ජාති(ක) ලිප ගිනි සැප­යුම | සිළුමිණ

ජාති(ක) ලිප ගිනි සැප­යුම

නැවත දැනුම් දෙන තුරු වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම අත්හිටුවන බව ලිට්රෝ ගෑස් සමාගම නිල වශයෙන් ඉකුත් 3 වැනි සිකුරාදා උදෑසන ප්‍රකාශයට පත් කළේ ය. ජාතියේ ලිපි ගිනි මොළවන්නා ලෙස සන්නාමගත ලිට්රෝ ගෑස් සමාගම මෙසේ කියද්දී ජනතාව සිය පරිභෝජන අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේදැයි උභතෝකෝටිකයකට මුහුණ දී ඇත. මේ තීරණයට හේතු වූ ගෑස් ගැටලුව නිසා ඍජු ව හෝ වක්‍ර ව ගෑස් ආශ්‍රිත පිපිරීම්වලට ලක් වූ සිද්ධි ගණන මේ වන විට 131 කි.

ලිපේ ගින්දර කෑ යුගය නිමා කර මුළුතැන්ගෙට ආලෝකය කැන්දූ ගෑස් ටැංකියට මෝටාරයකට මෙන් සැවොම බිය වී සිටිති. දැන් ඇතැම් ගෘහණියන් ගෑස් ලිප පත්තු කරන්නේ රතිඤ්ඤා පත්තු කරන සේ ය. ලිප දල්වා ඈතට දුවති. ඒ තරම් ම ගෑස් ලිප භයානක භාණ්ඩයක් වී තිබේ. එහෙත් කියූ සියල්ල ම ද ඇත්ත වූයේ නැත. බහුල වශයෙන් සිදු වී තිබුණේ ගෑස් සිලින්ඩරය පිපිරීම නොව ගෑස් ලීක් වීමකි. ගෑස් සිලින්ඩර් තනා ඇත්තේ ඝනකම යකඩ තහඩුවලිනි. එවැන්නක් සිදු වූයේ නම් මිනිසුන්ට සිය දිවි බේරා ගැනීමට නොහැකි වනු ඇති බව සත්‍යයකි. එබැවින් පුපුරන්නේ ගෑස් ටැංකිය නොවේ. එයත් හරියට කාක් පිහාටුවක් අවසන් නිරීක්ෂකයා දක්වා එද්දී කාක්කන් හත් දෙනෙක් මැරී සිටියේය කියා රූපාන්තරණය වූවාක් වැනි ය. මේ වැනි දේවලට කියන්නේ නරක ආරංචිවලට පියාපත් තිබෙනවා කියා ය.

මේ අතර පොලොන්නරුවේ ගෑස් ටැංකියක් පිපිරී මිය ගියා යැයි සමාජ මාධ්‍ය වාර්තා කළ සිද්ධිය ඇත්තට ම සිදු වී ඇත්තේ සිය දිවි හානිකර ගැනීමකි. රටේ කිසිම තැනක ගෑස් ටැංකියක් පුපුරා නැතැයි ඇමැති ලසන්ත අලගියවන්න පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ කරුණු දැක්වූයේ ය. මේ කිසිවකින් මේ සිදු වූ කිසිවක් අවතක්සේරු කිරීමක් නොකරන බැව් සහතික වශයෙන් ම කිව යුතු ය. කියන්නේ කියන යමක් තෝරා බේරා පැහැදිලි ව සකරුණු ව කියන්නේ නම් හොඳයි කියා පමණකි.

