විසංගමනය නැරඹීමෙන් බොහෝ දෙනෙක්ට තමන්ට තමන්ව ම මුණ ගැහේවි | සිළුමිණ

විසංගමනය නැරඹීමෙන් බොහෝ දෙනෙක්ට තමන්ට තමන්ව ම මුණ ගැහේවි

අන්දමන් සහ නිකොබාර් සිනමා උළෙලේ හා ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් සිනමා උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ ‘විසංගමනය‘ අධ්‍යක්ෂ රංජන් ප්‍රසන්නගේ

රංජන් ප්‍රසන්නගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන විසංගමනය සිනමා පටය අන්තර්ජාතික සිනමා උළෙල දෙකකදී ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ අනුව විසංගමනය චිත්‍රපටය පසුගිය දා අවසන් වූ අන්දමන් සහ නිකොබාර් සිනමා උළෙලේදී අවසන් වටයට තෝරාගත් සිනමා නිර්මාණ 69 අතරින් "අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම චිත්‍රපටය" යන කාණ්ඩයේ " විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂණය" සම්මානය ද ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් සිනමා උළෙලේදීද ප්‍රථම අධ්‍යක්ෂණය කාණ්ඩය යටතේ හොඳම සිනමාපටය ලෙස සම්මාන සහතික දිනා ගත්තා. එමෙන්ම ඉතාලියේ පැවැත්වෙන, Rome Independence Prisma Awards හි අවසන් වටයටද නිර්දේශ වීමට ද විසංගමනය චිත්‍රපටය සමත්ව තිබෙනවා.

පළමු සිනමා නිර්මාණය මෙලෙසින් සම්මානිත වීම ගැන මොකද හිතෙන්නේ

මේ චිත්‍රපටය සම්මාන බලාගෙන කරපු සිනමා නිර්මාණයක් නෙවෙයි. නිෂ්පාදකවරයා වුණත් මුල්‍යමය ලාබ ගැන හිතලා කරපු නිර්මාණයක් නෙවෙයි. ඔහුට අවශ්‍ය වුණෙත් හොඳ සමාජීය නිර්මාණයක් කරන්න.

ඒ නිසා අපි මේ ලබන සියලු සම්මාන නිර්මාණයේ ඇති ගුණාත්මක භාවයට සහ මේ ඔස්සේ අපි සමාජගත කරන්නට උත්සහ කළ දේට ලැබුණු සම්මාන විදියටයි දකින්නේ.

ඔබේ කලා ජිවිතේ ආරම්භය කොතනද?

මම වයස අවුරුදු 12දී සුබෝධි මානව සංවර්ධන මධ්‍යස්ථානයේදී ජයලාල් රෝහණ මහත්මයා සහ සුගතපාල සිල්වා මහත්මයා යටතේ වේදිකා නාට්‍ය ගැන මම ඉගෙන ගන්නවා. එතන ෂෙල්ටන් පයාගල මහත්මයා සිනමාව ගැන ඉගැන්වුවා. ඒ දචස්වල පවත්වපු සිනමා වැඩමුළුවලට සහභාගී වුණාම තමයි මම සිනමාවට ඇලුම් කරන්න පටන් ගන්නේ. චිත්‍රපට බලනවා.

ඒවා විචාරය කරනවා. ඒ ලබපු උත්තේජනයන් එක්ක තමයි මටත් මේ කලාවේ කටයුතු කරන්න ආසාවක් ඇති වෙන්නේ. ඒ නිසා පසුකාලය වෙද්දී ටෙලි නාට්‍යවල කලා අධ්‍යක්‍ෂණයේ සහායකයෙක් හැටියට නිෂ්පාදන කළමනාකාරවරයෙක් හැටියට වගේ විවිධ අංශවල මම වැඩ කළා. චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාවක් කළා. එතැනදී පතිරාජ සර්, ප්‍රසන්න විතානගේ ඇතුළු දැවැන්තයන් යටතේ ඉගෙන ගත්තා. පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍රපට බැලුවා. ඒවා බලලා ඒ ඇති වුණ ආසාව එක්ක තමයි මේ ගමන ආවේ.

