වැනි ටෙස්ට් තරගයේ පින්තූර ගත්තේ මම | සිළුමිණ

පළමු වැනි ටෙස්ට් තරගයේ පින්තූර ගත්තේ මම

ඒ කාලේ අපි වැඩකළේ සේයා පටලවලින්

 

ක්‍රීඩා දෙවැනි ගමන අරඹා වසරක් සම්පූර්ණ වනවිට ඔහු මහගෙදරට ආවේ අහම්බෙනි. ඡායාරූ කර්තෘ විමල් කරුණාතිලක ඔහු සමඟ ක්‍රීඩා පුවත්පත් කර්තෘ මණ්ඩලයට පැමිණියේ ඔහු වැඩිම කාලයක රැඳීසිටි කාර්යාලය යළි දැක බලාගන්නට ඔහු තුළ තිබූ කැමැත්ත හේතුවෙන් විය යුතු ය. එහි පැමිණි පසු අප ඔහු හා ක්‍රීඩා ඡායාරූප කලාව මෙන්ම ඔහුගේ අත්දැකීම් සම්බන්ධයෙන් සුහද සංවාදයක නිරතවීමු. මේ ඒ ඇසුරින් සැකසෙන ලිිපියකි.'

'මම මුලින්ම පින්තූර ගත්තේ ඩේලි නිව්ස් පුවත්පතට. එ් කාලේ මම ක්‍රිකට් තරග ඡායාරූප ගත්තා. මගේ ඡායාරූප වලට ඩේලිනිව්ස් පුවත්පතේ හොඳ ඉඩක් ලබාදුන්නා. ඒ වෙද්දී ලේක්හවුසියේ සභාපති ධූරන්දර බෝධිනාගොඩ මහතා ක්‍රීඩා පුවත්පත ආරම්භ කරලා පොඩි කාලයයි. මීමන ප්‍රේමතිලකයන්ගේ පුතා සරත් ප්‍රේමතිලක තමයි ක්‍රීඩා පුවත්පතේ සමාරම්භක කර්තෘවරයා වුණේ. මගේ පින්තූර ඩේලි නිව්ස් එකේ යනව දැකපු සරත්ට උවමනා වුණා මාව ක්‍රීඩා එකට ගන්න.' මෙහෙම කිව්වේ සුසන්ත ලියනවත්ත. සුසන්ත කියන්නේ ක්‍රීඩා පුවත්පතේ හිටපු ඡායාරූප ශිල්පියෙක්. හිටපු කියද්දී අපි දන්නවා ක්‍රීඩා පුවත්පත ආරම්භයේදීම වගේ ඒ සමඟ කටයුතු කළ ඡායාරූප ශිල්පියා ඔහු බව.

'මම ඒකට වැඩිය කැමති වුණේ නෑ, මොකද මම කැමති වුණේ ප්‍රවෘත්ති ඡායාරූප කලාවට. ඒත් මම ක්‍රීඩා ඡායාරූපකරණයටත් රුචිකත්වයක් දැක්වූවා. අන්තිමට මාව බෝධිනාගොඩ මහත්මයා එතුමාගේ කාමරයට කතාකරලා කිව්වා සුසන්තව ක්‍රීඩා පත්තරයෙන් ඉල්ලනවා. යන්න කැමති ද කියලා. එතුමාට බෑ කියන්න බෑනෙ. මම හා කිව්වා. එහෙමයි මම ඩේලි නිව්ස් එක අතහැරලා ක්‍රීඩා එකට මාරුවුණේ.' තමන් පූර්ණ කාලීනව ක්‍රීඩා ඡායාරූප ශිල්පියෙක් බවට පත්වූ ආකාරය සම්බන්ධයෙන් ඔහු අපට කිව්වා.

