ජය­සි­රි­මහ බෝධිය අබි­ය­සින් මතු වූ පොලි­සියේ මනු­ස්ස­කම | සිළුමිණ

ජය­සි­රි­මහ බෝධිය අබි­ය­සින් මතු වූ පොලි­සියේ මනු­ස්ස­කම

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති  කිත්සිරි ජයලත් මහතා විසින් පොලිස් සැරයන් එස්.එම්. ආනන්ද සිරිපාලට මුදල් ත්‍යාගය පිරිනැමූ අවස්ථාව. අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගතපාල ද ඡායාරූපයේ වේ.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් පොලිස් සැරයන් එස්.එම්. ආනන්ද සිරිපාලට මුදල් ත්‍යාගය පිරිනැමූ අවස්ථාව. අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගතපාල ද ඡායාරූපයේ වේ.

වැස්සත් පෑව්වත් අහසට දෙස්දෙවොල් අසන්නට සිදුවන්නා සේ පොලිස් සේවයටත් හොඳට වඩා අසන්නට සිදුවන්නේ අවලාදය. එවන් පසුබිමක පොලිසියේත් මනුස්සකමේත් අගය උත්කර්ෂයට නැඟූ අපූරු පුවතක් ඉකුත් ඉල් පොහෝදා අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩ සිටින පින්බිමෙන් වාර්තා විය.

ඉකුත් ඉල් පුන් පොහෝදා (18 දා) අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල අමතක වී දමා ගොස් තිබූ රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 4,000 ක පඬුරු සහිත අත්බෑගයක් විනාඩි 45 ක් තුළදී එහි සැබෑ අයිතිකාරියට සුරක්‍ෂිතව බාර දෙන ලද්දේ උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් එස්.එම්. ආනන්ද සිරිපාල (48176) ය.

එම සිදුවීමට මුහුණ දුන්නේ කිරිබත්ගොඩ, මාකොළ පදිංචි කාන්ති පෙරේරා සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික කේ. එච්. සරත් රණතුංග යන දෙපළය. ඔවුන් දෙදෙනා තම දරුවන් දෙදෙනා සහ තවත් සිවුදෙනකු ඇතුළු 8 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ලෙස ඉකුත් පොහෝ දා අනුරාධපුරයට පැමිණ ඇත්තේ ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමටය. කාන්ති පෙරේරා ඔවුන් සතුව තිබූ රන්මාල 3ක්, මුදු 8ක්, කරාබු කුට්ටම් 6ක් ඇතුළු රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ ද සිය අත්බෑගයට දමාගෙන පැමිණ ඇත්තේ වැඩි ආරක්ෂාවටය. ඒ සමඟ රුපියල් 4,500ක මුදලක පඬුරු ද විය. පොහෝ දා උදෑසන 11.30ට පමණ ඔවුහු ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට පැමිණ ඇති අතර එහිදී කාන්ති පෙරේරා සිය අත්බෑගය බෝධිය අසල තැනක තබා ඇත. එතැන් සිට සිදුවූ සිදුවීම කාන්ති පෙරේරාගේ සැමියා කේ.එච්. සරත් රණතුංග සිළුමිණට කීවේ මෙසේය.

” අපි කට්ටිය එතැනින් එළියට ඇවිත් ටික දුරක් යනකොට නෝනා කිව්වා අත්බෑගය අමතක වුණා, ඒකේ රත්තරන් බඩුයි, පඬුරුයි තිබ්බා කියලා. පස්සේ අපි ආයෙමත් ජයශ්‍රී මහා බෝධිය අසලට ඇවිත් අත්බෑගය හොයන්න ගත්තා. ඒ හොයනකොට ඒ ස්ථානයේ හිටිය පොලිස් නිලධාරි මහත්තයෙක්ගේ අතේ නෝනගේ අත්බෑගය තිබෙනවා දැක්කා. මේ තියෙන්නේ මගේ නැති වුණ අත්බෑගය කියලා නෝනා බෑග් එක ඒ මහත්තයාගෙන් ලබා ගත්තා. ඔහු ඉතා හොඳ පොලිස් නිලධාරි මහත්මයෙක්. අපි මේ ගැන උඩමළුව පොලිසියේ ස්ථානාධිපති හේමපාල මහතාටත් කියලා ස්තුති කළා. මේ නිලධාරියාගේ අවංකභාවය නිසා අපට අපේ භාණ්ඩ ටික නැවතත් ලැබුණා. ඔහු මිනිසුන් අතර දෙවියෙක් කියලයි අපට හිතෙන්නේ. ඔහු මේ කරපු දේ අපිට ජීවිතේ තිබෙන තුරු අමතක වෙන්නෙ නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වගේ අවංක නිලධාරීන් නිරන්තරයෙන් ම ඇගයීමට ලක්කළ යුතුයි. අපි ඒ ගැන පොලිස් සැරයන් ආනන්ද මහතාට නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා.”

කේ.එච්. සරත් රණතුංග එසේ කීවේ බිරිය, දරුවන් ඇතුළු සිය පවුලේම ස්තුතිය පොලිස් සැරයන් ආනන්ද වෙත පිරිනමමිනි. සැරයන් ආනන්දගේ සද් ක්‍රියාව අගමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ උපදෙස් පරිදි උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් ඉකුත් 22 වැනිදා රුපියල් ලක්ෂ 2ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණේ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදීය.

“එය මම තෑගි හෝ ප්‍රශංසා බලාපොරොත්තුවෙන් කළ දෙයක් නෙවෙයි. නමුත් හොඳ දෙයක් කළා කියන සතුට මගේ හිතට දැනෙනවා. පොලිස් නිලධාරියෙක් වගේම මනුස්සයෙක් විදිහට කළ යුතු දෙයක් මම කළේ. පොලිසියේ අවංකවම රාජකාරි කටයුතු කරන කෙනෙක් විදිහට මම අසාධාරණ ලෙස කාගෙන්වත් කිසිම දෙයක් අරගෙන නැහැ. ලැබෙන වැටුපෙන් දරුවන්ට කන්න දෙනවා මිසක් වංචා කරලා, හොරකම් කරලා දරුවන්ට කන්න දෙන්නේ නැහැ. අගහිඟකම් තිබුණත් මම බොහෝම සාධාරණව අවංකවම ජීවත්වන කෙනෙක්. පෝය දවසේ මම උතුම් පිංකමක් කරගත්තා කියලා සතුටක් දැනෙනවා.”

මේ සිදුවීම ගැන විමසද්දී සැරයන් ආනන්ද එසේ පැවසුවේ බොහෝ නිහතමානීවය. 1989 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු සැරයන් ආනන්දගේ වෘත්තීය ජීවිතයට ලබන දෙසැම්බරයේදී වසර 32ක් සපිරේ. ත්‍රිකුණාමලය, මොනරාගල, වව්නියාව ආදී දුෂ්කර ප්‍රදේශවල වසර ගණනාවක් සේවය කර ඇති ඔහු අනුරාධපුරයේ උඩමළුව පොලිස් ස්ථානයට සේවය සඳහා පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදීය. මේ වන විට පෙරියන්කුලමේ පදිංචිව සිටින සැරයන් ආනන්ද තිදරු පියෙකි. ඔහුගේ බිරිය සුනේත්‍රා චන්ද්‍රකාන්ති, දියණියන් වන අයේෂා (25), රශ්මිකා (20) සහ පුතු සුපුන් (17) ද සැරයන් ආනන්ද කළ සද් ක්‍රියාව පිළිබඳ තුටු සිතින් පසුවෙති. පුන් පොහෝ දා සිදු වූ සිදුවීම ගැන ඔහු සිහිපත් කරන්නේ පහන් හැඟීමෙනි.


 

Comments