මැති සබයේ අත්-පොහොට්ටු පැටලුණු හැටි | සිළුමිණ

මැති සබයේ අත්-පොහොට්ටු පැටලුණු හැටි

 

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණේ පසුගිය සතිය ආරම්භයේදීය. බොහෝ දෙනෙක් මෙවර ඡන්ද විමසීම උනන්දුවෙන් බලා සිටියේ රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ කුමක් සිදු වේවිද යන්න නිසාය. සතිය ආරම්භයේම සබා ගැබේ උණුසුම තීව්‍ර කරමින් පැවැති ඡන්ද විමසීමේදී අයවැය යෝජනාව සම්මත වූයේ තුනෙන් දෙකට වැඩි ඡන්දයෙනි. යෝජනාවට පක්ෂව ඡන්ද 153 ක්ද, විපක්ෂව ඡන්ද 60 ක්ද ලැබුණු අතර වැඩි ඡන්ද 93 කින් යෝජනාව සම්මත වූ අතර ඊට විපක්ෂයේ මන්ත්‍රීන්ගේ සහයෝගය ද ලැබුණි. මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ සුමන්තිරම් හා ශානක්‍යන් රාසමානික්කම් ඡන්දය පැවැති අවස්ථාවට නොපැමිණියේ විදෙස්ගත වීම නිසාය. මන්ත්‍රී මනෝ ගනේෂන් හා ඇමැති ගාමිණි ලොකුගේ පැමිණ නොසිටියේ ඔවුන්ට ඒ වන විටත් කොවිඩ් ආසාදිතයෝ වීම හේතුවෙනි. විපක්ෂයෙන් රජයට එකතු වූ මන්ත්‍රීනි ඩයනා ගමගේ, සජබ මන්ත්‍රි අරවින්ද කුමාර්, මන්ත්‍රිවරුන් වන ඉෂාක්මන් රහුමාන්, එස් එම් එම් මුෂාරෆ්, අලි සබිරි රහිම්, එච්.එම් එම් හාරිස් නසීර් අහමද් යන මන්ත්‍රිවරු ඊට පක්ෂව ඡන්දය දුන්හ. අතුරලිය රතන හිමියන්ද මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරීම විශේෂත්වයකි.

මම වල් නැහැ. අහපු ඔබ.... ?

ගෙවුණු සතියේ තවත් රසබර කතා රැසක් මැවූයේ මන්ත්‍රී තිස්ස කුට්ටිය. අයවැය විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ කතාව හබය දිග්ගැස්සුණේ තිස්ස කුට්ටිආරච්චි සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න අතරය. විටක මේ හබය පාර්ලිමේන්තුව රස ගඟුලක ගිල්වූ අතර තවත් විටක උණුසුම් පුවත් මවන්නටද ගැටුමක් දක්වා දුරදිග යන්නට ද සමත් විය. මෙම ආන්දෝලනයට හේතු වූයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය සිය අයවැය විවාද කතාවේදී බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් වම්බටු, ගහල, පලා මිල ගැන කළ කතාවට එරෙහිව ව්‍යංගාර්ථයෙන් අදහස් මතුකරමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිය කතාවේදී පිළිතුරු දීමය. එහෙත් ඒ අවස්ථාවේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සභාවේ සිටියේ නැත. පසුව ඒ කොටස හැන්සාඩ් වාර්තාවෙන්ද ඉවත් විය. මේ අවස්ථාවේ මුලාසනයේ සිටියේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

මෙම සංවාදයෙන් පසු තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධ විවිධ විවේචන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය විසින් කාන්තාවන්ට අපහාස කිරීම සම්බන්ධව චෝදනාත්මක ලිපියක් කතානායකවරයාට යොමු කර තිබීමද විශේෂත්වයක් වූ අතර පසු දිනද එයම විවාදයට බඳුන් විය. එදින මන්ත්‍රි කුට්ටිආරච්චිගේ සැබි අසැබි කතාව මතුවූයේ කථානායක විසින් සිය නිවේදන ප්‍රකාශ කරද්දීය. මෙහිදි කථානායකවරයා තම පක්ෂයේ මන්ත්‍රීන් ගැන පක්ෂ සවිධායකවරු විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි පවසමින් කියා ඊට දැඩි ලෙස අවවාද ද කළේය.