යහළුවෝ

'ඒ කාලේ රටේ හිටපු ජනප්‍රියම ක්‍රීඩකයෝ මගේ මිතුරන් බවට පත්වුණා. මොකද ක්‍රීඩා පුවත්පත නියෝජනය කරමින් මම තරග ආවරණය කරන්න ගියාම ඒ ක්‍රීඩකයෝ මගෙත් එක්ක මිතුරු වුණා. මම තරගයක පින්තූර ගන්න ගියාට ඒ තරගය විතරක් අරමුණු කළේ නෑ. ඒ තරගය එක්ක අවට සිදුවන ඇතැම් ක්‍රීඩාත්මක නොවන අති සංවේදී ඡායාරූපත් මගේ කැමරා කාචයේ සටහන් වුණා. සරත් ප්‍රේමතිලකත් ගොඩාක් කැමති වුණා. ඇත්තටම ඒ කාලේ මට ක්‍රීඩා පුවත්පතේ හොඳ ඉඩක් ලබාදීලා තිබුණා.' ලියනවත්තයන් පැවසී ය.

'මම රගර් ගැන දන්නේ නෑ. නමුත් රගර් පවා ආවරණය කළා. එතැනදී මම ගත්තේ ඡායාරූපයේ වටිනාකම. ක්‍රීඩකයන් අතර තියෙන තරගකාරිත්වය, එකිනෙකා පරයන ජවය කියන එක සොයාගෙන ගිහින් මම ඡායාරූප ගත්තා. අද වගේ එකතැනක ඉඳලා ඡායාරූප ගන්න අපට හැකියාවක් තිබුණේ නෑ. මොකද අපි භාවිත කළ කැමරාවලට තිබුණු කාචය දැන් කාච තරම් ප්‍රබල නෑ. අපි ඒ නිසා සිදුකළේ ක්‍රීඩකයන් පස්සෙන් දුවනවා. තරගයක් ඉවර වෙද්දී රගර් ක්‍රීඩකයන්ට වඩා වැඩි දුරක් මම දුවලා තියෙනවා.' ඔහු කීවේ සිනහසෙමිනි.

සේයා පටලයෙන් වැඩ

'ඒ කාලේ ඩිජිටල් යුගයට අයත් නෑ. අපි පින්තූර ගත්තේ ඇහේ දෘෂ්ඨියට, සිතින් හදාගත්තු වේගය අනුව තමයි ඒ දේ කළේ. ඒ වගේම අපිට සේයාපට වලින් තමයි පින්තූර ගන්න තිබුණේ. සේයාපටයක් තුළ ගහන්න පුලුවන් ඡායාරූප ගණනක් තිබුණා. ඒ වගේම එදා අද වගේ තත්පරයකටත් අඩු කාලයකින් එකම සිදුවීමක පින්තූර රාමු රාශියක් ගන්න පුලුවන් තාක්ෂණයක් තිබුණෙත් නෑ. අවශ්‍ය වුණේ ඉවසීමෙන් යුතුව බලාගෙන ඉඳලා පින්තූරය ගන්න එකයි. ඒකට හොඳ ඉවසීමක් වගේම, දැඩි අවධානයක් අවශ්‍ය වුණා. සමහර වෙලාවට අපි ප්‍රායෝගික ප්‍රශ්නවලටත් ලක්වෙන වෙලාවල් තිබුණා. සේයාපටය ඉවර වෙලා අලුත් සේයාපටලයක් දාද්දී තරගයක හොඳම සිද්ධියක් සිද්ධ වුණු වෙලාවල් තිබුණා. එතකොට ඒ ඡායාරූපය අපිට මඟ හැරෙනවා. ඉතිං අපි හැකිතාක් සියුම්ව හා කල්පනාකාරීව තමයි ඡායාරූප ගනිද්දී කටයුතු කළේ.' ඔහු කිව්වේ එදා ඡායාරූපකරණයේ පැවැති අභියෝග සම්බන්ධව සිහිපත් කරමිනුයි.

