ක්‍රිකට් ලොව සදා සිහිවටන වියනක් බැඳි විවියන් | සිළුමිණ

ක්‍රිකට් ලොව සදා සිහිවටන වියනක් බැඳි විවියන්

 

විවියන් රිචඩ්ස්ගේ ජීවිතය කියවමු 1

‘විවියන් රිචඩ්ස් ක්‍රිකට් ලෝකයේ උදාතරුව. ඔහු එලෙස හැඳින්විය හැක්කේ පසුකාලීනව සිදුවුණු ක්‍රිකට් නව්‍යකරණයන් සියල්ලට ගැළපෙන්න ක්‍රීඩා කරන රටාව වෙනස් කළ පිතිකරුවන් අතර වඩාත් සාර්ථක සමාරම්භකයා ලෙස සැලකිය හැක්කේ ඔහු නිසයි. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදී තිබුණා නම් සිදුවන්නේ කුමක්ද කියන එක කිසිවකුටත් සිතාගත නොහැකියි. එතරම් ප්‍රවේගශීලි පිතිකරුවකු හා ස්ථාවර පිතිකරුවකු වූ විවියන් රිචඩ්ස් ගේ ජීවිත කතාව අසමසම සිදුවීම්වලින් ගහණයි. මේ ඔහුගේ අසමසම ජීවිතයේ සුවිශේෂී තොරතුරු ඇසුරෙන් කොටස් වශයෙන් පළ කෙරෙන ජීවිත කතාව.’

 

‘1974 අප්‍රේල්, ඒ තමයි මමයි විවියනුයි එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමට එකතු වුණු මාසය. විවියන් මට වඩා අවුරුදු කිපයක් වැඩිමහල්. එතකොට කවුරුත් විවියන් ගැන එතරම් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහුගේ පිත්ත කතා කරන්ඩ පටන් ගත්තාම හැමෝම ඔහු දෙස බැලුවා. ඔහු තුළින් අනාගතයේ විශිෂ්ට හා ශ්‍රේෂ්ඨ පිතිකරුවකු දකින්නට හැකි බව ඒ කාටත් පෙනුණා.''

 

මේ එම ප්‍රාන්තය නියෝජනය කළ තවත් ක්‍රීඩකයකු වූ වික් මාක්ස් පසු කලෙක විවියන් ගැන දක්වා තිබූ අදහසක්. අද වික්ස් බී.බී.සී. රූපවාහිනි සේවයේ විශේෂඥ ක්‍රීකට් විචාරකයෙකි. ඔහු කතා කළ විවියන් යනු ක්‍රිකට් ලෝකයේ ශ්‍රේෂ්ට පිතිකරුවකු ලෙස උඩුවියන් බැඳි බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පහළ වූ සුපිරිතම පිතිකරු විවියන් රිචඩ්ස් ය.

සම්පූර්ණ නමින්ම නම් ඔහු ශ්‍රීමත් අයිසැක් විවියන් ඇලෙක්සැන්ඩර් රිවඩ්ස් යැයි හැඳින්විය යුතු ය. නමුත් කොදෙව් හි බිහිවී ක්‍රිකට් ලෝකය තුළ ඔහු පූජිතයකු බවට පත් වූයේ විවියන් රිචඩ්ස් කියා ය. සැබැවින්ම ඔහු අසමසම ලෝක පූජිත පිතිකරුවා යැයි අවිවාදයෙන් කිව හැකි ය. සමහර විචාරකයින් කියන්නාක් මෙන් ලොව බිහිවූ “අසිරිමත් ම පිතිකරුවා” විවියන් රිචඩ්ස් ය.

විවියන් වැඩුණු හැටි

1952 මාර්තු 7 වැනි දා විවියන් මෙලොව එළිය දුටුවේ බටහිර ඉන්දීය කොදෙව් හි ඇන්ටිගුවා දූපතේ සාන්ත ජෝන් හිදී ය. එය කොදෙව් හි බ්‍රිතාන්‍ය ලිවර්ඩ් දූපත්වලට අයත් කොටසකි. විව්ගේ පියා මැල්කම් රිචඩ්ස් වූ අතර මව ග්‍රීටල් රිචඩ්ස් විය. පුංචි විවියන්ට නි‍ෙවස හුදෙකලා ජීවිතයක් වූයේ නැත. ඒ ඔහුට මර්වින් සහ ඩොනල්ඩ් යනුවෙන් වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සිටි හෙයිනි.

