සාම්ප්‍රදායික නර්තන ගුරුන්නාන්සේලා අතර මම කුහුඹුවෙක් වගේ | සිළුමිණ

සාම්ප්‍රදායික නර්තන ගුරුන්නාන්සේලා අතර මම කුහුඹුවෙක් වගේ

පානාමංකඩ නාට්‍යයේ ගුරුන්නාන්සේ ලෙස රඟන ලක්ෂ්මන් මෙන්ඩිස්

පාරම්පරික නර්තන සම්ප්‍රදායය එහි වූ පූජනීය, ගෞරවනීය සීමාවන්ගෙන් ඔබ්බට වාණිජකරණය වෙත සම්ප්‍රේෂණය කර වූ සමාජ, සංස්කෘතික, ආර්ථික විපරිණාමය ඉතා සියුම් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට සමන් කුමාර ගමගේ ගේ තිර රචනයෙන් ද ගයාන් දිනේෂ් පෙරේරාගේ නිෂ්පාදනයෙන් ද රනිල් කුලසිංහගේ කතා සංකල්පය හා අධ්‍යක්ෂණයෙන් ද සුසැදි ව ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන පානීය ජල මංකඩ යන අරුත් ගත් "පානාමංකඩ" ටෙලි නිර්මාණය සමත්වී ඇත.

අතීතයේ නැකති කුල පරපුරට උරුම වූ එකී නර්තන කලාව පසුකාලීන ව ධනෝපායන මාර්ගයක් බවට පත් කර ගැනීමට පිටස්තරයින් දැරූ තැත සහ ඔවුන් අතින් එකී සාම්පදායික කලාවේ ගරුත්වය වැනසෙන්නට නොදී රැක ගන්නට උරුමක්කාරයින් කළ කැපකිරීම් මෙහිදී නිරීක්ෂණාක්ෂියෙන් යුතු ව අතිශය සංවේදී අයුරින් පසුතල නිර්මාණ, ආලෝකකරණය, එයට ම අනන්‍ය වූ අපූරු සුවිශේෂ කැමරා කෝණ, විශිෂ්ට සංගීතය සේ ම සෑම චරිතය කින් ම මනා ව උකහා ගන්නට අධ්‍යක්ෂවරයා සමත් ව ඇත.

මෙගා රැලිවල හැපෙමින්, ගැටෙමින් හෙම්බත් ව සිටි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින්ගේ පිපාසයට "පානාමංකඩ" අමා පැන් දෝතක් මැ යි.

එහෙව් නිර්මාණයක ප්‍රධාන චරිතය අතිශය ප්‍රබල විය යුතු ම ය. ඔහු මෙම නිර්මාණයේදී බිරිඳ අහිමි, දියණියන් සිවුදෙනෙකුගේ අප්පච්චී වන්නා සේ ම පාරම්පරික නර්තන සම්ප්‍රදාය යේ ගුරුන්නාන්සේ ද වන, ඔබ අප හොඳින් හඳුනන ප්‍රතිභාපූර්ණ රංගධර ලක්ෂ්මන් මෙන්ඩිස් ය

"මේක මට කාලෙකින් ලැබුණු ඉතා ම හොඳ චරිතයක් වගේ ම මම ගොඩාක් සතුටින්, උනන්දුවෙන් හා කැපවීමෙන් කළ රඟපෑමක් බව නම් කිව යුතුයි. මේ චරිත නිරූපණය වෙනුවෙන් බොහෝ දේ අලුතෙන් ඉගෙන ගන්න මට සිදු වුණා. පාරම්පරික නර්තන ශිල්පීන් එක්ක එකට වැඩ කරමින්, ඔවුන්ගේ කලාවන් හදාරන්න මට සිදු වුණා. පාරම්පරික නර්තන ශිල්පියාට අද අත්වී ඇති ඉරණම පිළිබඳ ව මේ නිර්මාණයේ දී හරි අපූරුවට කතා කරනවා. සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම් හැටියට මේ සාම්ප්‍රදායික නර්තන කලාව රැකගැනීමේ වගකීම්ධාරියෙක් හැටියටත් මට මේ නාට්‍ය කෙරෙහි බැඳීමක් තිබෙනවා. ඒ නිසා මේ චරිතය මට මේ අවස්ථාවේදී ලැබීම ගැන බෙහෙවින් සතුටට පත් වෙනවා. ජන සංගීතයේ විශිෂ්ටයෙක් වන සමන් ලෙනින් අප දන්න ජන සංස්කෘතියට වඩා ජනතාවට බැඳෙන ජන ගී ගායන ශෛලියකින් මෙහි සංගීතය හා ඔහුගේ ගායනයන් ඉදිරිපත් කළා. නටන්න මට බැරි වුණාට ජන ගායනය පිළිබඳ සහජ හැකියාවක් මටත් තියෙනවා. මේ නිර්මාණය සඳහා ම මම බුලත්සිංහල නම් තරුණයාගෙන් බෙර වාදනය ඉගෙන ගත්තා. රූගත කිරීම්වලදී පැය දොළහක් එක දිගට මම බෙර ගැහුවා.

