සිංහ­රා­ජය ගැන ලොවට කියූ මාටින් විජේ­සිංහ නික්ම යයි | සිළුමිණ

සිංහ­රා­ජය ගැන ලොවට කියූ මාටින් විජේ­සිංහ නික්ම යයි

 

හට කොළට සතා සීපාවට ආදරය කරන, ඇලුම් කරන මිනිසුන් මේ සමාජ රටාව තුළ අපට හමුවන්නේ බොහෝ අඩුවෙනි. නමුදු උපන්දා සිටම මිය යන මොහොත දක්වාම මහ ගන වනයට, එහි ජීවත්වන සතා සිවුපාවාට, දිය පොඳට පවා පෙම්බැදි විශේෂයෙන්ම සිංහරාජ වනයට පෙම්කළ සිංහරාජ වනාන්තරය තම ජීවිතය කොටගෙන දිවි ගෙවු මාටින් විජේසිංහ නම්වූ පරිසරවේදීයාගේ නික්ම යාම ඉකුත් බදාදා අසන්නට ලැබුණු දුක්බර පුවතක්ය. සිංහරාජ වනාන්තරය පිළිබඳ විවිධ විශ්ලේෂණයන් කර ඇති පරිසරවේදීන්ට නම් ඔහු පිළිබඳ නිතැතින්ම සිහිපත් වනු ඇත. මිය යන විට අසූ හයවැනි වියේ පසු වූ ඔහුට කෙනකු ‘මාටින් මාමා‘, තවකෙකු ‘මාටින් අයියා‘ කියාය. මේ නාමය ඔහුට නිකම්ම නිකම් ලැබුණ නාමයක් නොවේ . පොතපත දැනුමට වඩා ගහ කොළ ඇළ දොළ සතා සීපාවා හමුවේ ඔහු ලැබු ස්වයං අධ්‍යයනය ඔහුට මේ නම හැදෙන්නට බලපෑ බව අපට හැඟේ.

1939 දෙසැම්බර් 24 වැනිදා සිංහරාජයට යාබඳ ගම්මානයක් වූ පෙතියා කන්දේ උපන් මාටින් පවුලේ වැඩිමලා විය. ඔහුට බාල සොයුරියක හා සොහොයුරෙකු ද විය. මාටින්ට සිය මව අහිමි වුයේ ඔහුට වයස අවුරුදු පහක් තරම් වියේදීය. දරුවන්ගේ සියලු කටයුතු කරට ගන්නා මාටින්ගේ පියාවූ සුවාරිස්ගේ එකම ආසාව වන්නේ සිය වැඩිමහල් පුතුට හොඳින් ඉගැන්වීමය. වයස අවුරුදු හයක් වූ මාටින් කුඩව පාසලට ඇතුළු කරනු ලබන්නේය. ඉන් පසුව මාටින් කරවිට පඤ්ඤානන්ද පාසලට ඇතුළු වන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. ඒ වන විටත් ස්ථිර රැකියාවක් නොකළ මාටින්ගේ පියාගේ රැකියාව වුයේ කිතුල් මැඳීම, වඩුකාර්මික රස්සාව ය. කෙසේ වෙතත් පවුලේ අගහිඟකම් නිසා මාටින් ඉගෙනීම අතර මඟ නවතා දමන්නේ පාසලේ අටවැනි ඉගෙන ගන්නා සමයේය. සිය පියාට ස්ථිර රැකියාවක් නොමැති නිසා ඉගෙනුම අතහැර දැමුව ද අවසානයේ ඔහු අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල පරිසරවේදීන්, හඳුනන ඔවුන්ට දැනුම ලබා දෙන, ඔවුන් ඇසුරු කළ පුද්ගලයකු වන්නේ දෛවයේ හාස්කමකට මෙනි.

කුඩා වියේ සිටම පරිසරයට ආදරය කළ ඔහු සිංහරාජ වනාන්තරයට ආදරය කරන්නට පටන් ගන්නේ අපේ රටේ බොහෝ ජනතාව ඒ ගැන එතරම් අවදානයක් යොමු නොකළ කාලයේදීය. නිවසක් තනා ගන්නා ඔහු තමන්ගේ ගමේ ම තරුණියක වූ සොපිනෝනා සමඟ විවාහ වන්නේය. විවාහයෙන් පසුවද ඔහුට පරිසරය ගැන තිබූ ඇල්ම නැති නොවන්නේය.

1970 කාලය වන විට එවකට පැවති රජය විසින් සිංහරාජ කැලය තුළ මහෝගනී වගාව පුළුල් ලෙස ආරම්භ කිරීමට මුලික කටයුතු යොදන කාලයේ මාටින්ට එයට සම්බන්ධ වීමට ලැබෙන්නේ අනියම් කම්කරුවකු ලෙසිනි. එසේ වුව මහජන විරෝධය මත එම ව්‍යාපෘතිය අතහැර දමන ලදී. ඒ 1978 වසරේදීය. කෙසේ වෙතත් මාටින්ට කලවාන, කුඩව පිහිටි සිංහරාජ මුලස්ථානය වෙත උසස් කර එහි ස්ථිර කම්කරු රස්සාව උසස් කර ඔහුව එහි ප්‍රධාන මුරකරුවා ලෙස පත්කරයි. ඔහු සිංහරාජ වන පියසේ පළමු මුරකරුවා වන්නේ ඒ අයුරිනි. මේ මුරකාර රස්සාවත් සමඟ සිංහරාජයට පැමිණෙ ආචාර්ය මහාචාර්යවරුන්නට මෙන්ම පරිසරවේදීන්ට සිංහරාජ පරිසරයේ ගහකොළ සතා සීපාවා ගැන කියාදෙන්නට පෙලඹෙන්නේ ඔහු සිංහරාජයේ නිත්‍ය භාරකරුවා වෙමිනි.

වෙනදාටත් වඩා සිංහරාජ වනයට ඇලුම් කරන්නට ගත් මාටිනුත් වනයත් අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. ඔහු සිංහරාජ වන පියසට සැලකුවේ තමන්ගේම දරුවකුට මෙනි.

එක් දහස් නවසිය හැත්තෑ ගණන්වලින් පසු සිංහරාජ වන පියස පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යයවරුන් අතරේ වැඩි අවධානයට ලක් වීමත් සමඟ එහි සිරි බලන්නටත් වඩා සිංහරාජ පරිසර පද්ධතිය අධ්‍යයන කරන්නන්ගේ පැමිණීම වැඩිවීම සමඟය.

පාසලේ අටේ පන්තියට පමණක් ඉගෙනුම ලැබූ මාටින්ට ඉංග්‍රීසි දැනීමක් නොතිබීම ඔහුටම දැනුණ තමන්ගේ අඩුවක් විය. උත්සාහය අත්නොහර ඔහු විදේශිකයන්ගේ කතාවලට සවන් දෙමින් පසුව පොත් කියවමින් ස්වයංව තම ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගත්තේය. ශාඛ හා සත්ත්වයන් මෙන්ම වෙනත් පරිසර තත්ත්වයන් ගැන දැනුම සොයන්නට ඔහු නිරන්තරයෙන්ම පොත පත කියෙව්වේය. සිංහරාජයේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්දේය. අවසානයේ ඔහු තරම් සිංහරාජය ගැන දන්නා කෙනෙක් නොමැති වන තරමට ඔහු ඒ පරිසරය ගැන හොඳින්ම හැදෑරුවේය.

“මාටින් විජේසිංහ කියන්නේ බොහෝම සුවිශේෂි පුද්ගලයෙක්. මම ඔහු හඳුනන්නේ 1981 අවුරුද්දේ පමණ සිට. එතැන් සිට මා සමඟ ඔහු වසර තිහක් පමණ කටයුතු කර තිබෙනවා. ඔහු අප කරන දේ පිළිබද දැනුම්වත්. ඒ වගේම අපට හොඳ සහයෝගයක් ලබාදුන්නා. දත්ත එකතු කර ගැනීමට අපට සහාය වුණා. ඔහු බොහෝම බුද්ධිමත් කෙනෙක්. මාටින් ඉගෙනුම ලබා තිබුණේ පාසලේ අටේ පන්තියට පමණයි. නමුත් ඔහුට පරිසරය ගැන ගහකොළ ගැන සතා සීපාවා ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඔහු සිංහරාජයට පැමිණි උගත් වියතුන්ගෙන් ඉගෙන ගත්තා. මම දකින්නේ ඔහු බොහෝම සුවිශේෂි චරිතයක් ලෙසයි. ඔහු ඉතාමත් දිරිමත්, අනාගතය දකින, කෙනෙක් ලෙසයි. එ් වගේම ඔහුට තිබුණා ගහකොළ පරිසරය ගැන පුළුල් හැදෑරීමක් අවබෝධයක් වගේම හොඳ පැහැදිලි දැක්මක් තිබුණා. සැබැවින්ම ඔහුගේ අභාවය අපට පාඩුවක්“ .

මාටින් විජේසිංහයන්ගේ අභාවය වෙනුවෙන් අප කළ විමසුමකදී මහාචාර්ය සරත් කොටගම එසේ පැවැසීය.

පරිසරයට පෙම්බැඳි මාටින් විජේසිංහයන්ට 1993 වසරේදී එවකට ජනාධිපතිධූරය ඉසිලූ ඩී. බී විජේතුංග විසින් ශ්‍රී ලංකාතිලක සම්මානයෙන් පිරිනමන ලදී. එමෙන්ම ඔහුට කරන සේවා ඇගයීමක් ලෙස සිංහරාජ වනාන්තරයට ආවේණික වැල් වර්ගයක් ඔහු නමින් නම් කරන ලදී. එම ශාඛයට දුන් “ඩයස්පෝරිසි විජේසිංහ“ නාමය ඔහුට කරන ලද ගෞරවයකි. 1972 වසරේ සිට සිංහරාජ වනාන්තරයේ එකම මුරකරුවා ලෙස සේවය කළ මාටින් විජේසිංහ ගේ සේවා කාලය නිමවුයේ 1997 වසරේදීය . ඒ ඔහුගේ සේවා කාලය වසර 25ක් සම්පුර්ණ කරමිනි. නමුදු වැඩි පඩි ගරු නම්බූ නාම කිසිවක් බලාපොරොත්තු නොවූ ඔහුගේ සේවා කාලය තුළ ඔහු කළ මෙහෙය සුවිශාලය.

Comments