විසංගමනය ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණය

ඔව්. මම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිනමා සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදියට ලැබුණු අත්දැකීම් එක්ක. දෙවැනි සහය අධ්‍යක්‍ෂවරයෙක් විදියට “අස්වැසුම, මගේ වම් අත, මිල්ල සොයා, බොරදිය පොකුණ” වගේ චිත්‍රපට විස්සක විතර වැඩ කළා.

ඒ එක්කම පළමු සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස “එකමත් එක රටක, සිංහාවලෝකනය, ඉරහඳයට, ජුසේවාස්, ගාඩි, ද නිවුස් පේපර් කියන චිත්‍රපට වල වැඩ කළා. ඊට පසුව තමා මගේ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්නේ.

කොහොමද විසංගමනය ට අඩිතාලම වැටෙන්නේ

මේ සිනමා නිර්මාණයේ නිෂ්පාදක මහේෂ් විජේරත්නගේ ව්‍යාපාරයක් සම්බන්ධ වාර්තා වැඩසටහනක් මම කළා. මම ඒ කටයුත්ත කළ ආකාරය සහ ඒ වෙනුවෙන් කළ කැපවීම මහන්සිය දැකලා දවසක් ඔහු මට කියනවා සිනමාපටයක් කරමු කියලා.

මේ චිත්‍රපටයේ කතාව මහේෂ් මහතාගේ. ඊට පස්සේ මම මේ ගැන උපාලි ගම්ලත් අයියට කිව්වා. මහේෂ් මහත්මයා එක්කත් කතා කරලා උපාලි අයියා කතා සාරාංශයක් හදලා දුන්නා. ඒකට ඔහු කැමති වුණා. ඒ සිනමා නිර්මාණය තමයි මේ විසංගමනය.

විසංගමනයට වස්තු විෂය වෙන්නේ මොකක් ද?

විසංගමනයට වස්තු විෂය කර ගත්තේ වර්තමාන ජනජීවිතය නිසා අපට නොදැනුවත්වම අප තුළින් ගිලිහී යන මානුෂිය සබඳකම් ගැන. බෞද්ධ දර්ශනයත් පදනම් කරගෙන මෙය නිර්මාණය කරලා තියෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් මේ කාර්යබහුල ජිවිත නිසා මුදල් වලට මුල් තැන දීලා කටයතු කිරීමෙන් තමන්ගේ ආදරණීය දෙමාපියන් සහ පවුලේ උදවිය පවා තමන්ට නොදැනුවත්වම මගහැරිලා යනවා.

තමන්ගේ ආත්මය, ඇතුළු සියල්ල පාවාදීලා මුදල් කරා යන ජිවිත ගැන කතාවක්. ඒ නිසා මේ විසංගමනය නිර්මාණය කළේ මේ මඟින් මිනිස් සිතට යම් පණිවිඩයක් දෙන්න. මම විශ්වාස කරනවා විසංගමනය නැරඹීමෙන් බොහෝ දෙනෙක්ට තමන්ට තමන්වම මුණ ගැසෙයි කියලා.

විසංගමනයට දායක වූ අය ගැන මතක් කළොත්

විසංගමනය සිනමාපටයේ කතා සංකල්පය උපේන්ද්‍ර මහේෂ් විජේරත්න, තිර රචනය උපාලි ගම්ලත්ගෙන් වන අතර චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂණය කළේ තිසුලදීප තඹවිට, සංස්කරණය තිසර ධනංජය, වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්න, කලා අධ්‍යක්‍ෂණය චන්දන ප්‍රියංකර.සහාය අධ්‍යක්ෂණය තරංග කිරිඇල්ල. අංග රචනය ප්‍රියංක තිලක් රත්නායක, ශබ්ද පරිපාලනය ශෂීන් ගිම්හාන්,සංගීත අධ්‍යක්ෂණය සමන්ත පෙරේරා විධායක නිෂ්පාදනය නන්දන ප්‍රේමරත්න, රේඛිය නිෂ්පාදනය තිස්ස ලියනආරච්චි විසින්.

මෙහි චරිත සඳහා රංගන දායකත්වය ලබා දුන්නේ අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලි ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, හයිසින්ත් විජේරත්න, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග, චරිත් අබේසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරිය බණ්ඩාර, සුජීව කරුණාරත්න, ජයතිස්ස අතුලසිරි යන අය.

 අනුෂා රණසිංහ

Comments