නෙස්ලේ සමඟ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ සලසයි | Page 2 | සිළුමිණ

නෙස්ලේ සමඟ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ සලසයි

නෙස්ලේ පොල් වගා සැලසුමේ පස්වැනි අදියර 2021 නොවැම්බර් 10 වැනිදා මහ ඔය, අරන්තලාව ප්‍රදේශයේදී දියත් වුණි.

ඒ, තවත් ගොවීන් සහ පොල් වගාකරුවන් 1,000කට දෙමුහුන් පොල් පැළ 5,000ක් සහ කාබනික පොහොර ප්‍රදානය කරමිනි.

ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ නෙස්ලේ ලංකා සමාගම දියත් කළ මෙම අදියර, කාබනික වගාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වේ. එමගින්, පසේ සරුභාවය සහ තෙතමනය ආරක්ෂා කර, ජෛව විවිධත්වය සුරකින අතර, උසස් තත්ත්වයේ අස්වැන්නක් ලබාගැනීම ද තහවුරු කෙරේ.

සාම්ප්‍රදායිකව පොල් වගා නොකරන ප්‍රදේශයන්හි ග්‍රාමීය පවුල්වලට උසස් තත්ත්වයේ පොල් පැල වගාකිරීමට සහාය පිරිනමන මෙම රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවට සම්බන්ධ වීමට හැකිවීම අපට මහත් සතුටක්″, යනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී මාධවී හේරත් පැවසුවාය.

2016 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් නෙස්ලේ පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 4,000කි.

මෙම පොල් සංවර්ධන වැඩසටහන යටතේ, ඊට එක්වන්නන්ට නොමිලේ දෙමුහුන් පොල් පැළ ලබාදෙන අතර, තාක්ෂණික සහාය සහ විශේෂ පුහුණු හා සංවර්ධන වැඩසටහන් ආදිය ද ලබාදෙයි.

Comments