පාරම්පරික බෙරවාදන ශිල්පීන් එක්ක රූගත කිරීම්වලදී බෙර ගහගෙන යද්දි නොදන්න පද මගේ අතින් ඉබේ ම වගේ වැයුණා. මගෙන් සමහරු අහනවා 'ලකී අයියා ඔයා වෙස් බැන්දා' ද කියලා. මම නැට්ටුවෙක් නොවුණාට රංග ශිල්පියෙක් හැටියට ඒ නිර්මාණයට සාධාරණය ඉටු කළා කියලා නිර්මාණය නරඹද්දි වගේ ම ලැබෙන ප්‍රතිඛාරවලින් මට හැඟෙනවා. මම කළේ චරිත නිරූපණයක් වුණාට මේ නිර්මාණයට පාරම්පරික බෙර හා නර්තන ගුරුන්නාන්සේලා බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන් අතර මම කූඹියෙක් වගේ පුංචි ම පුංචි කෙනෙක් විතරයි. මේ නිසා මම මගේ රසික ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ මගෙ රඟපෑමේ යම් අඩුවක් ඇත්නම් මට සමාවෙන්න කියා යි."

බෙර පදයක්, කංකාරියක් ලෙසින් ම ඔහු සිය අත්දැකීම් කියාගෙන ගියේ ය. නාට්‍යය තරම් ම එය රසවත් හා අගනා නිසා ම ඊට බාධා නොකළෙමි.

"මට මේ වගේ විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ වසර දොළහකට පමණ පසුවයි. අධ්‍යක්ෂවරයා ඉතා ම දක්ෂ විදිහට අපි හැමෝගෙ ම රංගනයන් එම නිර්මාණයට අවශ්‍ය ආකාරයට උකහා ගත්තා. අපි හැමෝම සතුටින්, විනෝදෙන්, පුදුම බැඳීමකින් හා සැහැල්ලුවෙන් මේ නිර්මාණ කාර්යයට සම්බන්ධ වුණා."

ඒ ඔහුගේ රඟපෑමක් වුවත් රඟපාන්නේ නැති සැබෑ රාජකාරියක් ඉටු කරන්නට ලක්ෂ්මන් මෙන්ඩිස් මේ කාලයේ බැඳී සිටින්නේ සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම් හැටියට ය.

"මේ තනතුර දයානන්ද ගුණවර්ධන ශූරීන් වසර එකොළහක් දරමින් සිංහල සංස්කෘතියට, කලාවට, නාට්‍ය කලාවට විශාල මෙහෙවරක් ඉටු කළා. මටත් අවශ්‍ය වන්නේ එවැනි විශාල සේවාවක් ලංකාවේ කලාව, සංස්කෘතිය වෙනුවෙන් ඉටු කරන්නටයි. දැනටමත් ලෝකප්‍රකට නාට්‍ය පුහුණුකරුවන්ගෙන් අපේ තරුණ නිර්මාණකරුවන්ට පුහුණුවක් ලබාදෙන්න කටයුතු කරගෙන යනවා.

රංගනය පැත්තෙන් මම තෘප්තිමත් කෙනෙක් නිසා මේ කාලේ මම වැඩිපුර ම කාලය යොදවන්නේ අපේ පාරම්පරික කලාවන් රැක ගැනීමටත්, නව නිර්මාණකරුවන්ට අත දෙමින් මේ කලාව, සෞන්දර්ය මතු පරපුර සඳහා රැකදීම සඳහා යි. මගේ බිරිඳ ගීතා ශ්‍යාමලී මාරසිංහ මට ඒ වැඩකටයුතු සඳහා ලොකු සහායක් දෙනවා. මගේ දුවයි පුතයි මාව දිරිමත් කරනවා. විදේශීය ටෙලිනාට්‍යයක් පසුගිය දිනවල ලංකාවේ රූගත කෙරුණා. ඒ වෙලාවේ අපේ තරුණ කාර්මික ශිල්පීන් 150කට විතර එම නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉදිරියේදී කලාව වෙනුවෙන් තව බොහෝ දේ කරන්න බලාපොරොත්තු වෙනවා."

 තුෂාරී කළුබෝවිල

Comments