විවියන්ගේ මව හා පියා ක්‍රිකට්වලට ආදරය කළෝය. එහෙයින් ඔවුහු විවියන් උපන් දිනයේම සිතුවේ තම පුතු කොදෙව් දේශයේ ක්‍රිකට් තරුවක් වනු ඇත කියා ය.

“විවියන් ඉපදුණාම මට එහෙම හිතුණා. ඔහු කවදා හරි කොදෙව් දේශය වෙනුවෙන් ක්‍රිකට්වල ඉහළට යනවා කියලා මම හිතුවා. ඒක මා තුළ තිබුණ අහිංසක ප්‍රාර්ථනාවක්. විවියන්ගේ අම්මත් එහෙම හිතුවා.” යි විවියන්ගේ පියා මැල්කම් එසේ තම පුතු විවියන් ගැන එක්තරා දිනෙක පැවැසීය. ඔහු විවියන්ගේ විජයග්‍රාහී ක්‍රිකට් ගමන වෙනුවෙන් වෙහෙස වන්නට වූයේ එහෙයිනි. ඒ අනුව බලන කල විවියන් ලොව අසමසම ක්‍රිකට් ශූරයා වීම අරුමයක් නොවේ.

සොහොයුරන්ගෙන් අකුරු කියැවීම

විවියන්ට ක්‍රිකට් ගැන අවබෝධය ලැබුණේ බාල වියේ සිටම ය. ඒ ඔහුගේ වැඩිමහල් සොහොයුරන් වන මර්වින් සහ ඩොනල්ඩ් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටි නිසා ය. සොහොයුරන් දෙදෙනා ඇන්ටිගුවා කණ්ඩායමට ක්‍රීඩා කළේ ආධුනිකයන් ලෙස ය. එය විවියන්ට මහා මඟ පෙන්වීමක් වුණේ ය.

ඔහු ඉන් නැවතුණේ නැත. තම පියා මැල්කම් සමඟත් පවුලේ අසල්වාසියකු හා මිතුරකු වන පැට් එවන්සන් සමඟත් හේ ක්‍රිකට් පුහුණුවීම්වල යෙදුණේ ය. ඔවුන් ඇසුරු කරමින් හැකි සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික දැනුම ලබා ගත්තේ ය. අසල්වැසි එවන්සන් යනු එසේ මෙසේ මිනිසෙක් නොවී ය. ඔහු කලකට පෙර ඇන්ටිගුවා කණ්ඩායමට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි.

“තාත්තාත්, එවන්සන් මාමා වගේම මගේ අයියලා දෙන්නාත් එක්ක මම ක්‍රිකට් ක්‍රීඩා කළා. අපේ වත්තෙත් මුහුදු වෙර‍ෙළ්ත් සෙල්ලම් කරන්න මම උත්සුක වුණා. මෙහෙම ක්‍රිකට් ක්‍රීඩා කරද්දී මට ඔවුන්ගෙන් බොහොම හොඳ ගුරු හරුකම් ලැබුණා. ඒකෙන් වුණේ දිනෙන් දින ක්‍රිකට්වලට මගේ තිබුණු ආසාව වැඩි වුණු එකයි.” විවියන් තමාගේ ක්‍රිකට් ආරම්භය ගැන කියන්නේ එසේ ය.

අධ්‍යාපනය සඳහා විවියන් මුලින් ම ගියේ සාන්ත ජෝන් හි පිරිමි ප්‍රාථමික පාසලට ය. එහි දී ලැබුණු ශිෂ්‍යත්වයක් මඟින් ඇන්ටිගුවා ඉහළ පාසලකට යාමේ වරම් පුංචි විවියන්ට හිමිවුණේ ය. එලෙස ඇරඹි ඔහුගේ පාසල් ගමන නිම වූයේ වයස අවුරුදු 18 දී ය. ඒ අතට මිටට යමක් සොයා ගන්නට රැකියාවක් කිරීමට උවමනා වූ නිසාත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සිය ජීවිතයේ ඉදිරි ගමන ශක්තිමත් කර ගන්නට තිබුණු ආසාවත් නිසා ය.

'මට ඉගෙන ගන්න ඕනෑ වුණේ අකුරු නෙවෙයි ක්‍රිකට්. ලොකුවට විභාග සමත් වෙන්න මට උවමනා වුණේ නෑ. මට උවමනා වුණේ ක්‍රිකට් විභාග සමත් වෙන්න. මම ඒක කොහොම හරි කරනවා.' පාසල් ගමන අත හැරි දිනයේ ගැටවර විවියන් කීවේ එසේ ය.