කරුණු මෙසේ වුව ද ප්‍රශ්නයක් ඇති බව අප පිළිගත යුතුව ඇත. ප්‍රශ්නය ඇත්තේ ගෑස් කොම්පැනිවල ය. ලිට්රෝ සමාගමේ තේමා පාඨය වූයේ ජාතියට ලිපි ගිනි සපයන්නා කියා ය. මේ පිළිබඳ ව ලිට්රෝ සමාගම ඍජු ව වගකිව යුතු බව ඇතැමුන්ගේ මතයයි. ජාතියට ලිප ගිනි සපයන්නේ මෙලෙස දැ යි කිසිවකු ඇසුවහොත් එයට දෙන පිළිතුර කුමක්ද කියා දන්නේ ලිට්රෝ සමාගම පමණක් විය යුතුය.

ව්‍යාපාරිකයෝ අධික ලාබ ගැනීමට විවිධ උපක්‍රම යොදති. පිිරිසක් අඩු ගුණාත්මක බවෙන් යුතු වැඩි පරිමාවක් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කරන අතර; තවත් පිරිසක් අඩු පරිමාවකින් වැඩි ගුණාත්මක බවෙන් යුතු නිෂ්පාදන කරති. අඩු ගුණාත්මක භාවය කියන්නේ ම අනතුරකි.

ඒ අනතුර අප වැනි තුන්වැනි ලෝකයේ රටවල් නිරන්තර අත්විඳින දෙයකි. ගෑස්වලට වූයේත් මෙය ම ය. දැනගන්නට ඇති පරිදි මෙහිදී සිදුවී ඇත්තේ බියුටන් නමැති කාබනික සම්භවයක් ඇති ගෑස් වර්ගය සහ ප්‍රොපේන් නමැති වායුව මිශ්‍ර කිරීමේදී සංයුතියේ සමබරතාව නැති වීම ය. වැඩි ලාබයක් බලාපොරොත්තුවෙන් මේ අතරෙන් අඩු මිල අමුද්‍රව්‍ය වන ප්‍රොපේන් වැඩියෙන් යොදන්නට ඇති බව විශ්ලේෂකයෝ පවසති. ගෑස් සමාගම් ඒවා කෙළින් ම පිළිගන්නේ නැත. එහෙත් ගැටලුවක් පැන නැඟී ඇත. පිළිනොගත්තත් එයට පිළිතුරක් දීම අත්‍යවශ්‍යය ය.

ආනයනය කරන ලද ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුව ඇතත් මේ දක්වා එවැනි දේක අවශ්‍යතාවක් පහළ වී තිබුණේ නැත. මේ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් ඇතත් ඉතිරි දේවල් බේරා ගැනීමට හෝ සිතා දැන්වත් එවැනි ක්‍රියාදාමයකට යෑම උචිත ය. ගෑස්වල පමණක් නොව සිලින්ඩරයේ හා හා ලිපේ මෙන්ම රෙගියුලේටරයේ ද තත්ත්වය පිළිබඳ තත්ත්ව පරීක්ෂාවක් අවශ්‍යය ය. මේ එවැන්නක් ස්ථාපිත කිරීමට හොඳ අවස්ථාවකි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනයක් පිළිබඳ අප දැනුම්වත් නැත. පොදු ජනයා වෙනුවෙන් එවැන්නක ඇති අවශ්‍යතාව ආණ්ඩුව ට දැන්වත් වැටහිය යුතු ව ඇත. ගෑස් හිඟයකට ද මුහුණ දී වෙහෙසුණු මනසෙන් හා කයෙන් යුතු ජනතාව ගෑස් ලැබුණු විගස පෝලිමේ සිට ගෑස් ගන්නවා මිස මේවායේ ප්‍රමිතිය ගැන හාංකවිසියක් නොදන්නේ ය. සභාපතිවරු මාරු කරමින් ප්‍රශ්නයට පිළිතුර සෙවීම හිසරදයට කොට්ට මාරු කරනවාට වඩා වැඩි යමක් නැත.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම, එම ගෑස් ලබා ගැනීමට අපට ඩොලර් නොතිබීම, ගෑස් නැවක් කොළඹ වරාය අසලට පැමිණ වැඩි මිලට ගෑස් විකිණීමට උත්සාහ කිරීම වැනි කාරණා මේ සියල්ලට බලපෑම් කළත් මේවා කළමානාකරණය කර ගැනීම අදාළ පාර්ශ්වවල වගකීමකි. ගෑස් අර්බුදය දෙස දැන් නවතීවි දැන් නවතීවි කියා බලා සිටීම නොව ඊට අදාළ ක්‍රමෝපාය සංවිධානය කිරීම කළ යුතුව ඇත. ගෑස් ගැටලුවට පිළියම් සෙවීමට කමිටුවක් පත් කර ඇතත් එය කඩිනමින් කළ යුත්තක් විනා සති ගණන් කල් ගත යුත්තක් නොවේ.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රාමාණිකයන් ඇතුළත් විද්වත් කමිටුවක් පත් කිරීම ප්‍රශංසා කටයුතු ය. එහෙත් එය මේ ගැටලුවෙන් නොනැවතී ඉදිරියට ද යම් ක්‍රියාමාර්ගික හා ක්‍රමෝපායික ක්‍රමවේදයකට ඇතුළත් කිරීම රජය සතු වගකීමකි. රට පුරා විසිරෙන සේ ගත් නියැඳි පරීක්ෂාවක් මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, තම ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව ද පරීක්ෂාවෙන් සිටිය යුතුව ඇත.

පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ලෝකය පුරා ම සිදු වූයේ විවිධ අලකලංචි ය. ඒවා පිපිරීම්, හිඟවීම් හා නැත්තටම නැතිවීම් දක්වා වර්ධනය විය. ඒ සියල්ල මැද්දේ ආ ගෑස් හිඟය ද ගෑස් තරමට ම ගෑස් පෙන්නුවේ ය. එතැනින් රිදවා නොනැවතුණු ගෑස් තව තවත් ගෑස් පෙන්නමින් සිටියි. උදේ බත ලිප තියන්නට යන ගෘහණියට දැනෙන්නේ අරුණාලෝකයේ සුන්දර පහස නොව මර බියක් නම් එය විසල් ගැටලුවකි. ගෙදරක ශ්‍රියා දොරටුව මළ සොහොනක දොරටුව සේ බිය ගෙන දේ නම් වරක් දෙවරක් නොව කිහිපවරක් ඒ ගැන සැලකිලිමත් විය යුතු ය. මිනිසුන් මේ සියල්ල ම කරන්නේ කා බී සුවසේ ජීවත් වීම වෙනුවෙනි. ඒ නිදහස නොලැබෙන්නේ නම් අන් කවරක් වුව ලැබීමෙන් ඵලක් නැත. ගෑස් ප්‍රශ්නය ත්‍රාසජනක සිනමාපටයක් නොකර එමඟින් ඇතිව තිබෙන යථාර්ථවාදී ගැටලුවට පණ පෙවීම මාධ්‍යයේ ද වගකීම ය.

ඉවක් බවක් නැති ව එන ඕනෑ ම ප්‍රවෘත්තියක් සොයා බැලීමකින් තොර ව මහජනතාවට ඉදිරිපත් කරනවාට වඩා නිවැරදි මාධ්‍යකරණයක් අවැසි බව ද වැදගත් කරුණක් සේ පසුගියදා මතු වූයේ ගෑස් නිසා ය. මිනිසුන් බය කිරීමට නොව සවිඥානික කිරීමට අවැසි පරිසරයක අනවශ්‍ය බිය වැද්දීම් පහව යනු ඇති බව සැමගේ විශ්වාසයයි. ගෑස් සේ ම පුපුරන කටවල් වෙනුවට සබුද්ධිමත් ජනතාවක් හා නිවැරදි ක්‍රමෝපායික ගමනාන්තයක් පිළිබඳ සිහිනය සැබෑ කරන්නට සියල්ලෝ එක්වන්නේ නම් මේ අගාධයෙන් ගොඩ ඒමට අපහසු නැත.

Comments