අමතක නොවන සිදුවීම්

'මම විදේශීය ක්‍රීඩා ඡායාරූප ගැනනම් අධීක්ෂණයක් කළේ නෑ. මම ගත්තේ මගේ දැක්මට අනුව කාලීනයි කියන ඡායාරූප. ඒ වගේම ඒ කාලේ ක්‍රීඩා තරග ආවරණය කරන්න ගියාම ගොඩාක් අපූරු අත්දැකීම් ලැබෙනවා. ක්‍රීඩකයෝ එක්ක ගොඩාක් හොඳ මිතුරු බවක් ඇතිකරගන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ අර්ජුන, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, ගයි ද අල්විස්, රංජන් මඩුගල්ල වගේ ක්‍රීඩකයෝ එක්ක මගේ හොඳ මිත්‍රත්වයක් තිබුණා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරපු අරවින්ද ද සිල්වා එක්කත් හොඳ හැඳුනුම්කමක් තිබුණා. නමුත් පසුකාලීනව අරවින්ද වැඩිය සමාජයත් එක්ක ගනුදෙනු කළේ නෑ කියලා දැනුණා. ඒක ඔහුගේ චරිත ස්වභාවය. නමුත් ඔහුත් මගෙත් එක්ක ඒ කාලේ හිතවත්.' ලියනවත්ත පැවසූවේ අතීතයේ තමන් හා ක්‍රීඩකයන් අතර පැවැති සම්බන්ධතාව සිහිපත් කරමිනි.

තම ක්‍රීඩා ජීවිතය තුළ එවැනි අත්දැකීම් රාශියකින් පිරී පවතින බව කියූ ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදී සුසන්ත ලියනවත්තයන් වරක් පාපැදි තරගයක් අතරතුර සිදුවූ සිදුවීමක රසබර මතකයක් සම්බන්ධයෙන් සිහිපත් කළේ ය.

'එක ගමනක් ලංකා සවාරියක් මම ආවරණය කරනවා. එදා තරගයේ දී ඒ.එම්.සුමනවීර තමයි ඉදිරියෙන්ම ගියේ. ඔහු පසුපස හිටි ක්‍රීඩකයන් සැතපුම් කීපයක් පස්සට ඇදදාලා ඉදිරියට ගියා. කන්දක් තරණය කරලා උඩට එනකොටම සුමනෙගෙ පාපැදියේ හුළං බැස්සා. දැන් ඉතිං සුමනෙට කරගන්න දෙයක් නෑ. ආධාරකරුවෝ කවුරුවකුත් ළඟ නෑ. සුමනේ කෑ ගහනවා. අපි ඔහුගේ පිටිපස්සෙන් වාහනය ගිය නිසා මේක හොඳට දැක්කා. කන්ද මුදුනට පාපැදිය තල්ලුකරගෙන එන, කෑ ගහන, ශෝකයෙන් ඉන්න සුමනේගේ පින්තූර කීපයක් මම එදා ගත්තා. ඒ පින්තූරත් මට කවදාවත් අමතක කරන්න බැරි අපූරු පින්තූරු.' ඔහු කිව්වේ සතුටින්.

තමන් ක්‍රීඩා පුවත්පතේ වැඩ ආවරණය කරන්න විවිධ ක්‍රීඩා ඉසව් ඡායාරූපයට නැගූ බව ඔහු කියා සිටියා. 'ඒ කාලේ අපි මහවැලි ක්‍රීඩා, ජාතික ක්‍රීඩා, ක්‍රිකට්. රගර්, පාපැදි, එල්ලේ, චෙස් වගේම බොහොමයක් ක්‍රීඩාවන් හි ඡායාරූප ලබාගත්තා. පිහිනුම් ක්‍රීඩාවෙනුත් එහෙමයි. ඒ හැමවෙලාවකදීම මම උත්සහ කළේ හොඳම ඡායාරූපයක් මගේ පුවත්පතට, ක්‍රීඩා පුවත්පතේ කර්තෘට ලබාදෙන්නයි. ඔහුත් මම ගත්තු ඡායාරූපවලට කැමති වුණා. අන්තිමට මට විදේශීය තරගාවලි සංචාරයක් යන්න ලැබුණේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ආවරණය කරන්නයි. නමුත් මම එය වෙනත් ඡායාරූප ශිල්පියකුට දුන්නේ ඒ වනවිට මට ලේක්හවුස් ඡායාරූප අංශයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් උසස්වීමක් ලැබුණු නිසයි. ' ඔහු කිව්වා.