ඔහු ක්‍රිකට් සාපිපාසවෙන් පෙලුණු කෙනෙකැයි කිව හැක්කේ එහෙයිනි. කවදා හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීම එම පිපාසාවේ පෙරමුණේම විය.

අවන්හල් සේවකයා

පාසල් ගමනින් පසු විවියන් සිය ප්‍රථම රැකියාවට ගියේ ය. ඒ සාන්ත ජෝන් හි “ඩිආකි” අවන්හලේ ය. මෙම අවන්හල අයිතිව තිබුණේ ඩිආකි විලියම්ස් නැමැත්තාට ය. ඩිආකි ට හා විවියන්ට පෑහීමට සේව්‍ය, සේවක සම්බන්ධතාවට එහා ගිය ගැළපීමක් තිබිණි. ඒ ඩිආකි ද ක්‍රිකට් ප්‍රේමියකු වීමය. හේ සාන්ත ජෝන් ක්‍රිකට් සමාජය සමග සම්බන්ධතා පැවැත්වූවෙක් විය. එහෙයින් විවියන්ට එම සමාජයට එක් වීමේ අවස්ථාව ගොඩනැඟුණේ ය.

ක්‍රීඩා කිරීමට උවමනා ක්‍රිකට් පිත්තක්, සුදු ඇඳුම්, පා ආවරණ සහ අත් වැසුම් ආදිය විවියන්ට සපයා දුන්නේ ඩිආකි ම ය.

“ඇත්තටම මට ඔහු තාත්තා කෙනෙක් වගෙයි. මට දිගු ගමනක් යන්ඩ පුළුවන් බව ඔහු අවබෝධ කර ගත්තා. ඔහු මගේ ක්‍රිකට් ගමනේ ප්‍රමුඛ කෙනෙක්.” විවියන් අදත් ඩිආකිව සිහිකරන්නේ කෘතවේදීව ය.

එලෙස සාන්ත ජෝන් කණ්ඩායමට එක් වූ විවියන් තරග වාර කීපයක් එම පිලට ක්‍රීඩා කළේ ය. එතැනින් ඔහු රයිසින් සන් ක්‍රිකට් සමාජයට බැඳිණි. ක්‍රිකට් වෙනුවෙන් එතෙර රටකට යන තුරු විවියන් ක්‍රීඩා කළේ දෙවැනියට එක්වූ රයිසින් සන් ක්‍රිකට් සමාජයට ය.

විවියන්ට පළමු පෙළ වරම උරුම වුණේ 1972 ජනවාරියේ ය. එවිට ඔහු වයස 19 ලැබුවා පමණි. ප්‍රථම තරගය ක්‍රීඩා කළේ ලීවර්ඩ් දූපත් කණ්ඩායම වෙනුවෙනි. ඒ වින්වර්ඩ් දූපත් කණ්ඩායමට එරෙහිව ය.

ඒ තරගයේ දී ඔහු පිතිකරුවකු ලෙස රැස් කළේ ලකුණු 20 ක් සහ 26 ක් පමණි. ඔහුගේ මීළඟ තරගය අතිශයින් වැදගත් විය. ඒ පළමු පෙළ “ෂෙල් ශුරතා” තරගයක් වෙනුවෙන් ඒකාබද්ධ ලීවර්ඩ් සහ වින්වර්ඩ් දූපත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට ලැබීම ය. ජැමෙයිකානු කණ්ඩායම සමග පැවැති මේ තරගය වෙනුවෙන් ප්‍රථම වතාවට විවියන් කිංග්ස්ටන් නුවර ක්‍රිකට් පිටියට ගියේ ය. තරගයේ දී ඔහු රැස් කළේ ලකුණු 15ක් සහ 32 ක් පමණි. දෙවැනි ඉනිමේ දී තම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ විවියන් ය. තරගයෙන් විවියන් නියෝජනය කළ ඒකාබද්ධ කණ්ඩායමට හිමි වුණේ දරුණු පරාජයකි.

එහෙත් එම පරාජය ගැන විවියන් දුක් වූයේ නැත.

“පැරදුණත් මම සතුටට පත් වුණා. මොකද ඒ තරගය මට ආඩම්බරයක් වුණා. විශේෂයෙන් කිංග්ස්ටන් පිටියට ගිහිල්ලා ක්‍රීඩා කරපු එක මම ලබපු අමතක නොවන සිදුවීමක්” විවියන් තම ක්‍රිකට් දිවියේ ආරම්භයේ අත්විඳි අසිරිමත් මොහොතක් ගැන කීවේ ය.

 

මීළගට : විවියන් එංගලන්තයට.......


 

Comments