සමාජ මාධ්‍යයේ බොරු නැටි­ලි­ව­ලට වැට­ක­ඩුලු වැටෙන ලකුණු | Page 2 | සිළුමිණ

සමාජ මාධ්‍යයේ බොරු නැටි­ලි­ව­ලට වැට­ක­ඩුලු වැටෙන ලකුණු

මාජ මාධ්‍ය භාවිතයට ගනිමින් රජය හෝ රජයේ ප්‍රතිපත්ති හෝ විවේචනය කිරීමට රාජ්‍ය සේවකයන්ට අවසර නොමැති බවත් එසේ කරන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති අයවැය කාරක සභා විවාදයේදී සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද සහ අයිතීන් ගැන කළ කතාවකදී ය. මේ බව මාධ්‍ය තුළ පවා පළවී තිබිණි. ඇතැම් මාධ්‍යවල මෙය පළවී තිබුණේ සියලුම රාජ්‍ය සේවකයන්ට බලපාන පරිදි චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල සම්බන්ධ කර ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීමට ය.

“අපේ අමාත්‍යාංශයට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් අයිති වෙනවා. පසුගිය දිනවල ඇතැම් නිලධාරීන් අපේ අමාත්‍යාංශයේ කටයුතු බොහෝ පහත් ආකාරයට විවේචනය කරන අන්දම අපිට දකින්නට ලැබුණා. මේ නිසා එම නිලධාරීන් ගෙන්වා ඔවුන් කළ පහත් විවේචන පිළිබඳව ප්‍රකාශ පවා ලබා ගත්තා. ඔවුන් සම්බන්ධයෙන් විනයානුකූල කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. පසුගියදා පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී අප ඔවුන්ට දැනුම් දුන්නා සමාජ මාධ්‍ය ජාලා හරහා අපේ ඇතැම් නිලධාරීන් කරන අසත්‍ය විවේචන පිළිබඳව.

ඒ සම්බන්ධයෙන් ලිපියක්ද ඔවුන්ට ලබාදුන්නා. තාක්ෂණික වශයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ට ආයතන සංග්‍රහය යටතේ පියවර ගන්නා බව ද දැනුම් දුන්නා.

අමාත්‍යාංශය සහ එහි ප්‍රතිපත්ති නිර්දය ලෙස විවේචනය කරමින් හැසිරෙන්න එපා කියලා දිසාපතිවරුන් යටතේ සිටින නිලධාරීන්ව දැනුම්වත් කරන ලෙස ද උපදෙස් දුන්නා.” යනුවෙන් පැවසූ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන නමුදු, ආයතනයේ නිලධාරීන් විවේචනය කරමින් අපහාස වන ආකාරයට සමාජ මාධ්‍ය තුළ තොරතුරු මුදා හැරීමේදී ඊට භාජනය වන නිලධාරීන්ට සමාජයට මුහුණදී‍මට නොහැකි වීම පිළිබඳවත් ඔවුන්ගේ දරුවන් සහ පවුලේ සාමාජිකයන් පත්වන අපහසුතාව පිළිබඳවත් දෙවරක් සිතා බැලිය යුතු බවත් සඳහන් කෙළේ ය.

“ඕනෑම කෙනකුට කෑගහන්න පුළුවන්. ඒත් නාට්‍ය ශාලාවකට ගිහින් කෑගහන්නේ නැහැනේ. මේකත් ඒ වගේ තමයි. අමාත්‍යාංශය ඇතුළේ ඉඳගෙන අමාත්‍යාංශයේ නිලධාරින්, ප්‍රතිපත්ති විවේචනය කරන්න බැහැ. එය ආයතන සංග්‍රහයට අනුව නීත්‍යනුකූලව කටයුතු කරන්න පුළුවන් වැරැද්දක්. මම මේ ගැන අපේ අමාත්‍යාංශයේ නිලධාරින්ට විතරයි කිව්වේ. සමස්ත රාජ්‍ය නිලධාරින්ට කියපු දෙයක් නොවෙයි. මොකද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයිති ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරින් කියන්නේ රටේ සාම නිලධාරින් පිරිසක්. එවැනි පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ අමාත්‍යාංශ නිලධාරින් සහ ප්‍රතිපත්ති විවේචනය කිරීම සුදුසු නැහැ. හැබැයි මම දුන්නේ උපදෙස් මාලාවක් විතරයි. මම චක්‍රලේඛනයක් නිකුත් කළේ නැහැ.” යනුවෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරින් විසින් රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ආයතනය හෝ ප්‍රතිපත්ති විවේචනය කිරීම සියදිවි හානි කර ගැනීමකට සමාන බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ ය.

වමේ සිට - කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රීපාලි මණ්ඩ­පයේ ජන­මාධ්‍ය අංශයේ මහාචාර්ය ටියු­ඩර් වීර­සිංහ, ස්වදේශ කට­යුතු රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් (විම­ර්ශන) ධම්මික මුතු­ගල, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­ස­න්නි­වේ­දන අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය විජ­යා­නන්ද රූප­සිංහ, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්ය නීතිඥ ජගත් ලිය­න­ආ­ර­ච්චි සහ සංව­ර්ධන නිල­ධාරි සේවා සංග­මයේ ප්‍රධාන ලේකම් චන්දන සූරි­ය­ආ­රච්චි.

“ලෝකයේ ජාතික රාජ්‍ය බිහි වුණේ මීට අවු: 400කට පෙර ඉඳලා. ජාතික රාජ්‍යයක ස්වෛරීභාවය, ස්වාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙනවා. රාජ්‍ය හා සමාජය අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙන්නේ. රාජ්‍යයක් නැතිව සමාජයට පවතින්න බැහැ. රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලන මතවාද, ජාති හා ආගම්වාදි අදහස් විවිධ වුණත් ඔවුන් හැමෝම සේවය කළ යුතු වන්නේ රජයට. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී රාජ්‍ය ආයතන, ප්‍රතිපත්ති විවේචනය කිරීම සදාචාරාත්මක නැහැ. දේශපාලන තන්ත්‍රය සහ නිල තන්ත්‍රය සහයෝගයෙන් වැඩ කළ යුතුයි. පවතින රාජ්‍ය විධිමත්ව පවත්වා ගෙන යෑම ඔවුන්ගේ වගකීමක්. ඒත් එක් එක් අය අද සමාජ මාධ්‍ය ජාලා තුළ පළ කර තිබෙන දේවල් දකින විට ඒවා සංවිධානාත්මකව කරනවාද කියලා හිතෙනවා. මේ විදිහේ දේවල් සිද්ධ වෙනකොට රාජ්‍ය ගැන මහජන විශ්වාසය නැතිව යනවා. රාජ්‍ය අඩපණ වෙනවා. රාජ්‍ය අඩපණ වන විට සමාජ පද්ධතියම අවුල් වෙනවා. ඒ නිසයි මම කිව්වේ මෙය සියදිවි හානි කර ගැනීමකට සමානයි කියලා.” යනුවෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ විස්තර කළේය.

තමුන් සේවය කරන ආයතනය හෝ ආයතනයේ ක්‍රියා පටිපාටිය විවේචනය කිරීමේ නිදහස තිබෙන එකම ආයතනය විශ්වවිද්‍යාල බව සඳහන් කළ ආචාර්ය ටියුඩර් වීරසිංහ එය ශාස්ත්‍රාලීය නිදහස (Academic Freedom) ලෙස හඳුන්වන බව ද පැවසීය.

එසේම සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ අක්‍රමිකතා හෙළි කිරීම යනාදි පොදු අරමුණු වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4වැනි පරිච්ඡේදයෙන් තහවුරු කර තිබෙන බැවින් මෙය රාජ්‍ය සේවකයන්ගේ අයිතීන්වලට වැට බැඳීමක් බවයි.

“ප්‍රාදේශීය ලේකම්රවරුන්, සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රජයේ තීන්දු තීරණ විවේචනය කරනවා කියන පදනම මත මෙය පනවා ඇති බව දැනගන්නට ලැබුණා. මෙය රජයේ පොදු ස්ථාවරය ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒනිසා මෙය ඉවත් කර ගන්නා ලෙස අපි රජයට දන්වා තිබෙනවා. මෙයට අපි එකඟ නැහැ. මෙයින් සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ අයිතිය නැති කිරීමක්. ඒනිසා අපි මේ සම්බන්ධයෙන් තදින් මැදිහත් වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පැවසුවේ එක් එක් ආයතනික මට්ටම් අනුව සමාජ මාධ්‍ය තුළ තොරතුරු හෝ ඡායාරූප පළ කිරීම සීමා කෙරෙන අවස්ථා ලෝකයේ බොහෝ රටවල්වල දක්නට ලැබෙන බවයි. ඉන්දියාවේ හමුදා නිලධාරින්ට මුහුණුපොතේ තොරතුරු සහ ඡායාරූප පළ කිරීම තහනම් කර ඇති අතර ඇමෙරිකානු හමුදා නිලධාරින්ට ටික්ටොක් මුදා හැරීම තහනම් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“සමාජ මාධ්‍ය කියන්නේ ලෝකයේ පිළිගත් මාධ්‍යයක්. එයින් යහපත් දේවල් සිද්ධ වෙනවා. පහුගිය කොවිඩ් කාලේ ග්‍රාම නිලධාරින් සංවර්ධන නිලධාරින් එන්නත්කරණය වැනි වැඩසටහන් ගැන ජනතාව දැනුම්වත් කළේ සමාජ මාධ්‍ය හරහා.

ස්වාභාවික ආපදා අවස්ථාවලදීත් ආපදා නිලධාරින් විටින් විට දැනුම්වත් කළේ සමාජ මාධ්‍යයෙන්. ඒනිසා එහි වටිනාකමක් තිබෙනවා. ඒත් රාජ්‍ය නිලධාරින් එය භාවිත කිරීමේදී යම් යම් සීමාවන් පනවන්න පුළුවන්.

කොහොමටත් ආයතනික මට්ටමෙන් හදාගත් ප්‍රතිපත්ති තියෙනවානේ. අනික රාජ්‍ය සේවකයන් විසින් රජයේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය විවේචනය කිරීම ආයතනික සංග්‍රහය යටතේ විනය ක්‍රියාමාර්ග ගත හැකි වැරැද්දක්. ඒනිසා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මෙම උපදෙස් මාලාව, සිහි කැඳවීමක් හැටියටයි මම නම් දකින්නේ.” යනුවෙන් පැහැදිලි කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විජයානන්ද රූපසිංහ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය පවතින්නේ සමාජයක සාධනීය බව යහපත් ආකාරයකට පවත්වාගෙන යෑමට විනා විනාශකාරී තත්ත්වයකට ගෙන යෑමට නොවන බවයි.

රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික රාජ්‍ය අඩපණ වුවහොත් වර්තමානයේ තිබෙන ගෝලීයකරණයත් සමඟ ජාතික රාජ්‍යයෙන් ඔබ්බට ඇති බහුජාතික සමාගම් වැනි ගෝලීය ආයතනවලට එකී කටයුතු පැවරෙන බවත් ගෝලීයකරණය වර්ධනය වී ජාතික රාජ්‍ය බිඳ වැටෙන බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

“යම් යම් ආයතන විනය ක්‍රියාමාර්ග ගන්නවා. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි විදිහට විනය ක්‍රියාමාර්ග ගන්න බැහැ. චක්‍රලේඛනයක් හෝ උපදෙස් මාලාවක් හෝ කුමක් වුවත් ඒ සියල්ල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය විවේචනය කිරීමට පුරවැසියන්ට අයිතියක් තිබෙනවා. හැබැයි අදහස් පළ කිරීමේ නිදහස සීමා කළ හැකි අවස්ථා මොනවාද කියලාත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙනවා. විෂය කරුණුවලට අදාළ නීති මඟින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පනවන නියෝග මඟින් පාලනය කළ හැකි අවස්ථා තිබෙනවා.

ආයතනයක් චක්‍රලේඛනයක් හෝ උපදෙස් මාලාවක් යැවීම නීති විරෝධි දෙයක් නොවෙයි. ඒත් යම් සේවකයකුට මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා අධිකරණයට ගිහින් නඩුවක් පැවරීමේ අයිතියකුත් තිබෙනවා.” යනුවෙන් පැහැදිලි කළේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය හා නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්ය නීතිඥ ජගත් ලියනආරච්චිය. මේ වන විට රාජ්‍ය සේවක සේවිකාවෝ ලක්ෂ 15 - ලක්ෂ 16 ප්‍රමාණයක් සිටිති. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව නීතියක් නොවුණත් සිහි කැඳවීමක් වශයෙන් අවධානය යොමු කිරීම වඩාත් යහපත් ය.


 

Comments