ඡායාරූප ශිල්පියාගේ අවබෝධය

සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පියකුට පින්තූර ගන්න පුලුවන් වුණාට මදි. ඒකත් එක්ක හොඳ අවබෝධයක්, ක්‍රීඩාව හා සමාජය ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. ඒ වගේම හොඳ ඉවක් තිබීමත් වැදගත්. ක්‍රීඩා ඡායාරූප මගින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්නට හැකියි. ඒක ගන්නං වාලේ නොගෙන ක්‍රමවත්ව හා වගකීම් සහගතව තමන්ගේ කර්තෘවරයාට ප්‍රයෝජනවත් වෙන ආකාරයට ලබාගැනීමයි වැදගත් වෙන්නේ. ක්‍රීඩා කර්තෘවරයා තමයි මගේ පළමු පාඨකයා හා විවේචකයා වෙන්නේ. ඔහුට මම ගේන ඡායාරූප තේරීමේ බලය තිබුණා. ඒ වගේම ඒ කාලේ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය හා කර්තෘ ප්‍රධානව පුවත්පත් සම්බන්ධයෙන් සමාලෝචනයක් කළා. සෑම සතියකම ඒ දේ වුණා. එතැනදී අපි අතින් ගිලිහුණු දේ මොනවද සෙසු පුවත්පත්වලට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මොනවායින්ද කියන කාරණය ගැන සංවාදයකට ලක්කෙරුණා. ඒක තමයි අපිව ඉදිරියට ගෙනියන ප්‍රධාන ගාමක බලවේගයක් වුණේ.' ඔහු එදා සහ අද සම්බන්ධයෙන් සන්සන්දනය කරමින් අදහස් දක්වා සිටියා.

ක්‍රීඩා පුවත්පතේ වැදගත්කම

'ක්‍රීඩාව කියන්නේ රටක පුරවැසියා සුවපත් කරන ප්‍රධාන මාධ්‍යයක්. එතැනදී ඒ මාධ්‍ය හැකිතාක් ජනතාව අතරට රැගෙන යන්න ක්‍රීඩා පුවත්පතට හැකියි. කොයිතරම් රූපවාහිනී තිබුණත් වෙනත් මාධ්‍ය තිබුණත් පුවත්පතේ පළවන දෙය තමයි කවදා හෝ පුරවැසියාගේ මතකයේ තැන්පත් වන්නේ. ඒක ක්‍රීඩා විෂයේ දී ත් අදාළයි. මම හිතන්නේ ක්‍රීඩා වගේ පුවත්පතක් ලේක්හවුස් ආයතනයට ඒ කියන්නේ මගේ මහ ගෙදරට ආභරණයක්. එහි සමාරම්භක සාමාජිකයකු වශයෙන් මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. යළි දසක කීපයකට පස්සේ හරි මම වැඩකරපු, මගේ දක්ෂතා පෙන්වපු ක්‍රීඩා පුවත්පතට ඇවිත් සම්මුඛ සාකච්ඡාවක් දෙන්න හැකිවීම සතුටට කරුණක්. දැන් මම විශ්‍රාමිකයි. කැමරාව ආදරයට ඇල්ලුවත් දැන් ඒ වගකීම බාරගෙන තිබෙන්නේ මගේ පවුලේ සිව්වැනි පරපුර. ඒ කියන්නේ මගේ දරුවන්. මගේ බාල පුතා දිනුක ලියනවත්ත අද සම්මානනීය ඡායාරූප ශිල්පියෙක් වෙලා. ඔහු දැන් සේවය කරන්නේ රොයිටර් පුවත් සේවයේ. ලොකු පුතා ඔස්ට්‍රේලියාවේ. මමයි මගේ ආදරණීය නෝනයි බාල පුතා එක්ක ඉන්නවා. ලොකු පුතා ගාව ඉඳලා අපි නැවත මව්බිමට ආවා. එහේ ඉන්න කිව්වත් බාල පුතාටත් අපි නැතිව අසීරුයි කියලා දැනුණ නිසා ලංකාවට ඇවිත් ඉන්නවා. දැන් ඉතිං අපේ ලෝකය මුණුබුරු, මිණිබිරියොයි. මම දන්නේ නෑ පස්වැනි පරම්පරාවත් කැමරාව අතට ගනීවිද කියලා. එහෙම ගත්තා කියලා මගේ කිසි අකමැත්තකුත් නෑ.' සුසන්ත ලියනවත්තයන් වැඩිදුරටත් පැවසීය.

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments