අහම්බකාරක ක්‍රීඩා මාරක | Page 2 | සිළුමිණ

අහම්බකාරක ක්‍රීඩා මාරක

 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ පෑ මරණීය අනතුරු

ක්‍රීඩාවේ අරමුණ වින්දනය, සුහදත්වය, සෞඛ්‍ය ප්‍රවර්ධනය ප්‍රමුඛය. එහෙයින් ක්‍රීඩා පිටියට යොමුවීම මගින් පුද්ගලයකුට ලැබෙන ප්‍රතිලාභ බොහෝ ය. එහෙත් ක්‍රීඩා පිටියත් මාරකයක් බවට පත්වන්නේ නම්? මේ ඒ ගැනය.'

ඕනෑම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකගේ එකම බලාපොරොත්තුව වන්නේ සිය රට නියෝජනය කිරීමයි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් ක්‍රීඩක ජෙරෙමි සොලොෂානෝ ට ත් එය එසේම විය. එහෙත් එම බලාපොරොත්තුව ඉටු වී පැය දෙකකටත් අඩු කාලයක දී තමන්ට රෝහල් ගත වීමට සිදු වනු ඇතැයි හෙතෙම කිසිසේත්ම සිතුවේ නැත. නමුත් එය එසේ විය. ඒ යළිත් වතාවත් ක්‍රීඩා ලොව අවිනිශ්චිත බව පසක් කරමිනි.

සංචාරක කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව අතර ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ලේ දී ඇරඹුණේ නොවැම්බර් 21 වැනි දා ය. එහි දී 26 හැවිරිදි සොලොෂානෝ සිය මංගල ටෙස්ට් තරග වරම් ලැබී ය.

එදින දිවා භෝජනය සඳහා සුළු වේලාවක් පමණක් ඉතිරිව තිබිණි. සොලොෂානෝ ෂෝර්ට් ලෙග් ස්ථානයේ පිතිකරු අසළම පන්දු රකිමින් සිටියේ ය. මේ අවස්ථාවේදී පිතිහරඹයේ නිරත වූ දිමුත් කරුණාරත්න තමන්ට ලැබුණු දුර්වල පන්දුවකට ඉතා වේගවත් පහරක් එල්ල කළේ ය.

එම පහරේ ගමන් මාර්ගය වැටී තිබුණේ ෂෝර්ට් ලෙග් පන්දුරකින්නා අසළිනි. එහෙත් එතැන සිටියේ සොලොෂානෝ ය. පන්දුව සොලොෂානෝ පැළඳ සිටි ආරක්ෂිත හෙල්මටයේ වැදුණි. ඔහු බිම ඇදවැටු‍ෙණ් ය. වහා ඔහුට නිසි ප්‍රතිකාර කිරීම සඳහා කොළඹට රැගෙන ආවේ ය. තත්ත්වය බරපතල නොවී ගොඩින් බේරාගැනීමට හැකිවූයේ එහෙයිනි. කෙසේ නමුත් ඔහු හෙල්මටය පැළැඳ පන්දු රකිමින් සිටි අතර එය එසේ නොවුණේ නම් තත්ත්වය අදට වඩා වෙනස් වන්නට වැඩි අවස්ථාවක් තිබුණි.

ක්‍රිකට් තරග අතරතුර දී මෙවැනි අනතුරු නිසා මියගිය ක්‍රීඩකයින් ගැන ද වාර්තා වන බව ඉතිහාසය පිරික්සද්දී අපට පෙණේ. එහි දී අපට ක්‍රිකට් උපන් එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ලෙල්ලමක් වී තුවාල ලබා මියගිය ක්‍රීඩකයෙක් ගැන වාර්තා වෙයි.

ඒ ෆ්‍රෙඩ්රික් රැන්ඩන් ය. ඔහු එංගලන්ත පළමු පෙළ ක්‍රීඩකයෙකි. 1881 වසරේ දී සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී තරගයක් පැවැත්විණි. එහි දී පන්දුවට පහර දෙන විට පන්දුවක් රැන්ඩන්ගේ හිසේ වැදුණි. මින් ඔහු බරපතල ලෙස තුවාල ලැබී ය. යළි ඔහුට සම්පූර්ණ සුවය ලැබුණේ නැත. මේ අනතුර වී දෙවසරකට පමණ පසුව ඔහු මිය ගියේ ය. එවකට අද මෙන් ආරක්ෂිත හෙල්මට් තිබුණේ නැත.

පාකිස්තානයේ පළමු පෙළ ක්‍රීඩකයෙකු වූ අබ්දුල් අසිස්ට සිය ජීවිතය අකාලයේ අහිමි වූයේ 18 හැවිරි දි වියේ දී ය. ඒ තරගයක් අතරතුර දී පිතිහරඹයේ යෙදෙන විට පන්දුවක් පපුවේ වැදීමෙනි. සුළු මොහොතකින් ඔහු පිටිය මත ඇද වැටුණි. යළි සිහිය ලැබුණේ නැත. මෙය සිදු වූයේ 1959 වසරේ දී ය.

1998 වසරේ දී ඉන්දියාව ජාත්‍යන්තරව නියෝජනය කළ රාමන් ලම්බා පිතිකරු අසළ පන්දු රකිමින් සිටිය දී පන්දුව වැදී මිය ගියේ ය. හෙතෙම හෙල්මටයක් පැළැඳ සිටියේ නැත. ලම්බා මේ අවාසනාවන්ත ඉරණමට ගොඳුරු වූයේ බංග්ලාදේශ පළමු පෙළ තරගයක් අතරතුර දී ය.

