දේශීය කෙළිබි‍ම පුවත් කෙටියෙන්... | සිළුමිණ

දේශීය කෙළිබි‍ම පුවත් කෙටියෙන්...

 

ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට

2022 වසරේ දී නවසීලන්තයේ දී පැවැත් විමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉවත් කර තිබේ. ඒ සිම්බාබ්වෙ හරාරේ නුවර පැවැත්වෙමින් තිබූ 2022 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ‍අතහැර දැමීමට තීරණය වීමත් සමඟ ය. මෙලෙස තරගාවලිය අතහැර දැමීමට තීරණය වූයේ කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාව අහිමිවී ගියේ ය.

 

දැල්පන්දු තනතුරු නැවතත් අභියෝගයට

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ තනතුරු දරන්නන්ට එරෙහිව විනිවිදභාවයෙන් යුතු හා යුක්ති සහගත ‍ පරීක්ෂණයක් ලබාදෙන ඉල්ලා යළිත් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කර ඇති මෙම පැමිණිල්ලේ පිටපත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ක්‍රීඩා අමාත්‍යවරයා ගේ නීති උපදේකට සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

පසුගිය දා පැවැති දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේ දී ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ අභියාචනා විමර්ශනය නොකිරීම හා අමාත්‍යවරයාගේ නිලධාරීන් කිහිපදෙනෙකු ඊට මැදිහත් වීම මෙහි ප්‍රධාන චෝදනා අතර වේ.

 

ආසියානු ස්කොෂ් තරගාවලියට ශ්‍රී ලංකාවත්

ජාතික ස්කොෂ් කණ්ඩායම පසුගියදා මැලේසියාව බලා පිටත්ව ගියේ ය. ඒ ආසියානු ස්කොෂ් තරගාවලිය වෙනුවෙනි. පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග 8 ක් වෙනුවෙන් තරග වදින අතර පිරිමි කණ්ඩායම ඉසව් 13 ක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ය.

තරගාවලියට එක් වූ පිරිමි කණ්ඩායම රවිඳු ලක්සිරි, ෂමිල් වකීල්, මෙත්මල් වුඩ් සහ ‍ෂෙරිෆ් හකිම් යන ක්‍රීඩිකයන්ගෙන් සැදුම්ලත් අතර ෆාතම් ඉසදීන් යොහෙනි කුරුප්පු වනිත්මා සිනාලි සහ දෙව්මිණි ගාල්ලගේ කාන්තා කණ්ඩායමට ඇතුළත් ය.

යොවුන් පැරා මලල ක්‍රීඩා පිල බහරේනයේ

සිව්වැනි පැරා මලල ක්‍රීඩා තරගාවලියට ඉදිරිපත්වීමට යොවුන් පැරා ක්‍රීඩාක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු පසුගියදා බහරේනයට පිටත් වූ හ. මලල ක්‍රීඩා තරග ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් තරග වැදීමට නියමිත වූ අතර ක්‍රීඩකයන් දෙදෙනෙකු පිහිනුම් ක්‍රීඩාව නියෝජනය කිරීමට නියමිත විණි.

ජනනී ධනංජය, මොහොමඩ් සෆ්රාන්, ජේසන් රාජා රවිදු චිරන්ජය, ඉසුරු හංසක මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කිරිමට නියමිත අතර නවීඩි රහිම් සහ ගලීනා බස්නායක පිහිනුම් ක්‍රිඩා ඉසව් නියෝජනයට කිරිමට නියමිතය.

 

ගීෂා මුණසිංහ

Comments