“මම අහන්නේ එක දෙයයි. කරුණාකරලා කියන්න මම කියපු අසභ්‍ය වචනය මොකක් කියලා. පොළේ එළවළු විකුණන වෙළෙන්දෙක් කියන දේයි මම අර්ථකතනය කළේ. වට්ටක්කා , පතෝල වම්බටු ගැන කීමෙන් කාන්තාවන්ට අපහාස වෙන්නේ කොහොමද? මම වල් නැහැ. අහපු ඔබ වල් උනාට. හිටපු මන්ත්‍රීවරින් හා මන්ත්‍රිවරයෙක් වන හිරුණිකා හා රංජන් ෆ්රන්ට් සයිඩ් ,බැක් සයිඩ් ගැන කියද්දී මේ කාන්තාවන් හිටියේ කොහේද ?....“ අතීතයේ කතාවක් හාරා අවුස්සමින් මන්ත්‍රී තිස්ස කුට්ටිඅරච්චි සිය වේගවත් කතාව කර ගෙන ගියේ සබා ගැබේ නැති ඝෝෂා මවමිනි.

ඔහුගේ මෙම කතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංගමයේ සභාපතිනිය වූ සුදර්ශනී පුනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය චෝදනා මුඛයෙන් ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සිටින කාන්තා මන්ත්‍රීවරියන් 12 දෙනාට අසභ්‍ය වචන වක්‍රාකාරයෙන් හෝ ප්‍රකාශ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමිණි. මේ අතර ඊට සම්බන්ධ වෙමින් මන්ත්‍රීනී තලතා අතුකෝරාල මෙන්ම මන්ත්‍රීනී රෝහිණි කවිරත්නද යළි එකතු වෙද්දී ඒඅවස්ථාවේ සිටි පසුපෙළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණියේ ගුටි කෙළියකට එක් වන්නටය. මේ අතර චමින්ද විජේසිරි, හේෂා විතාන, අනික් පසින් තිස්ස කුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්ම ආවේගශිලි වුවද සබාවේ සිටි අනෙකුත් මන්ත්‍රීවරුන් එය වැළැක්වූයේ ගැටුමක් දක්වා යාමට පෙරය. පසුගිය බ්‍රහස්පතින්දා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අත්වල තැඹිලි වර්ණ පටියක් බඳිමින් කාන්තා හිංසනය පිටු දකිමු යනුවෙන් සඳහන් පත්‍රිකාවක් ඇඳුමේ පලඳා විරෝධාවක් දැක්වූයේද මීට සමගාමීවය.

අත්- පොහොට්ටු පැටලීම

ඇමැති මහින්දානන්ද, රාජ්‍ය ඇමැති දයාසිරි මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර උණුසුම් වාදයක් හට ගත්තේ ජනාධිපති වැය ශීර්ෂයට පසුදාය. ඇමැති මහින්දානන්ද ජනාධිපති වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් අවධාරණය කළේ වත්මන් ජනාධිපතිවරයාගේ ආදර්ශය නිසා පසුගිය වසරේ හිටපු ජනාධිපතිවරයාට වඩා රුපියල් බිලියන 1.7 ක ඉතිරියත් කර ගත හැකි වූ බවත්ය. හිටපු ජනාධිපති හා වත්මන් ජනාධිපති වැය ශීර්ෂ අතර වෙනස පැහැදිලි කිරීමෙන් හිටපු ජනාධිපතිවරයාට අපහාසයක් සිදුවී ඇති බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරයකු වූ දයාසිරි ජයසේකර, ඇමැති මහින්දානන්දගේ කතාවෙ ආවේගශීලි පිළිතුරු කතාවක් කළේ හිටපු ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවේ සිටින අවස්ථාවේදීය.

“මහින්දානන්ද මොනරෙක් වගේ පිල් විදහා ගෙන නටනවා. නමුත් එයා ගේ පස්ස එළියේ. ඔය වළ තව තව හාරන්න. එතකොට තව තව කුණු ගඳ එනවා..පක්ෂ නායකයකුට ගැහුවොත් විශාල අර්බුදයකට යාහැකියි. ..“ඔහු දිගු කතාවක් ඒ ආකාරයෙන් අවසන් කළේ අනතුරු හැඟවීමක්ද කරමිනි.

ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි ඇමැති මහින්දානන්දට මෙම ‘ගද‘පිළිබඳ කතාව සැණෙකිත් තම හිතවත් මන්ත්‍රීන් වාර්තා කරද්දී ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ ඊට පිළිතුරු දෙන්නටය.

“වළ හෑරුවොත් ගොඩාක් ගඳ එන්න පුළුවන්. අර්ජුනගේ චෙක්ස් මතු වෙන්නත් පුළුවන්. මේ මහින්දානන්ද වෙලෙත් ගිහින් තියෙනවා. නියරේත් ගිහින් තියෙනවා. අපි කොන්ද පස්සට තියාගෙන නපුංසකයෝ වෙන්නේ නැහැ. අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒ නිසා අපි ගඳ ගැන විවාදයකට යමු....“ මහින්දානන්දගේ පිළිතුරු කතාවට නැඟි සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

“මමත් කැමැති නැහැ වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න. මම ආදර්ශයක් දුන්නේ , කලින් ජනාධිපතිවරු කරපු දේවලට. ගහගන්න ගියොත් මොන මොන තුවාල වෙයිද දන්නේ නැහැ. ආණ්ඩුව අතර ගහ ගත්තොත් මොකද වෙන්නේ කියලා ආදර්ශයක් අතීතයෙන් දීලා තියෙනවානේ. ....“ හිටපු ජනාධිපතිවරයා අවසානයේ සභාවට අපූරු කතාවක් කරමින් අවසන් කළේය.

“මට ඊයේ දුමින්ද ඇමැතිවරයා හමුවුණා. එයා මහින්දානන්දගෙන් අහලා තියෙනවා, ඇයි මේවගේ කතාවක් කළේ කියලා . ඔහු කියලා තියෙනවා...‘ දුමී දන්නැද්ද ලොක්කා ටිකක් නග්ගන්න තමයි කිව්වේ කියලා‘. ඒ හින්දා මම කියනවා අපිව නග්ගන්නේ නැතුව

ලොක්කා නග්ගන්න කියලා....“ හිටපු ජනාධිපතිවරයා එසේ කීවේ සභාවද සිනහ ගන්වමිනි. කෙසේ වෙතත් ඇමැති මහින්දානන්ද ඊට පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයකු ලෙස බොරු කීම හොඳ නැති බව පවසමිනි.

අපූරු කොලු පොඩ්ඩා

අයවැය විවාදය දා ගාල්ල මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ කතාව උණුසුමක් එක්කළේ ඇමැති රෝහිත අබේගුණවර්ධනය. එදා මන්ත්‍රි මනූෂගේ අයවැය කතාවෙන් අනතුරුව ඇමැති රෝහිත කතාව ආරම්භ කළේ ලොකු චෝදනවක් මතුකරමිනි.

“අද මෙතැන ගාල්ල පැත්තේ කොලු පොඩ්ඩෙක් කතා කළා. ඒ පැත්තේ ඉන්න හරිම පිරිසිදු මිනිහා. කොලු පොඩ්ඩා කොයි තරම් පිරිසිදුද කියනවා නම් ඒ පැතතෙන් මේ පැත්තට එන්න සල්ලි ගත්තා. මේ පැත්තෙන් ඒ පැත්තට යන්නත් සල්ලි ගත්තා. ඕන නම් සල්ලි එකතු කරන්න ගත්ත බෑගයේ පාටත් මම කියන්නම්. හැම වෙලාවෙම එයාගේ අතේ නවගුණ වැල. ඕවට තමයි කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.....“ රෝහිත ඊළඟට හැරුණේ මන්ත්‍රී හරින් දෙසටය.

“සාමාන්‍යයෙන් මේ රටේ සාටක දාන අය ඉන්නවා. අපේ අගමැතිතුමා කුරහන් පාට සාටකයක් දානවා. ඒත් අද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් සාටකයක් දාගෙන ඇවිත්. ඒක කළු සාටකයක්. කළු සාටක දාන්නේ මොළේ මංඤ්ඤං වුණු අය. දැන් මෙයා කියනවා පාස්කු ප්‍රහාරය එල්ල කළේ අපිලු. තාත්තා ප්‍රහාරය ගැන කල්තියා කියද්දි බුදියගෙන හිටපු මිනිහා දැන් බණ කියනවා..“ඇමැති රෝහිත ගණනකට නොගෙන කියාගෙන ගියේ සභාවේ ඝෝෂා මධ්‍යයේය.

දියසෙන් කුමාරයා

ජනතා විමුක්කි පෙරමුණු නායක අනුර කුමාරගේ රසවත් කතා අසන්නට බොහෝ දෙනෙක් කැමැතිය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු අයවැය විවාදයකදී රසවත් කතා දෙක තුනක් කියන මන්ත්‍රී අනුර මෙදා කිව්වේ රට ගොඩනඟන කුමාරවරුන්ගේ කතාය. ඔවුන්ගේ ගමන් බිමන් ගැනය.

“ ජනතාව හිතුවා දියසෙන් කුමාරයා ඇවිත් රට ගොඩ නඟාවි කියලා. දුප්පතාගේ හිතවතා ආවා. විහාර මහා දේවි ආවා. ආසියාවේ ලොකුම මොළය ආවා. වැඩ කරන විරුවා ආවා. එන්න පුළුවන් හැමෝම ආවා. එත් මොකක්ද වුණේ. ඒ නිසා රට ගොඩ නැඟීම තනි පුද්ගලයෙකගේ විශ්වකර්මයක් නොවේ. එද ගෝඨාභයට ඡන්දය දෙන්න චාටර් ෆ්ලයිට්ස් අරගෙන ආවා. තරුණයෝ බිත්තිවල චිත්‍ර ඇන්දා. පුරන් කුඹුරු අස්වැද්දුවා. ඇමැති තනතුරු ලැබුණ පසු මොකටද ඇමැතිවරුන්ට ගෙවල්. ජනාධිපතිතුමා ඉන්නේ මිරිහානේ නිවසේ. ඒත් මම කැමැතියි එතුමා ජනාධිපති මන්දිරයේ ඉන්නවා නම්. එතුමා මිරිහානේ ඉඳන් යද්දී පොලිසිය පාරේ දානවා. සි .අයි.ඩිය තැන තැන. කොත්තු කඩේ අයට ඉන්නත් බැහැ. සැලුන් එකේ වැඩ කරන්නත් බැහැ.....“ මන්ත්‍රී අනුර කුමාර තව බොහෝ දේ කීවේ හීන් නූලෙනි.

ආප්ප කෑම හා පාලම් හැදීම

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළි දරුවන් ඇතුළු පිරිසක් මරණයට පත්වීම පාර්ලිමේන්තුවේදි උණුසුම් වාද විවාද ඇති වූයේ රාජ්‍ය ඇමැති නිමල් ලන්සා හා මන්ත්‍රී මුජිබර් රහුමාන් සමඟය.

“මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසඳුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා. අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරනවා."

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිත කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මඟින් බව බව ඔහු දැඩිව අවධාරණය කරද්දී ඊට අදහස් දක්වමින් මන්ත්‍රී මුජිබර් පැවැසුවේ යම් යම් දේ පැවැසුවද එය පැහැදිලි නොවීය. එහෙත් ඊට රාජ්‍ය ඇමැති ලන්සා පිළිතුරු දුන්නේ සිංහලෙන් පමණක් නොව දෙමළ භාෂාවෙනුත්ය.

“ආප්ප කනව වගේ පාලම් හදන්න බැහැ. මෝඩයෙකු වගේ කතා කරන්න එන්න එපා....... “

මම වගේ එක්කෙනයිද?

පාර්ලිමේන්තුවේ කවදත් හැඟුම්බරව එහෙත් කිව යුතු දේ හීන් නූලෙන් පවසන කුමාර වෙල්ගම මෙදා අයවැය කතාවේදී අපූරු කතා පවසද්දී සභාව නිශ්ශබ්දව ඔහු කියන දේ අසා සිටියේය. ඔහු කතාව ආරම්භ කළේ කලකට පස්සේ විනාඩි 18 ක් පාර්ලිමේන්තුවේ කතාවක් තමන්ට ලැබුණු බව පවසමිනි.

“පාර්ලිමේන්තුවේ පැන්ෂන් ගැනීම අවුරුදු 5, අවුරුදු 10 කළා. බොහෝම හොඳයි. ඕක ගැහුවේ පබාට. පබා තමයි අවුරුදු 5 ක් හිටියේ. මන්ත්‍රී විශ්‍රාම වැටුප අතීතයට බලපාන පරිදි ගෙනාවේ නැහැ. එහෙම දැම්මා නම් සිරිසේන මහත්තයට වගේම මහින්ද මහත්තයාටත් විශ්‍රාම වැටුප නැහැ...“ දිගු කතාවක් කරමින් රාජ්‍ය පාලනය ගැන කියාගෙන ගිය මන්ත්‍රි වෙල්ගම ඊළඟට හැරුණේ ඒ වන විට මූලාසනයේ සිටි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දෙසටය.

“මම වගේ හැදෙන්න එපා. මම අනිත් පැත්තට පැන්නා. ඒව කරන්න පුළුවන් කුමාර වෙල්ගමට විතරයි. මම වගේ කරලා ඇන ගන්න එපා. නරක මිනිහකුට ඉන්නෙත් මම විතරයි.....“ ඔහු තමන් පිළිබඳ කළ විවේචනය බොහෝ දෙනෙකුට සිනාව වළක්වා ගන්නට නොහැකි විය.

නයි ඇරීම

මෙවර අයවැයෙන් බුද්ධ සාසන අමාත්‍යාංශයට රුපියල් මිලියන 500 ක් පමණක් වෙන් කිරීම ගැනත්, නයි ඇරීම ගැනත් විවාදයට මතු කළේ විපක්ෂය් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර සිය අයවැය කතාවේදීය. මේ අවස්ථාවේදී අගමැතිවරයාද පාර්ලිමේන්තවේ සිටියේ ඔහු විෂයභාර ඇමැති වන නිසාය. දිගින් දිගටම කතා කළ මන්ත්‍රි මද්දුම බණ්ඩාරට ආණ්ඩු පක්ෂයෙන් ගෙන දුන්නේ දැඩි බාධා කිරිම්ය.

“කොරෝනාව නිසා හාමුදුරුවරු 157 ක් අපවත් වුණා. මොකක්ද මේ අයවැයෙන් වුණේ ? මිලියන 500 යි අයවැයෙන් බුද්ධ සාසනයට වෙන් කරලා තියෙන්නේ. අපේ කාලයේ කරපු දේවල් මම කියන්නද ? මම අපි කරපු දේවල් ලිස්ට් එකක් ගෙනත් තියෙන්නේ ...“ මේ අවස්ථාවේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසකගේ බාධා කිරිම් නිසාවෙන් මන්ත්‍රි මද්දුම බණ්ඩාරගේ කතාව වෙනතකට පෙරළිය.

“බන්ධනාගාරයේ ගිහින් කරපු දේවල්.. ලැජ්ජයි..ලජ්ජයි. කාලක් ගහලා වගේ ඇවිත් තියෙන්නේ. මට බීපු අයත් එක්ක කතාවක් නැහැ...අපි කළ දේ කියන්නැතුව අපිටත් නයි අරින්නද කියන්නේ.... “ කියමින් මන්ත්‍රි මද්දුම බණ්ඩාර කියාගෙන ගියේ කෑකෝ ගැසීම් මධ්‍යයේය.

“දඹුල්ලේ පිං කැටයට වුණ දේ දැනගන්න කැමැතියි...“ ඒ ආණ්ඩු පක්ෂයෙන්ය.

“අපි හොඳ බෞද්ධයෝ....“ ඒ තවත් කෙනෙකි..

“ඔව් ඔව් පේනවා. ඒ නිසා වැදගත් විදියට වාඩි වෙලා ඉන්නකෝ...“ මන්ත්‍රි මද්දුම බණ්ඩාර කිවේ සිය කතාව කරගන යාමට ඉඩ දෙන්නයැයි කීවේ උපහාසයක්ද සමඟිනි.

අයවැය විවාද කාරක සබා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිය කතාවට ආරම්භයක් එක් කළේ ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරාගේ සින්දුවක කොටසක් උපුටා දක්වමිනි.

“මට සුනිල් පෙ‍ෙර්රාගේ සින්දුවක් මකත් වුණා. ‘ පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා. එහෙම කළොත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා..“ ඔහු ඉන් අනතුරුව මෙය ඈදා ගත්තේ රාජ්‍ය සේවයට වූ දේ විග්‍රහ කරන්නටය. ඒ එදින කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය පරිපාලන අමාත­්‍යාංශ වැය ශීර්ෂය නිසාවෙනි.

“මේ මහත්වරුන්ට රාජ්‍ය සේවය බරක් වෙන්නේ අයවැය සකස් කරද්දීද? මේ පාරත් රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගණනක් දෙනවා කියාගෙන ආවේ. ඒත් දැන් කියන්නේ කුමක්ද? අපි කාර්ය සාධක රාජ්‍ය සේවාවක් හැදිය යුතුයි..( දිගින් දිගටම බාධා ය)...හොඳට අහගන්න . මේක පාර්ලිමේන්තුවක්. අහලා පිළිතුරු දෙන්න.. ..“ ඉංග්‍රිසි හා සිංහල බසින් කළ ඔහුගේ චතුර කතාවට විපක්ෂයෙන් දිගින් දිගටම එල්ල වූයේ ඝෝෂාය.

 

Comments