මෙවර කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී ජෙරෙමි සොලොෂානෝ සහ ලම්බා අතර සිදුවීම් සමානය. එසේ වූවත් සොලොෂානෝ හෙල්මටයක් පැළැඳ සිටි බැවින් ලම්බා මෙන් අනාරක්ෂිත වූයේ නැත.

දකුණු අප්‍රිකාවේ ඩැරන් රැන්ඩෝල් දක්ෂ ක්‍රීඩකයෙකි. එහෙත් 2013 වසරේ දී ඔහුගේ දිවිය නිමාවට පත් වූයේ ය. ඒ තරගයක් අතරතුරදී පන්දුව හිසේ වැදීමෙනි.

මෑත කාලයේදී ක්‍රිකට් පිටිය තුළදී ක්‍රීඩා කරන විට මිය ගිය ප්‍රධානතම ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවේ ෆිල් හියුස් ය. 2014 වසරේ දී එරටේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරගයක් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙමින් තිබිණි.

එහිදී බවුන්සර් පන්දුවක් හියුස්ගේ බෙල්ලේ වැදිණි. පසුව ඔහුට ප්‍රතිකාර කළත් ඵලක් වූයේ නැත. සිය 26 වැනි උපන්දිනයට තෙදිනකට පෙර හෙතෙම මෙලොවින් සමු ගත්තේ ය.

මේ සියලුම සිදුවීම් තුළින් සනාථ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සෑමවිටම ආරක්ෂාකාරී ක්‍රීඩාවක් නොවන බවයි. එසේ වූවත් පෙර මෙන් නොව විවිධාකාරයේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේදී ඇතුළත් කර තිබේ.

ෆෝමියුලා සහ බොක්සිං අනතුරු

ක්‍රීඩා ලොවේදී තරග අතරතුරදී බහුල ලෙස අනතුරු සිදුවන එමෙන්ම ජීවිත හානිත් සිදුවන ප්‍රධානතම ක්‍රීඩා ද්විත්වයක් ලෙසට බොක්සිං සහ ෆෝමියුලා 1 ග්‍රෝන්ප්‍රී මෝටර් රථ හැඳින්විය හැකි ය.

ජර්මනියේ මයිකල් ෂුමාකර් සහ බ්‍රසීලයේ අයර්ටන් සෙනා ෆෝමියුලා 1 ලෝක ශූරතා රැසක හිමිකරුවෝ ය. සෙනා අකාලයේ මිය ගියේ තරගයක් අතරතුරදී සිය රථය කොන්ක්‍රීට් තාප්පයක ගැටීමෙන් ලත් බරපතල තුවාල වලිනි.

ෂුමාකර් ද අනතුරකට ලක් විය. නමුත් ඒ තරගයක් අතරතුර දී නොවේ. ඒ මීට වසර කිහිපයකට පෙර නත්තල් සමයේ දී හිම මත ලිස්සා යෑමට ගොස් සිදුවූ අනතුරකිනි. බිම ඇදවැටුණු ෂුමාර්කර්ගේ හිස ගලක ගැටුණි. ඉන් සිදුවූ අනතුරින් කෝමා තත්ත්වයට පත්වූ ඔහු තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැත.

බොක්සිං ක්‍රීඩා ඉතිහාසය පුරාම තරග අතරතුර දී පහර වැදීම නිසා මිය ගිය පිරිස විශාලය. එමෙන්ම වෙනත් ආබාධවලට ලක් වූවන් ද බොහෝමයකි.

මේ වසර තුළ දී පමණක් 18 හැවිරිදි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකා යුගලයකට සිය ජීවිත අහිමි විණි. ජෝර්දානයේ රෂීඩ් අල්-ස්වායිසට් යොවුන් ලෝක ශූරතාවයේ දී අනතුරට පත් වූයේ ය. රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නමුත් දින දහයකට පසුව මිය ගියේ ය.

මෙක්සිකානු ක්‍රීඩිකා ජියැනෙට් සැපාටා කැනඩාවේ පැවැති තරගයක් අතරතුර දී ලත් පහරකෑම් තුළින් ජීවිතයෙන් වන්දි ගෙවනු ලැබුවේ ගිය සැප්තැම්බරයේ දී ය.

මෙයින් කියැවෙන්නේ ක්‍රීඩාව තුළ පවතින අව්‍යාජ බව දුරස් වන්නට වන්නට නිර්මාණය වන තරගකාරිත්වය තුළින් ක්‍රීඩකයන් වෙත මාරක අනතුරු වීමට ඇති අවකාශය විවෘත වන බවයැයි කියන්නට ද පිළිවන. එහෙත් ක්‍රීඩාවේ උද්වේගය වැඩිදියුණු කිරීමට යාමේදී මෙවැනි අනතුරු යම් ප්‍රතිශතයකින් අපේක්ෂා කළ හැකි නමුත් එය කළමනාකරණය කරන්නට විවිධ නීතිරීති සකස්කර ඇත. එය එසේ වුවද ඉඳහිට මෙවැනි අනතුරු වාර්තාවීම වළකනු නොහැකි ය. එහෙත් ක්‍රීඩාවේ වැඩිදියුණු කර ඇති ආරක්ෂක උපකරණ මගින් ක්‍රීඩක ජීවිත ආරක්ෂා කරගැනීමට හැකියාව ඇති බව ජෙරෙමි සොලොෂානෝ ගේ සිදුවීමෙන් ඔප්පුවන්නේ ය.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments